01

E   |     |  

 දිනය: 2025-03-03   පිළිතුර ලබා දී ඇත 

0439/2025: ඇල්පිටිය, ගොලුවාමුල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරය: විස්තර

439/2025

ගරු නිශාන්ත පෙරේරා මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 29, ගොලුවමුල්ල ග්‍රාම නිලධාරි වසමේ කර්මාන්තපුරයක් ස්ථාපිත කර තිබේද;

             (ii)      එසේ නම්, එම කර්මාන්තපුරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(iii) එම ප්‍රමාණයෙන් මේ වනවිට සංවර්ධනය කර ඇති භූමි ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

 (iv) එම සංවර්ධන කටයුතු සිදු කර ඇති ආයතනය කවරේද;

(v) එම කර්මාන්තපුරයේ මේ වනවිට ස්ථාපිත කර ඇති කර්මාන්ත සහ ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්ත වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-03

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.              

                        කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ඇල්පිටිය කාර්මික ජනපදය ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 29, ගොලුවාමුල්ල ග්‍රාම නිලධාරි වසමේ ස්ථාපිත කර තිබේ.

              (ii)       ඇල්පිටිය කාර්මික ජනපදයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 65කි. එය ප්‍රථම අදියර අක්කර 21ක් ලෙසත්, දෙවන අදියර අක්කර 44ක් ලෙසත් සංවර්ධනය කරමින් පවතී.

(iii) ඇල්පිටිය කාර්මික ජනපදයේ පළමු අදියර අක්කර 21ක් වන අතර එම කලාපය ආහාර හා කෘෂි ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයක් ලෙස ස්ථාපිත කර ඇත. එම කලාපයේ මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය කර අදාළ රාජ්‍ය ආයතන (මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) මඟින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇත.

ඇල්පිටිය කාර්මික ජනපදයේ දෙවන අදියර අක්කර 44ක් වන අතර එම කලාපයේ අභ්‍යන්තර මාර්ග සකස් කර (කාපට් කර නොමැත) අවසන් කර ඇති අතර එම කලාපය සඳහා විදුලිය හා ජල පහසුකම් ලබාදීම සිදු කරමින් පවතිනවා. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වාර්තාව කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සකසමින් පවතී. කඩිනමින් මේ සඳහා අවසර ලබා ගැනීම සහ අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

(iv) පළමු අදියර - අක්කර 21

•  විදුලිය - කාර්මික ජනපද සඳහා වෙන් වූ ප්‍රතිපාදන මඟින් විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගෙන ඇත.

• කාර්මික ජනපදය සඳහා අවශ්‍ය ජලය -කාර්මික ජනපද සඳහා වෙන් වූ ප්‍රතිපාදනවලින් පෞද්ගලික ආයතන මඟින් නළ ළිං හා ජල ටැංකිය ඉදිකර ඇත.

• අභ්‍යන්තර මාර්ග පහසුකම - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.

• ආරක්ෂක මුරකුටිය හා ගේට්ටුව - කාර්මික ජනපද සඳහා වෙන් වූ ප්‍රතිපාදන මඟින් පෞද්ගලික ආයතනයක් හරහා ඉදිකිරීමට කටයුතු සිදු කර ඇත.

දෙවන අදියර - අක්කර 44

• අභ්‍යන්තර මාර්ග පද්ධතිය - කර්මාන්ත ජනපද සඳහා වෙන් වූ ප්‍රතිපාදන මඟින් පෞද්ගලික ආයතන හරහා අභ්‍යන්තර මාර්ග සකස් කර ඇත. (කාපට් කර නොමැත)

• කර්මාන්ත සඳහා අවශ්‍ය ජල පහසුකම් - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් නළ ළිං 5ක් සවි කර ඇත.

• කාර්මික ජනපදය සඳහා අවශ්‍ය විදුලිය - විදුලිබල මණ්ඩලය මඟින් ඒ සඳහා අවශ්‍ය ඇස්තමේන්තු ඉල්ලුම් කර ඇත.

(v) ඇල්පිටිය කාර්මික ජනපදයේ පළමු අදියර යටතේ ආහාර හා කෘෂි ආශ්‍රිත නිෂ්පාදන කොටසින් - ඒ කියන්නේ, agricultural productions සඳහා වෙන් කර තිබෙන අක්කර 21- දැනට කර්මාන්තකරුවන් 10දෙනෙකුට බිම් කොටස් ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් 4දෙනෙකු මේ වන විට කර්මාන්ත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ඇල්පිටිය කාර්මික ජනපදයේ දෙවෙනි අදියර යටතේ විවිධ නිෂ්පාදන -multi-product- කර්මාන්ත කලාපයක් විධියට දිවෙන අතර, එම කලාපය තුළ ඉඩම් කොටස් ලබා දුන් කර්මාන්ත හිමියන් 9දෙනෙකු වන අතර, තවත් කර්මාන්ත හිමියන් 3දෙනෙකුට පමණ ප්‍රමාණයකට ඉඩ පහසුකම් පවතී. එම කර්මාන්ත කලාපය සඳහා මධ්‍යම පරිසර අධිකාරි‍යේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කර්මාන්ත හිමියන්ට  කර්මාන්ත ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතී.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks