04

E   |     |  

 දිනය: 2025-03-12   පිළිතුර ලබා දී ඇත 

0392/2025: පළාත් ආදායම් කොමසාරිස්වරයා පත්කිරීම: ඌව පළාත් සභාව

392/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       ඌව පළාත් සභාව සඳහා පත් කර ඇති නව පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කරන ලද ක්‍රමවේදය කවරේද;

             (ii)       පළාත් ආදායම් කොමසාරිස්  තනතුර සඳහා අදාළ සුදුසුකම් කවරේද;

(iii) නව පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කිරීමට ප්‍රථමයෙන් සිටි හිටපු පළාත් ආදායම් කොමසාරිස්වරයා, දේශීය ආදායම් සේවාවේ නිලධාරියෙක්ද;

(iv) පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කරනු ලබන්නේ දේශීය ආදායම් සේවයෙන්ද, පළාත් ආදායම් සේවයෙන්ද, ගණකාධිකාරී සේවයෙන්ද;

(v) ඌව පළාත් සභාව සඳහා පත් කර ඇති නව පළාත් ආදායම් කොමසාරිස්වරයා මීට පෙර ඌව පළාත් සභාවේ පළාත් ආදායම් කොමසාරිස් තනතුරට පත් කර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ නිලධාරියෙක්ද;

(vi) එසේ නම්, එම නිලධාරියා පත්කර ඇති පදනම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-12

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම මඟින් දැක්වෙන, ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙහි විධායක නිලධාරි සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටියේ 11.2 වගන්තියේ සඳහන් සුදුසුකම් සහිත නිලධාරියෙකු ඌව පළාත් සභාවේ නොමැති බැවින් හා ඉදිරියේදී දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවා සුදුසු නිලධාරියෙකු පත් කර ගන්නා තෙක් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32 (I) උප වගන්තිය යටතේ ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ I ශ්‍රේණියේ නිලධාරි ඩී.එම්.එන්.පී. දිසානායක මහතා තම නිත්‍ය තනතුරේ රාජකාරිවලට අමතරව ඌව පළාත් ආදායම් කොමසාරිස් තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර ඇත.

 (ii) ඇමුණුම මඟින් දැක්වෙන, ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙහි විධායක නිලධාරි සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටියේ 11.2 වගන්තියේ දැක්වේ. 

ඇමුණුම සභාගත* කරමි.

  (iii) ඔව්.

(iv) පළාත් ආදායම් සේවයේ හෝ දේශීය ආදායම් සේවයේ නිලධාරියෙකු.

(v) ඔව්.

(vi) ඇමුණුම මඟින් දක්වා ඇති, ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙහි විධායක නිලධාරි සේවා ගණය සඳහා බඳවා ගැනීමේ පටිපාටියේ 11.2 වගන්තියේ සඳහන් සුදුසුකම් සහිත නිලධාරියෙකු පළාත් සභා රාජ්‍ය සේවයේ නොමැති බැවින් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32(1) උප වගන්තිය යටතේ ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම සිදු කර ඇත.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks