පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
446/2025
ගරු ඔෂානි උමංගා මහත්මිය,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;
(ii) එසේ නම්, එම සැලසුම් කවරේද;
(iii) කර්මාන්තපුරවල කල්බදු පදනම මත කර්මාන්ත ස්ථාපිත කිරීමේදී, විවිධ ආයතනවලින් අනුමතිය ලබා ගැනීම සඳහා ආයෝජකයන්ට විශාල කාලයක් ගතවන බව දන්නේද;
(iv) එසේ නම්, එම කල්බදු ගිවිසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේ පවතින අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර පහසු ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාවක් තිබේද;
(vi) එසේ නම්, එම ක්‍රමවේදය සකස් කිරීම සඳහා ගතවිය හැකි කාලවකවානුව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-24
අසන ලද්දේ
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින්ද නව කර්මාන්තපුර කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
(ii) විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනටමත් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතින අළුතැපොල, දඹුල්ල, සඳමල්ගම, සූරියවැව සහ රයිගම යන කර්මාන්තපුරවල සංවර්ධන කටයුතු වසර 2025 අවසන් වන විට නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම, නව අංශ පදනම් කර ගත් නිෂ්පාදන සඳහා වන කර්මාන්තපුර හැටියට විශේෂිත කර්මාන්තපුර කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.
ඉංගිරිය, රයිගම මිල්ලනිය (අදියර II), වාලච්චේන, පුලියන්කුලම, ආරච්චිකට්ටුව, තිහගොඩ, මාවතගම, ඇළයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශ ආවරණය කරමින් අක්කර 370ක භූමි ප්‍රමාණයකින් යුතුව නව කර්මාන්තපුර 09ක යටිතල පහසුකම් අමාත්‍යාංය යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ වාගේම අපි මේ වන විට කන්කසන්තුරේ කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙනවා.
මෙරට කාර්මික අංශයේ උපරිම ඵලදායිතාවක් ලබා ගැනීම සඳහා ඉදිරි වසර තුළ අවම වශයෙන් ආයෝජකයින් 50දෙනෙකු වෙත කර්මාන්තපුරවල ඉඩම් කට්ටි වෙන් කිරීමටද අපේක්ෂා කෙරේ.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මේ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති කර්මාන්ත ජනපද සංඛ්‍යාව 6ක් වන අතර, ඒවා ගාල්ල ඇල්පිටිය කාර්මික ජනපදය, මාතර කඹුරුපිටිය කාර්මික ජනපදය, හම්බන්තොට වීරකැටිය කාර්මික ජනපදය, කළුතර දොඩංගොඩ කාර්මික ජනපදය, මහනුවර පොත්තපිටිය කාර්මික ජනපදය හා මඩකලපුව වාලච්චේන කාර්මික ජනපදය වේ. මෙම කාර්මික ජනපදවලට අදාළ පිඹුරුපත් සකස් කිරීම, ඉඩම් අත්පත් කර ගැනීම හා අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීම් වැනි කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
(iii) ඔව්.
(iv) ගරු කථානායකතුමනි, මේක දීර්ඝ කටයුත්තක්.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ දක්වා කර්මාන්තපුර සියල්ල ස්ථාපිත කර ඇත්තේ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය හිමිකාරිත්වය දරනු ලබන ඉඩම්වල වේ.
ඒ ඉඩම් ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධනය කරලා ජාතික ආදායමට ආදායම් එකතු කරන සැලැස්මක් යටතේ තමයි ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙන්නේ.
විශේෂයෙන්ම ආයෝජකයා විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදාළ ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතුවලින් සියයට 75ක් පමණ සම්පූර්ණ කළාට පසුව කල්බදු ගිවිසුම සකස් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අදාළ ආයතනයට දැනුම් දීලා ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළාට පසුව තමයි ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතුවලට අමාත්‍යාංශය එකඟතාව ලබා දෙන්නේ. බදු ගිවිසුම් සකස් කිරීම මෙම අමාත්‍යාංශයේ කාර්යභාරය මත පමණක් පදනම් නොවන අතර ඉඩමේ හිමිකාරිත්වය දරනු ලබන ආයතන මඟින් අදාළ ඉඩම් කොටස් සඳහා බදු ගිවිසුම් සකස් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. ප්‍රාදේශීය ලේකම් හිමිකාරිත්වය දරනු ලබන ඉඩම් සඳහා බදු ඔප්පු සැකසීමේ ක්‍රියාවලිය ඇමුණුම මඟින් ඉදිරිපත් කරලා තිබෙනවා. එහි අදියර 15ක් තිබෙනවා, ගරු කථානායකතුමනි. එම ඇමුණුම සභාගත* කරනවා.
කර්මාන්තපුරවලින් ඉඩම් වෙන් කර දී ඇති, එහෙත් බදු ගිවිසුම් තවමත් සකස් වී නොමැති ආයෝජකයන්ගේ බදු ගිවිසුම් කඩිනමින් සකස් කර දීම සඳහා කර්මාන්තපුර මට්ටමින් ජංගම සේවා පැවැත්වීමට අවශ්‍ය කටයුතු මෙම අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කිරීම කරනු ලබන අතර, ඒ සඳහා ඉඩමේ හිමිකාරිත්වය දරන ආයතනය ඇතුළුව අදාළ සියලු රාජ්‍ය ආයතනවල නිලධාරින් හා කර්මාන්තපුරවල සියලු ආයෝජකයන් සහභාගි වේ. මේ ක්‍රියාවලිය පහසුකර ගැනීම සඳහා කර්මාන්තපුර මට්ටමින් ජංගම සේවා කටයුතු ආරම්භ කරන්නත්, ඒවා අමාත්‍යාංශයෙන් සම්බන්ධීකරණය කරලා අදාළ ආයතන ඔක්කෝම කැඳවලා ගතවන කාලය කෙටි කර ගන්නත් කටයුතු කරනවා. මේ වනවිට ලබා දී තිබෙන බදු ඔප්පු ප්‍රමාණය 206ක් වන අතර බදු ඔප්පු සකස් කිරීමට ඇති ප්‍රමාණය 176ක් වෙලා තිබෙනවා.
(v) ඔව්. දැනට අපේ අමාත්‍යාංශය මේ කටයුතු අධ්‍යයනය කරන්න Investor Facilitation Committee එකක් පිහිටුවලා තිබෙනවා. ඒ කමිටුවේ නිර්දේශ අනුව අපි බලාපොරොත්තු වෙනවා, ගරු කථානායකතුමනි, ඉඩම් වෙන් කර දීම දින 22ක් තුළ සිදු කිරීමටත්, බදු ඔප්පු ලබා දීම දින 62ක් තුළ සිදු කිරීමටත්. ඊට අවශ්‍ය නිදේශය හා යෝජනා මෙම කමිටුව මඟින් ලබා දී ඇත.
(vi) ඉහත සඳහන් කර ඇති කමිටුව මඟින් ලබා දී ඇති යෝජනා හා නිරීක්ෂණ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර එහි අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මූලිකව දින 22කුත්, අවසානයේදී දින 62කුත් දක්වා කාලය කෙටි කරන්න අපට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks