01

E   |   த   |  

 දිනය: 2026-10-06   පිළිතුර ලබා දී ඇත 

0371/2026: ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම: ප්‍රගතිය

ගරු අජිත් පී. පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කවරේද;

             (ii)       මේ වනවිට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු  මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කර ඇති ප්‍රදේශ කවරේද;

(iv) ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාව පුරා ක‍්‍රියාත්මක කිරීම සඳහා පවතින බාධා කවරේද;

(v) 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-10-06

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට අනුබද්ධව මේ වන විට පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාල ගණන - 52කි. ‍(ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 139ක් ආවරණය වේ.)

                        හිමිකම්පෑම් ඉදිරිපත් කිරීම සඳහා ගැසට් කරන ලද ඉඩම් කැබලි සංඛ්‍යාව - 2,050,988 (12වන වගන්තියට අනුව)

                        හිමිකම් ප්‍රකාශ කරන ලද (14 වගන්තිය) ඉඩම් කැබලි සංඛ්‍යාව - 1,164,633

ප්‍රාදේශීය ලේකම්වරුන් හා ඒකාබද්ධව රජයේ ඉඩම් සඳහා සහතිකකරණයට අදාළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

(ii) අනුමත තනතුරු සංඛ්‍යාව 1,657ක් වුව ද, දැනට සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව 1,030කි. විස්තර ඇමුණුම මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ඇමුණුම පහත පරිදි වේ.

(iii) මේ වන විට ප්‍රාදේශීය කාර්යාල 52ක් මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 139ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඊට අමතරව තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 81ක රජයේ ඉඩම් සඳහා ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන්, අදාළ තොරතුරු දීර්ඝ වගුවක් මඟින් ඉදිරිපත් කර තිබෙනවා. මා එය සභාගත* කරනවා. 

 

* සභාමේසය මත තබන ලද වගුව:

* சபாபீடத்தில் வைக்கப்பட்ட அட்டவணை:

* Table tabled:

 

 

 

 

(iv) 1. බිම් සවිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ඉඩම් 1931 ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත යටතේ නිරවුල් කර තිබිය යුතුයි. විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර පළාත්වල එම නිරවුල් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී.

2. මෙම බිම් සවිය හිමිකම් සහතික පත්‍ර ලබා දීම ව්‍යාපෘතියක් ලෙස නිශ්චිත අරමුණු හා ඉලක්ක ඇතිව ආරම්භ වූ නමුත් පසුව එය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම කැඩැස්තර සිතියම් සකස් කිරීම මත රඳා පවතින අතර, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවන්ගේ සීමා සහිත වීම නිසා දැනට පවතින ඉලක්කයන්ට අනුව හිමිකම් තීරණය කිරීමට ලැබෙන්නේ සීමිත සිතියම් ගණනකි. එයට විකල්ප ලෙස බලයලත් මිනින්දෝරුවන්ගේ සේවය ලබා ගැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. එය එසේ වුවත්, වාර්ෂික ඉඩම් කැබලි 100,000ක් ඉක්මවා ලබා දීමේ හැකියාවක් නොමැත.

3. හිමිකම් සහතිකය ලබා ගැනීම අනිවාර්ය නොවන අතර, ලංකාවේ දැනටමත් පවතින ලේඛන ලියාපදිංචි කිරීම යටතේ ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා නැඹුරුතාවක් දක්වන බැවින්, හිමිකම් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් නොවන ප්‍රමාණය සියයට 15ත්, 20ත් අතර වේ.

4. විමර්ශන සිදු කිරීම සහ ලේඛන පරීක්ෂා කිරීම තාක්ෂණික දැනුම සහිත නිලධාරින් විසින් සිදු කළ යුතු ය.

මේ විෂය පිළිබඳ යම් අවබෝධයක්, තාක්ෂණික දැනුමක් තිබෙන නිලධාරින් තමයි එය කළ යුත්තේ.

මෙම වැඩසටහන ආරම්භයේදී දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව හිමිකම් විමර්ශන නිලධාරින් බඳවා ගැනීමට සැලසුම් කළ ද එය මේ වන විට ක්‍රියාත්මක නොවේ. සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව යටතේ බඳවා ගන්නා ලද ඒකාබද්ධ සේවයට අයත් නිලධාරින් මේ වන විට හිමිකම් විමර්ශන නිලධාරින් ලෙස කටයුතු කරන අතර එම නිලධාරින් වෙනත් ප්‍රියමනාප සේවා ස්ථාන සඳහා ස්ථාන මාරුවීම් ලබා යෑමේ ප්‍රවණතාවක් පවතින බවට තොරතුරු ඉදිරිපත් වී තිබේ.

5. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආකර්ෂණීය සේවා ස්ථානයක් නොවන බැවින් හා හිමිකම් විමර්ශන නිලධාරින් සඳහා උසස්වීම් පටිපාටියක්ද නොමැති බැවින් නිලධාරින් මෙම දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේද අඩුවෙන් බවටයි තොරතුරු ඉදිරිපත් වන්නේ.

6. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි කාර්යාල 80ක් පිහිටුවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් පවතින මූල්‍ය හා ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් නව කාර්යාල පිහිටුවීම කාර්යාල 52කට සීමා වී ඇත.

ඒ කියන්නේ, මුල් අවස්ථාවේදී ඇති වෙච්ච ගැටලුත් එක්ක තමයි මෙම යම් යම් සීමාවන් ඇති වෙලා තිබෙන්නේ. මේක වෙනස් කරන්න අපි දැනට කටයුතු කරමින් ඉන්නවා.

මෙම කාර්යාල ක්‍රියාත්මක කිරීම සඳහා සහකාර කොමසාරිස්වරුන්ගේ තනතුරු අනුමත වුවද දැනට අනුයුක්ත සංඛ්‍යාව 29කි. ඒ අනුව මෙම කාර්යාල 52 සඳහා ද පුරප්පාඩු පවතී. එබැවින් විමර්ශන කටයුතු අධීක්ෂණය හා ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අපහසු වන අතර ඒ සඳහා කාලයක් ද ගත වෙයි.

7. හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා පත්ඉරු පරීක්ෂාව සිදු කිරීමේදී සියලු ප්‍රාදේශීය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයන්හි පවතින අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම මත එම කාර්යයට කාලය ගත වේ.

8. ශ්‍රී ලංකාව පුරා "බිම් සවිය" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් පද්ධතියක් නොමැත.

ගරු මන්ත්‍රීතුමනි, ඉහත සඳහන් පරිදි ගැටලු කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.

  (v) 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතට අදාළ යෝජිත සංශෝධන සඳහා වූ 2026.07.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එකී යෝජිත සංශෝධන මත පදනම්ව යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් පනත් කෙටුම්පත සකස් කරන ලෙස අමාත්‍යාංශය මඟින් 2026.08.05 දිනැතිව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks