E   |     |  

 දිනය: 2026-08-06   පිළිතුර ලබා දී ඇත 

0368/2026: 'අපි වෙනුවෙන් අපි' අරමුදල: විස්තර

ගරු අජිත් පී. පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල ආරම්භ කළ දිනය කවරේද;

            (ii)       අරමුදල සතු මුදල් ප්‍රමාණය කොපමණද;

           (iii)       එම අරමුදල මඟින් මුදල් වැය කළ එක් එක් කාර්යය, අදාළ ප්‍රතිලාභියා සහ වැය කළ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) අරමුදල වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යාම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-06

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      'අපි වෙනුවෙන් අපි' අරමුදල 2008 පෙබරවාරි 19වන දින 2008 අංක 6 දරන අපි වෙනුවෙන් අපි අරමුදල් පනත මඟින් ආරම්භ කර ඇත.

              (ii)      2026.07.31 දිනට 'අපි වෙනුවෙන් අපි' අරමුදලේ ශේෂය රුපියල් 1,986,278,324.59ක් වේ.

             (iii)     

  • 2021 වර්ෂයේ සිට මේ දක්වා අරමුදල මඟින් වැය කළ එක් එක් කාර්යයන් පහත පරිදි වේ.

අ.  ත්‍රිවිධ හමුදා සහ පොලීසිය ප්‍රතිලාභීන් වෙත අර්ධ සහ පූර්ණ නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා ගෙවීම. (ව්‍යාපෘති සංවර්ධන වියදම්)

ආ. ත්‍රිවිධ හමුදා හා පොලීසිය වෙත ව්‍යාපෘති පරිපාලන වියදම් ගෙවීම.

ඇ. රණජයපුර වෙළඳ සංකීර්ණයේ සහ කාර්යාලයේ පරිපාලන වියදම් ගෙවීම.

ඈ. ස්ථාවර තැන්පත් සඳහා රඳවා ගැනීමේ බදු ගෙවීම.

ඉ. ජාතික විගණන කාර්යාලය වෙත විගණන ගාස්තු ගෙවීම.

ඊ. ව්‍යාපෘති දුරකථන, නිවාස සමීක්ෂණ, සංග්‍රහ/ගමන් හා කාර්ය මණ්ඩල දීමනා ඇතුළු ව්‍යාපෘති මෙහෙයුම් වියදම් හා වෙනත් වියදම්.

  • මේකේ පාලක මණ්ඩලයක් තිබෙනවා. පාලක මණ්ඩලයේ සමහර ගෙවීම් සහ මණ්ඩල සාකච්ඡා වාර සඳහා ගෙවීම් සහ ඔවුන්ගේ සංග්‍රහ සහ ගමන් වියදම් සඳහා තමයි ඒ වියදම් කරලා තිබෙන්නේ.
  • 2010-2024 වර්ෂ තුළ මූල්‍ය ප්‍රකාශනයන්ට අනුව 'අපි වෙනුවෙන් අපි' අරමුදලේ නිවාස ව්‍යාපෘති වියදම් සාරාංශය ඇමුණුම i මඟින් දක්වා ඇත.
  • "අපි වෙනුවෙන් අපි" අරමුදලේ 2021 සිට 2024 වර්ෂය දක්වා නිවාස ව්‍යාපෘති ගෙවීම් සාරාංශය ඇමුණුම ii මඟින් දක්වා ඇත.

<

ඒකේ විශේෂයෙන්ම තිබෙන්නේ ප්‍රතිලාභීන්ගේ අර්ධ නිවාස, ඒ කියන්නේ සම්පූර්ණ කර නැති නිවාස සහ සම්පූර්ණයෙන්ම හදන්න තිබෙන නිවාස පිළිබඳව වාගේම ඉඩම් හිමි අයවලුන් සඳහා මුදල් පහසුකම් ලබා දීම පිළිබඳවයි.

ඒ වාගේම නිවාස ව්‍යාපෘති ගෙවීම් සාරාංශය වෙනම තිබෙනවා. ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සහ වැය කළ මුදල් ප්‍රමාණය iii සිට ix දක්වා වූ ඇමුණුම් මඟින් දක්වා ඇත.

2021 වර්ෂයට පෙර කාලය සඳහා අදාළ තොරතුරු සියල්ලම ලබා දීම සඳහා‍ තවත් කාලයක් ගතවෙනවා, ගරු මන්ත්‍රීතුමනි. එබැවින් ඒ තොරතුරු ඉදිරි කාලයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මොකද, 2008 පෙබරවාරි සිට 2021 දක්වා - වසර 13ක - කාල සීමාවට අදාළ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ නැහැ. අපි දැන් ඒ තොරතුරු එකතු කරගෙන යනවා. එවකට සිටි ආරක්ෂක ලේකම් සහ ඒ අරමුදල භාරව කටයුතු කරපු නිලධාරින් ඒවා එකතු කරලා තිබුණේ නැහැ. අපි බලයට පත් වුණාට පස්සේ තමයි ඒවා එකතු කරගෙන යන්නේ. ඒ කාලයේදී ඒ අරමුදල වෙනත් අමාත්‍යාංශයක් යටතේ පැවතිලා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත් අපි කටයුතු කරගෙන යනවා. එම තොරතුරු ලැබුණු පසු ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්.

(iv) "අපි වෙනුවෙන් අපි" අරමුදල සහ ජාතික ආරක්ෂක අරමුදල යන පනත් දෙකෙහි ම සඳහන් අරමුණ සහ පරමාර්ථ ජාතික ආරක්ෂක ප්‍රවර්ධනය සහ රණ විරු සුබසාධනයට අදාළ වන බැවින්, මෙම පනත් දෙක ඒකාබද්ධ කරමින් රණ විරුවන් ‍වෙනුවෙන් තනි පනතක් යටතේ එක් ශක්තිමත් අරමුදලක් පවත්වාගෙන යෑම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. ඒක ජාතික ආරක්ෂක අරමුදලේ පාලක මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන්නත් උපදෙස් ලබා දීලා තිබෙනවා. මොකද, අරමුදල් දෙකේම පොදු අරමුණු - common aims - තිබෙන නිසා තමයි අපි එකක් සකස් කරන්න බලාපොරොත්තු වන්නේ.

මේ වන විට මෙම පනත් දෙක ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මූලිකව කරුණු සොයා බැලීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්ද අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතිනවා.

(ආ) අදාළ ‍නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks