පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
427/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජලය ලබාදී ඇති ප්‍රදේශ සහ පානීය ජලය ලබාදී නොමැති ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුච්චවෙලි, පුඩවයිකට්ටු, තිරියායි සහ සලප්පයියාරු වැනි ප්‍රදේශවලට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පානීය ජලය ලබා නොදීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන පවුල් 5000ක් පමණ පානීය ජලය ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවයට මුහුණදී ඇති බව දන්නේද;
(iii) ඉහත ප්‍රදේශවලට කඩිනමින් පානීය ජලය සැපයීමට සැලසුම්කර තිබේද;
(iv) සමස්තයක් ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2022.01.01 සිට 2024.01.01 දක්වා කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පානීය ජල සැපයුම විසන්ධි වී තිබූ පැය සංඛ්‍යාව කොපමණද;
(ii) එම විසන්ධිවීම් සඳහා බලපාන ලද මූලික හේතුව කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත්, කින්නියා, කඹලගමුව, කන්තලේ, සේරුවිල, මුතූර් හා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පූර්ණ වශයෙන්ද, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් සඳහා ද පානීය නල ජල පහසුකම් ලබා දී ඇත.
එමෙන්ම මොරවැව, ගෝමරන්කඩවල සහ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් සඳහා නළ ජල පහසුකම් ලබා දීමට මේ වන තෙක් කටයුතු කර නැත.
(ii) ඔව්.
(iii) අදාළ ගැටලුව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පහත සඳහන් සැලසුම් ඉදිරිපත් කර ඇත.
යෝජනා 01
මොරවැව, ගෝමරන්කඩවල, පදවි ශ්‍රී පුර සහ කුච්චවේලි (MGPK) ජල සම්පාදන ව්‍යාපෘතිය ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පානීය ජල ඉල්ලුම සපුරාලීම සඳහා සකස් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා යාන් ඔය ජලාශයෙන් පෝෂණය වන බෙලික්කඩවැව ජල මූලාශ්‍රය භාවිත කරනු ලැබේ. මෙහිදී ගෝමරන්කඩවල ප්‍රදේශයෙහි ජල පවිත්‍රාගාරය ඉදිකර ඉහත සඳහන් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පානීය ජලය බෙදා හැරීමට යෝජනා සකස් කර ඇත. 2021 වර්ෂයේදී මෙම ව්‍යාපෘති සැලසුම් සහ ඇස්තමේන්තු කටයුතු අවසන් කර ඇති අතර, පවරා ගත යුතු ඉඩම්ද හඳුනා ගෙන ඇත. නමුත්, මූල්‍ය අර්බුදය හේතුවෙන් දැනට එහි කටයුතු නවතා ඇත. ඉදිරියේදී ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අනුව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්.
යෝජනා 02
කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව ගලා යන ඉහළ ජල ධාරිතාවක් සහිත පේරාරු ගඟ කුඹුරුපිටිය ප්‍රදේශයේදී මුහුදට එකතු වේ. එබැවින් පානීය ජල ඉල්ලුම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල ඉල්ලුම සපුරාලනු වස් මෙම ගඟ හරහා ජලාශයක් ඉදි කිරීමට යෝජනා කර ඇත. මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කොට එය සිදු කිරීමේ හැකියාව සොයා බලන ලදී. මේ වන විට විස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනය අවසන් කර ඇත.
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් දැනට මෙම ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා RO Plant කිහිපයක් මඟින් පානීය ජලය ලබා දීමට කටයුතු කර ඇත.
(iv) කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල ධාරිතාව ත්‍රිකුණාමලය නගරය හා කඩවත්, කින්නියා, තඹලගමුව, කන්තලේ සහ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ජලය සැපයීම සඳහා ප්‍රමාණවත් නොවේ. එයට විසඳුමක් ලෙස වාන්ඇල ප්‍රදේශයේ දිනකට ජලය ඝන මීටර් 20,000ක ධාරිතාවකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් කින්නියා, තඹලගමුව ප්‍රදේශ වෙත සහ කන්තලේ ප්‍රදේශයේ කොටසක ජල ඉල්ලුම සපුරාලීමට හැකියාව ඇත. එය ඉදි කිරීමෙන් පසුව කන්තලේ ජල පවිත්‍රාගාරයේ ඉතිරි වන පිරිපහදු ජල ධාරිතාවෙන් ත්‍රිකුණාමලය සහ අවට ප්‍රදේශවල ජල අවශ්‍යතාව සපුරාලීමට හැකියාව පවතී. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 20,000ක ඇස්තමේන්තුගත වියදමක් දැරීමට සිදු වන අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් එම යෝජනාවද ක්‍රියාත්මක කිරීම නවතා ඇත.
ඉදිරියේදී අමාත්‍යාංශය සඳහා, විශේෂයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහා ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කටයුතු කරනවා.
මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ජල ව්‍යාපෘති දෙකක ඉදි කිරීම් කටයුතු සිදු කරමින් පවතී. පවතින සීමිත මූල්‍ය සම්පත් සීමාව තුළ මෙම වසර තුළ නව ජල ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාවක් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ඔවුන් විසින් තවදුරටත් දන්වා සිටී.
නමුත්, දැනට ඉදි කරමින් තිබෙන ජල ව්‍යාපෘති දෙක සම්පූර්ණ වූ පසු ඉන් කොටසක් හරහා මෙම ප්‍රදේශවලට පානීය ජලය ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්.
(ආ) (i) 2025 මාර්තු මස දක්වා කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙත සියලුම දිනවල ජලය සැපයූ අතර, නගර සභා බලප්‍රදේශය වෙත දින දෙකකට වරක් ජල සැපයුම ලබා දී ඇත. 2025 මාර්තු මස සිට කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි සියලුම දිනවලදී ජල සැපයුම ලබා දීම සිදු කර ඇත.
(ii) 2025 මාර්තු මස වන තෙක් කින්නියා ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙත ජලය සැපයූවේ මහාමාරු ජල කුලුනෙන් වන අතර, නගර සභා බලප්‍රදේශය වෙත ජලය සපයනු ලැබුවේ වෙල්ලමනල් ජල කුලුන මඟිනි. කින්නියා නගර සභා බලප්‍රදේශය වෙත දිනපතා ජලය සැපයීමට නම් මහාමාරු ජල කුලුනේ සිට ජලය සැපයිය යුතු අතර, එවකට එළා තිබූ ජල සැපයුම් නළවල ප්‍රමාණය ඊට ප්‍රමාණවත් නොවීය.
එබැවින්, 355mm HDPE නළ කිලෝමීටර 01ක ප්‍රමාණයක් ද, 225mm HDPE නළ කිලෝමීටර 1.85ක ප්‍රමාණයක් ද එළීම් කටයුතු සිදු කර 2025 මාර්තු මස සිට එම බෙදාහැරීමේ නළ ඔස්සේ මහාමාරු ජල කුලුනේ සිට කින්නියා නගර සභා බලප්‍රදේශය වෙතද දිනපතා ජලය බෙදා හැරීම සිදු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks