බලන්න

04

E   |     |  

 දිනය: 2025-02-21   පිළිතුර ලබා දී ඇත 

0384/2025: 2017 සිට ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ ජීවිත සහ‍ දේපළ: වන්දි

384/2025

ගරු වරුණ ලියනගේ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2017 වර්ෂයේ සිට මේ දක්වා විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ ජීවිත, විනාශ වූ දේපළ සහ ව්‍යාපාර වෙනුවෙන් ගෙවූ වන්දි මුදල සහ ගෙවීමට ඇති හිඟ වන්දි මුදල එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ‍ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ආරම්භ කරන ලද රක්ෂණ ක්‍රමය, අංක 03/2016 දරන චක්‍රලේඛය මඟින් ස්ථාපිත කරන ලද අතර එය ආපදාවන්ට ලක් වූ ජනතාවට විශාල සහනයක් බව පිළිගන්නේද;

(iii) අංක 01/2020 දරන චක්‍රලේඛය මඟින් රු. 10,000/=ට වැඩි වන්දි සඳහා  ඉඩමේ අයිතිය සනාථ කළ යුතු බව නියම කිරීම හේතුවෙන් විශාල පවුල් සංඛ්‍යාවකට වන්දි මුදල් නොලැබුණු බව දන්නේද;

(iv) ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ පවුලකට වියළි සහ පිසූ ආහාර ලබා දීම සඳහා දිනකට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;

(v) ආපදා වන්දි තක්සේරු කිරීමේදී, 2020.09.09 දිනැති NBRO/FL/DA/IN/R5 චක්‍රලේඛය මඟින් නියම කරන ලද තක්සේරු වටිනාකම ප්‍රමාණවත් නොවන බැවින් තක්සේරු වටිනාකම වැඩි කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-21

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ)          (i)      2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ස්වාභාවික ආපදා හේතුවෙන්  විනාශ වූ දේපොළ හා ව්‍යාපාර සඳහා ගෙවූ වන්දි මුදල් පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් වශයෙන් ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත

 

 ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු වූ ජීවිත හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ විස්තර දිස්ත්‍රික් අනුව සකස් කර ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.

 

2024 වර්ෂය අවසන් වන විට 2017 වර්ෂයේ සිට ඇස්තමේන්තු කර අවසන් සියලු නිවාස සඳහා වන්දි මුදල් ගෙවා අවසන් කර ඇත.

විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරු මඟින් ගෙවීම් කිරීමට යොමු කර ඇති අදාළ ප්‍රතිපාදන ඉතිරි වී ඇති බැවින් හිඟ ගෙවීම් නොමැති බවට නිරීක්ෂණ අප වෙත ලැබී තිබෙනවා. එසේම ඇස්තමේන්තු කිරීමේ ප්‍රමාදයන් හෝ වෙනත් ලියකියවිලිවල අඩු පාඩු හේතුවෙන් ගෙවීම් කිරීමට පවතී නම් එම අවශ්‍ය ප්‍රතිපාදන 2025.02.28 දිනට ප්‍රථම ඉල්ලුම් කරන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත දැනුම් දී තිබෙනවා.

(ii) පිළිගනිමි.

(iii) රුපියල් 10,000ට වැඩි ගෙවීම් යනු සාපේක්ෂව වැඩි අගයක් ගන්නා ඇස්තමේන්තු වන බැවින් ඉඩමේ අයිතිය නිසි පරිදි තහවුරු කර ගැනීම සඳහා කරුණු රාශියක් බලපානවා. ඔබතුමාට ඒ පිළිබඳව අවබෝධයක් ඇති කියලා හිතනවා. 

  • ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලායටම ප්‍රතිලාභ ලැබීම තහවුරු වීම. ඒක අත්‍යවශ්‍යයි.
  • නඩු, ආරවුල් පවතින ඉඩම් සඳහා ද  වන්දි මුදල් අයදුම් කරන බැවින් වන්දිය ලැබිය යුතු නිශ්චිත පාර්ශ්වය හඳුනා ගත යුතුයි.
  • අනවසර ලෙස ඉදිකර ඇති දේපළ සඳහා අයිතිය විමසීමකින් තොරව වන්දි ලබා දීම එම නීති විරෝධී බව තහවුරු කිරීමක් වීම. 
  • ඇතැම් පුද්ගලයන් වංචනික ලෙස වන්දි ලබා ගැනීමට උත්සාහ කිරීම අගතියට පත් පාර්ශ්වයට ප්‍රතිලාභ හිමිකම් ලැබීම අවිනිශ්චිත වීම.
  • ඒ හේතුවෙන් රක්ෂිත සහ අනවසර පදිංචිකරුවන් සහ නීතිමය ගැටලු සහිත සිද්ධීන් හැරුණු කොට අයිතිය සනාථ කිරීමට නීතිමය ලියකියවිලි නොමැති වුවද, පදිංචි කාලය ඒ වාගේම වෙනත් හිමිකරුවන් ඉදිරිපත් නොවීම ආදී කරුණු සලකා බලා නිවාස හානි ප්‍රතිපූර්ණය කිරීමට දිස්ත්‍රික් ලේකම්ට හැකියාවක් පවතිනවා. එසේම, අදාළ දේපළෙහි වත්මන් අයිතිකරුගේ අවසරය මත ද පදිංචිකරුවන්ට වන්දි මුදල් ගෙවීමේ කටයුතු සිදු කරනවා.

(iv) පුද්ගලයන් වෙත පිසූ ආහාර ලබා දීමේදී සුරක්ෂිත මධ්‍යස්ථානයන් තුළ හෝ ඒ ආසන්න ස්ථානයක තොග වශයෙන් ද්‍රව්‍ය මිලදී ගෙන එහි සිටින පුද්ගලයන්ගේද සහාය ඇතිව ආහාර පිසීම සිදු කරන බැවින් අඩු පිරිවැයක් යටතේ ආහාර ලබා දීම සිදු කළ හැකි වේ.

ඒකයි දැනට අපි කරගෙන යන පිළිවෙත.

ඒ අනුව පිසූ ආහාර ලබා දීම සඳහා එක් පුද්ගලයෙකුට දිනකට රුපියල් 600ක මුදලක් මේ වන විට ගෙවීම් කටයුතු ලෙස ‍සිදු කරනු ලබයි.

වියළි සලාක ලබා දීමේදී, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් වියළි සලාක ලෙස ලබා දෙන බැවින් 2024.06.05 දිනැති ආපදා කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2020 (II) මඟින් ඉදිරිපත් කරන ලද සංශෝධිත නව මිල ගණන් යටතේ ප්‍රමාණවත් වියළි සලාකයක් ලබා දිය හැකිය.

ඒ අනුව වියළි සලාක සඳහා සතියකට,

තනි පුද්ගලයෙකුට  රු. 1,800.00

සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුතු පවුලකට  රු. 2,400.00

සාමාජිකයන් තුන්දෙනෙකුගෙන් යුතු පවුලකට රු. 2,800.00

සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුතු පවුලකට රු. 3,200.00

සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුතු පවුලකට රු..3,600.00

ලෙස මේ වන විට ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

(v) ඔව්,

2020.09.09 දිනැතිව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කළ දේපළ හානි ප්‍රතිපූරණ පිරිවැය ඇස්තමේන්තුව මේ දක්වා භාවිත වන අතර, ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල ගණන්හි ඇති වූ මිල ඉහළ යෑමත් සමඟ මෙම ඇස්තමේන්තුව සංශෝධනය කිරීමත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මේ වන විට සිදු කර ඇත. ඒ අනුව සංශෝධිත ඇස්තමේන්තු අගයන් සහිත නව පිරිවැය ඇස්තමේන්තුව අනුමැතියට යොමු කර තිබෙනවා. එම අනුමැතිය ලැබුණාට පසුව ඒ අනුව අපි මිල සංශෝධන සමඟ තක්සේරු වටිනාකම ලබා දීමට කටයුතු කරනවා.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks