01

E   |     |  

 දිනය: 2025-03-15   පිළිතුර ලබා දී ඇත 

0437/2025: උනකන්ද සහ අන්නාසිගල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති: විස්තර

437/2025

ගරු දිනිඳු සමන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකට මායිම්ව සිංහලයාගම, උනකන්ද හා අන්නාසිගල ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන විදුලි ව්‍යාපෘතිය සඳහා ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ කවුරුන් විසින්ද;

(ii) එම ව්‍යාපෘතිය සඳහා අනුමතිය ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද;

(iii) එම අනුමතිය ලබා දෙන ලද ක්‍රමවේදය කවරේද;

(iv) එම ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(v) එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී,  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ රේඛීය අමාත්‍යාංශය සහ අදාළ වෙනත් ආයතනවලින් නිසි අවසරය ලබා ගෙන තිබේද;

(vi) එසේ නම්, අවසරය ලබා ගන්නා ලද දින වෙන් වෙන් වශයෙන් කවරේද;

(vii) ඊට අදාළ ලේඛනවල පිටපත් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-15

අසන ලද්දේ

ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      විදුලි ව්‍යාපෘති දෙකක් තිබෙනවා.

                        අන්නාසිගල විදුලි ව්‍යාපෘතිය

                         මේ සම්බන්ධයෙන් අන්නාසිගල ගම්මානයේ ගොවීන් පිරිසක් එවකට ගරු ජනාධිපතිතුමා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එම ඉල්ලීම ජනාධිපති කාර්යාලයේ එවකට අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෙත එවා ඇත. එම ඉල්ලීම එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් 2022.10.10 දිනැති ලිපිය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වෙත යොමු කර ඇත.

උනකන්ද අඹකොළආර ව්‍යාපෘතිය

හිටපු කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චාමර සම්පත් දසනායක මහතා විසින් 2023.02.18 දිනැති ලිපිය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

(ii) මෙම ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයේ ගැමි විදුලි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය 2024.05.07 වන දින ලබාගෙන ඇත.  (ඇමුණුම 01)

(iii) මෙම විදුලි ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික විමර්ශනයක් සිදු කර තාක්ෂණික ශක්‍යතාව සඳහා නිර්දේශ ලබාගෙන ව්‍යාපෘතිය සඳහා සම්මත වැය ඇස්තමේන්තුවක් සකස් කර ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ අනුමැතිය ලැබී ඇත.

(iv) අන්නාසිගල විදුලි ව්‍යාපෘතිය සඳහා - රුපියල් 36,644,504.99

උනකන්ද අඹකොළආර විදුලි ව්‍යාපෘතිය සඳහා - රුපියල් 36,229,038.28

මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම විදුලි ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අත්හිටුවන අවස්ථාවේ අන්නාසිගල විදුලි ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 60ක් ද, උනකන්ද විදුලි ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 75ක් ද විය.

(v)  විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගස් ඉවත් කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය 2024.07.30 දින ඉල්ලුම් කර ඇත. (ඇමුණුම 02)

මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගනී.

(vi)  ඊට ප්‍රතිචාර වශයෙන් 2024.08.12 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගස් ඉවත් නොකර මැනුම් කරන ලද ඉඩම් හරහා විදුලි මාර්ග ඉදි කරන ලෙස උපදෙස් දී ඇත. (ඇමුණුම  03)

(vii)  මෙම ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයේ ගැමි විදුලි ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලබාගත් ලංකා විදුලිබල මණ්ඩලයේ  2024.07.05 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට අදාළ ලිපියෙහි (ඇමුණුම 01), ඌව පළාත් ප්‍රධාන ඉංජිනේරු (තැනීම්-ඌව) විසින් යොමු කරන ලද අංක: DGM(UVA)CEC/CI/24038-21039 හා 2024.07.30 දිනැති ලිපියෙහි (ඇමුණුම 02) සහ වන සංරක්ෂක ජනරාල් වෙනුවට ජී.ආර්.පී.බී. සේනාරත්න මහතා, වන සංරක්ෂණ, (පරිසර කළමනාකරණ හා භූ සම්පත්) යොමු කරන ලද අංක FD/EM&GR/EIA/TLP/MISC/2024 හා 2024.08.12 දිනැති ලිපියෙහි (ඇමුණුම 03) පිටපත් මේ සමඟ අමුණා ඇත.

ඇමුණුම 01, 02 සහ 03 සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks