02

E   |     |  

 දිනය: 2025-03-06   පිළිතුර ලබා දී ඇත 

0390/2025: 2015 පිහිටවූ දූෂණ විරෝධී කමිටු කාර්යාලය: විස්තර

390/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      2015 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දූෂණ විරෝධී කමිටු කාර්යාලය එවකට අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කරනු ලැබුවේද;

             (ii)      එම කමිටුව ස්ථාපිත කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සහ අමාත්‍ය මණ්ඩල තීරණය ඉදිරිපත් කරන්නේද;

(iii) එම කමිටුවේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) දූෂණ විරෝධී කමිටු කාර්යාලය වසා දමන අවස්ථාව වනවිට එම කාර්යාලය වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(vi) පවරා තිබූ නඩු සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද පුද්ගලයාගේ නම සහ ලිපිනය කවරේද;

(ii) ඔහු අනවසරයෙන් වාහනයක් ධාවනය කර එය අනතුරකට පත් කර ඇති බව දන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-06

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2015.01.21 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය සහ 2015.01.21 දිනැතිව එවකට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයෙන් දක්වා ඇති යෝජනා   පරිදි අංක අමප/15/0005/602/002 හා අමප/15/0003/615/002 හා 2015 ජනවාරි මස 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර ඇත.

එමෙන්ම එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් "දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම" මැයෙන් ඉදිරිපත් කරන ලද 2015.02.06 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශයට අදාළ අංක අමප/15/0066/602/002 - I හා 2015.02.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් දූෂණ  විරෝධී කමිටු ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර ඇත. මෙම දූෂණ විරෝධී කමිටුව හා දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති බවට නිශ්චිතවම සඳහන් නොවන නමුත් අමාත්‍ය මණ්ඩලය මඟින් කාර්යාලය සම්බන්ධයෙන් වරින් වර ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් වෙත පවරා ඇත.

(ii) සන්දේශය - (ඇමුණුම 01) ලෙසත්, තීරණය (ඇමුණුම 02) ලෙසත් ඉදිරිපත් කරමි.

(iii) දූෂණ වි‍රෝධී කමිටුව ස්ථාපිත කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව කමිටු සාමාජිකයින් 14දෙනෙකු පත් කර ඇත.

(iv) ඉහත කී අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව නම් කරන ලද කමිටු සාමාජිකයින්ගේ නාමයන් එවකට තනතුරු හෙබවූ ආකාරයෙන් ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ ලිපිනයන් සම්බන්ධ තොරතුරු කිසිවක් අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව මේ සම්බන්ධයෙන් පවතින ලිපි ගොනුවල ඇතුළත් නොවන අතර, ඔවුන්ගේ නම් පහත පරිදි ඉදිරිපත් කරමි.

1. අගමැති රනිල් වික්‍රමසිංහ ( සභාපති)

2. අමාත්‍ය මංගල සමරවීර

3. අමාත්‍ය පාඨලී චම්පික රණවක

4. අමාත්‍ය ආචාර්ය වි‍ජයදාස රාජපක්ෂ

5. අමාත්‍ය රවුෆ් හකීම්

6. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නායක, සරත් ‍ෆොන්සේකා

7. දෙමළ ජාතික සන්ධානය (TNA) නායක, ආර්. සම්පන්දන්

8. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

9. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

10. නීතිඥ ජේ.සී. වැලිඅමුණ

11. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

12. මලික් සමරවික්‍රම

                         13. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක

                         14. කමිටු ලේකම්

(v) දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත එවන ලද 2020.01.20 දිනැති ලිපියේ සඳහන් පරිදි පැමිණිලි 475ක් සහ පරිපාලන අක්‍රමිකතා සහ වෙනත් පැමිණිලි 667ක් ලැබී ඇත. (ඇමුණුම 03)

(vi) පවරා තිබූ නඩු සම්බන්ධයෙන් තොරතුරු දැනට අග්‍රාමාත්‍ය කාර්යාලය සතු ලේඛනවල ඇතුළත් නොවේ.

(ආ) (i) දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ තැනැත්තෙක් සම්බන්ධ තොරතුරු දැනට මෙම කාර්යාලය සතුව පවතින ලිපි ගොනු තුළ ඇතුළත්ව නොමැත.

(ii) අදාළ නොවේ.

(ඇ) දූෂණ විරෝධී කමිටුව සඳහා පිහිටුවන ලද ලේකම් කාර්යාලය වෙනුවෙන් සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම මැයෙන් එවකට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2015.02.27 දිනැතිව ඉදිරිපත් කරන ලද කාර්ය මණ්ඩල සංයුතිය සඳහා අමප/15/0168/602/002-II හා 2015.03.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත. (ඇමුණුම 04)

එහි ඇතුළත් කාර්ය මණ්ඩල සංයුතිය තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් ඇතුළත් නොවේ. (ඇමුණුම 05)

 

තවද, දූෂණ විරෝධී කමිටුව සහ ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් දැනට අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව පවතින ලේඛනවල අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැත.

ඇමුණුම් 01 සිට 05 දක්වා සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks