පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
382/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව සහ මේ වනවිට එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පුරප්පාඩු සඳහා නව නිලධාරින් බඳවා ගන්නේද;
(iii) මේ වනවිට සේවය කරනු ලබන සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව සහ වැඩ ආවරණය කරනු ලබන සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මේ වනවිට විශ්‍රාම ගොස් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සහ සමෘද්ධි කළමනාකරුවන්ගේ කාර්යභාරය එක සමාන වන්නේද;
(ii) සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට සහ සමෘද්ධි කළමනාකරුවන්ට උසස්වීමේ ක්‍රමවේදයක් තිබේද;
(iii) එසේ නම්, එම ක්‍රමවේදය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට පිහිටුවා ඇති සමෘද්ධි බැංකු සංඛ්‍යාව කොපමණද;
(ii) සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධයෙන් සැලසුම් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-15
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025.01.31 දිනට සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාව - 17,624කි.
2025.01.31 දිනට සමෘද්ධි සංවර්ධන නිලධාරි පුරප්පාඩු සංඛ්‍යාව - 2,513කි.
(ii) ඔව්. බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල බඳවාගැනීම් සමාලෝචන කමිටුව වෙත යොමු කර ඇත.
(iii) 2025.01.31 දිනට සේවය කරනු ලබන සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව - 2,093කි.
2025.01.31 දිනට වැඩ ආවරණය කරනු ලබන සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව - 192කි.
(iv) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත 2014 වර්ෂයේ සිට 2024.12.31 දක්වා වන කාල සීමාව තුළ,
විශ්‍රාම ගොස් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව - 2,756කි.
විශ්‍රාම ගොස් ඇති සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව - 190කි.
ඒ අනුව, එම තනතුරුවලට අදාළ මුළු සංඛ්‍යාව -2,946කි.
(v) විශ්‍රාම වැටුප් ලබන මුළු සංඛ්‍යාව 2024.12.31 දිනට - 2,481කි.
සමෘද්ධි සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව - 2,332කි.
සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව - 149කි.
ගෙවීමට ඇති විශ්‍රාම වැටුප් ගොනු 465ක් අතරින්, 2025.03.01 දින වන විට විශ්‍රාම වැටුප් ගොනු 278 කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. ඉතිරි විශ්‍රාම වැටුප් ගොනුවල පවතින අඩුපාඩු සකස් කරමින් පවතී. (මූල්‍ය බැඳීම්, ගොනුවල ලේඛන අඩු පාඩු, 60% ගෙවා නොමැති ආදී කරුණු හේතුවෙන්)
(ආ) (i) නැත. සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ආසන්නම අධීක්ෂණ නිලධාරියා සමෘද්ධි කළමනාකරු වේ.
සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ කාර්යභාර්ය:
ප්‍රජාව සවිබලගැන්වීම, අඩු ආදායම්ලාභීන් හඳුනා ගැනීම, සමෘද්ධි බැංකු තැන්පතු එකතු කිරීම, ණය ලබාදීම, ණය අය කර ගැනීම්, සමාජ ආරක්ෂණ කටයුතු හා ප්‍රජා මූල සංවිධාන පිහිටුවීම ආදිය ප්‍රධාන කාර්යයන් වේ.
සමෘද්ධි කළමනාකරුවන්ගේ කාර්යභාර්ය:
සමෘද්ධි බැංකු අධීක්ෂණය, කළමනාකරණය, ප්‍රජාව සවිබලගැන්වීම සඳහා නිලධාරින් යොමු කිරීම හා පහසුකම් සැලසීම ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම. සමෘද්ධි බැංකු සාමාජිකයන්ගේ ජීවනෝපාය සංවර්ධනයට අදාළ ණය පහසුකම් සැලසීම ආදිය ප්‍රධාය කාර්යයන් වේ.
(ii) ඔව්.
(iii) සමෘද්ධි සංවර්ධන නිලධාරින් සඳහා උසස්වීමේ ක්‍රමය
උස්සවීම් සඳහා බඳවා ගන්නා ක්‍රම 02ක් වේ. (තරග විභාගයක් මගින් බඳවා ගැනීම් සිදු කර උසස්වීම් ක්‍රියාත්මක කරනු ලබයි.)
01 ක්‍රමය - කළමනාකරණ සහකාර තනතුර සඳහා (MN -02)
කොටස් 02කි.
i සීමිත බඳවා ගැනීම් යටතේ උසස්වීම්.
භාෂාව සහ ගණිතය ඇතුළුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් සහිතව විෂයයන් හයකින් සමත්ව තිබීම.
සහ
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී සියලුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) එක්වර සමත්ව තිබීම. පැරණි විෂය නිර්දේශය විෂයයන් 03කින් එකවර සමත්ව තිබීම ප්‍රමාණවක් වේ.
සහ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දෙපාර්ත- මේන්තුගත MN -01, MA 1-1 වැටුප් කේත අංක යටතේ වැටුප් ලබන සේවයක/තනතුරක අවම වශයෙන් වසර (05) ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරියෙකු වීම.
හෝ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දෙපාර්ත- මේන්තුගත MN -01, MA 1-1 වැටුප් කේත අංක යටතේ වැටුප් ලබන සේවයක/තනතුරක අවම වශයෙන් වසර දහයක (10) ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරියකු වීම.
ii කුසලතා පදනම මත බඳවා ගැනීම් යටතේ උසස්වීම්.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දෙපාර්ත- මේන්තුගත MN -01, MA 1-1 වැටුප් කේතයට අයත් තනතුරක පළමු ශ්‍රේණියේ නිලධාරියකු වීම.
02 ක්‍රමය - කළමනාකරු තනතුර සඳහා (MN -04)
i සීමිත බඳවා ගැනීම් යටතේ උසස්වීම්.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් ලබා තිබීම.
සහ
වසර 05ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
(MN -02 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන පරිපාලන නිලධාරි, ප්‍රධාන ලිපිකරු, කළමනාකරණ සහකාර හා MN -01 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා MT-01 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන තොරතුරු තාක්ෂණ නිලධාරීන්, මාධ්‍ය සහකාර, අභ්‍යන්තර විගණන නිලධාරී, විගණන සහකාර, වීඩියෝ කැමරාකරු / සංස්කාරක, පොත් තබන්නා, පරිගණක සහකාර, කාර්මික නිලධාරින්, ගිණුම් සහකාර හා භාෂා පරිවර්තක නිලධාරීන්)
හෝ
වසර 10ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
(MN -02 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන පරිපාලන නිලධාරි, ප්‍රධාන ලිපිකරු, කළමනාකරණ සහකාර හා MN -01 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා MT-01 වැටුප් කාණ්ඩය යටතේ වැටුප් ලබන තොරතුරු තාක්ෂණ නිලධාරින්, මාධ්‍ය සහකාර, අභ්‍යන්තර විගණන නිලධාරි, විගණන සහකාර, වීඩියෝ කැමරාකරු/ සංස්කාරක, පොත් තබන්නා, පරිගණක සහකාර, කාර්මික නිලධාරින්, ගිණුම් සහකාර හා භාෂා පරිවර්තක නිලධාරින්)
සමෘද්ධි කළමනාකරුවන් සඳහා උසස්වීමේ ක්‍රමය.
උසස්වීම් සඳහා බඳවා ගන්නා ක්‍රම 02ක් වේ. (තරග විභාගයක් මඟීන් බඳවා ගැනීම් සිදු කර උසස්වීම් ක්‍රියාත්මක කරනු ලබයි.)
01 ක්‍රමය - සමෘද්ධි කළමනාකරු (MN -7) ( විශේෂ ශ්‍රේණිය තනතුර සඳහා )
කොටස් 02 කි.
i සීමිත බඳවා ගැනීම් යටතේ උසස්වීම්.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ MN -6, MN -4, MA -5-2 හා MA -3 වැටුප් කේතය යටතේ වැටුප් ලබන ස්ථිර තනතුරක වසර 10ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ස්ථිර කළ නිලධාරින්
ii කුසලතා පදනම මත බඳවා ගැනීම් යටතේ උසස්වීම්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ MN -6, MN -4, MA -5-2හා MA -3 වැටුප් කේත අංක යටතේ වැටුප් ලබන I වන ශ්‍රේණියේ නිලධාරින්.
02 ක්‍රමය- විධායක සේවා ගණය (SL-01) තනතුර සඳහා උසස්වීම්
කොටස් 02කි.
i සීමිත බඳවා ගැනීම් යටතේ උසස්වීම්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති විශ්වවිද්‍යාලයක හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප්‍රදානය කෙරෙන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් ලබා තිබීම.
සහ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, දෙපාර්ත-මේන්තුගත MN -7, JM 1-2, MN -6, MA 5-2, MN -4, MA -3, MT -01, MN -2, MA 1-2 වැටුප් කේත අංක යටතේ වැටුප් ලබන සේවයක/තනතුරක අවම වශයෙන් වසර (05) ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරියකු වීම,
හෝ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දෙපාර්ත- මේන්තුගත MN -7, JM 1-2, MN -6, MA 5-2, MN -4, MA -3, MT -01, MN -02, MA 2-1 වැටුප් කේත අංක යටතේ වැටුප් ලබන තනතුරක අවම වශයෙන් වසර 10 ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරියකු වීම,
ii කුසලතා පදනම මත බඳවා ගැනීම් යටතේ උසස්වීම්.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ MN -7, JM 1-2, වැටුප් කේත අංක යටතේ වැටුප් ලබන තනතුරක අවම වශයෙන් වසර 15කට නොඅඩු සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරියකු වීම,
(ඇ) (i) සමෘද්ධි බැංකු සංගම් සංඛ්‍යාව 1,097කි.
(ii) සමෘද්ධි ව්‍යාපාරය යටතේ පහත වැඩසහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
I. අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන
“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ, ප්‍රතිලාභ ලබන පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික, සමාජීය හා මානසික යන අංශවලින් සවිබලගන්වා, තිරසර හා උසස් ජීවන මට්ටමක් අත්කර ගත් පවුල් ඒකක බවට පත් කිරීම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
ඉලක්කගත ප්‍රතිලාභීන් - 2025 සිට 2029 වර්ෂ 05ක කාලය තුළ, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීම.
පවුල් සවිබලගැන්වීම ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් හරහා සිදු කෙරේ.
i. ජීවනෝපාය ප්‍රවර්ධනය
ii. මූල්‍ය අන්තර්කරණය
iii. මනෝසමාජීය සවිබලගැන්වීම
iv. සමාජ ආරක්ෂණය
v. පුහුණුව හා මඟපෙන්වීම
සවිබලගැන්වීමේ වැඩසටහන දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ සියලුම වසම් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
සුදුසු පවුල් තෝරා ගැනීම සමෘද්ධි සංවර්ධන නිලධාරි හා ග්‍රාමීය කමිටුව මඟින් සිදු කෙරේ.
තෝරා ගනු ලබන සෑම පවුලක් සඳහාම පවුල් සංවර්ධන සැලසුමක් සකස් කෙරෙන අතර, ජීවනෝපාය හා ආර්ථික සංවර්ධන කාර්යයන්හි නිරත වන පවුල් සඳහා ව්‍යාපාර සංවර්ධන සැලස්මක් සකස් කිරීමට කටයුතු කෙරේ.
ඉහත පවුල් සංවර්ධන සැලසුම් හා ව්‍යාපාර සංවර්ධන සැලසුම් තුළින් හඳුනා ගනු ලබන ක්ෂේත්‍රයන් හරහා පවුල් සවිබලගැන්වීම සිදු කෙරේ.
II. “ සිප්දොර” ශිෂ්‍යත්ව වැඩසටහන
අඩු ආදායම්ලාභී පවුල්වල උසස් පෙළ හදාරණ සිසුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම අරමුණු කරගෙන මාසිකව රු.1,500 බැගින් ඉගෙනුම ලබන වසර දෙකක කාලය තුළ එක් සිසුවකුට රු. 36,000ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් ලබා දීම සිදු කෙරේ.
ඒ අනුව, 2025 වර්ෂය තුළ අඩු ආදායම්ලාභී පවුල්වල උසස් පෙළ හදාරණ දරුවන් 56,000ක් සඳහා සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
III. ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන
අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය සංවර්ධනය, ආදායම් උත්පාදන කටයුතු, නිවාස වැඩිදියුණු කිරීම, පාරිභෝගික අවශ්‍යතා, ආපදා අවශ්‍යතා වැනි කාර්යයන් වෙනුවෙන් රු. 50,000ක සිට රු. 5,000,000 දක්වා සහන පොලී අනුපාතයන් යටතේ සමෘද්ධි බැංකු හා බැංකු සමිති හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම සිදු කෙරේ.
2025 වර්ෂය තුළ ප්‍රතිලාභීන් ලක්ෂ 3ක් සඳහා ණය ලබාදීමට සැලසුම් කර ඇත.
බැංකු සාමාජිකයන්ගේ ණය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීම වෙනුවෙන් බැංකු සාමාජිකයන්, සාමාජික නොවන හා ළමුන් ඇතුළු සියලු ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රාශීකරණය කර ගැනීමට ද වැඩසටහනක් දියත් කිරීමට අපේක්ෂිතය.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks