E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

0361/2026: "ද ෆිනෑන්ස්" සමාගම: ඈවර කිරීම සහ තැන්පත්කරුවන්ට වන්දි

361/2024

 ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ‘ද ෆිනෑන්ස්’ ආයතනය ප්‍රතිව්‍යුහග‍ත කිරීමට අමාත්‍ය මණ්ඩල‍යේ අනුමතිය ඉල්ලා ඇති බව 2021.02.10 දින පාර්ලිමේන්තුවේදී එවකට විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ‍ කළ බව දන්නේද;

(ii) එම අනුමැතිය ලබා දුන් දිනය සහ සුදුසු ආයෝජකයෙක් කැඳ‍වූ දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත ආයතනය ඈවර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව 2021.02.15 දින වාණිජ මහාධිකරණ‍යේ නඩුවක් ගොනු කළ බවත්;

(ii) එය ඉහත ප්‍රකාශයට ප‍ටහැනි බවත්;

 ‍එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙන් ‍ අගතියට පත් එක් තැන්පත්කරුවෙකුට  රු.500,000/- බැගින් ගෙවනු ලබන දිනය කවරේද;

(ii) ඉහත අරමුදලේ මුදල් භාවිතයෙන් තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ මුදල ගෙවිය හැකිද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) 2019 ජනවාරි මස විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මසකට රුපියල් බිලියනයක් වන ක්‍රමය යටතේ මහ බැංකුව විසින් රුපියල් මිලියන 950කට අධික මුදලක් උපයාගැනීම සඳහා ‘ද ෆිනෑන්ස්’ ආයතනයට ඉඩ ලබාදී, පසුව බලපත්‍රය අවලංගු කළ බව දන්නේද;

(v) එසේ නම්, මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2021.02.10 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ සඳහන් පරිදි, ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් "ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී" ආයතනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සඳහන් කළ නමුත්, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගරු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නැවත ඉවත් කරගෙන ඇත.

(ii) ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉවත් කරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ලබාගෙන නොමැත.

කෙසේ වෙතත් 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී" ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා ගණනාවක් සහ ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දී තිබුණද, එය සාර්ථක කර ගැනීමට "ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී" ආයතනය අපොහොසත් වී ඇත.

2019 වර්ෂයේ ඉඳලා තමයි දීලා තිබෙන්නේ.

(ආ) (i) "ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී" ආයතනය ඈවර කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2021.02.16වෙනි දින කොළඹ වාණිජ මහාධිකරණයේ අංක CHC/19/2021/CO යටතේ පෙත්සමක් ගොනු කර ඇත.

(ii) ඉහත සඳහන් කළ පරිදි "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගෙන නොමැති බැවින් මෙහි සඳහන් කාරණය පැන නොනඟී.

(ඇ) (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2020.05.22වන දින  අවලංගු කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" ආයතනයෙහි තැන්පත්කරුවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම් 2020.06.07වන දින සිට ආරම්භ කරන ලදී.

පසුව, 2021.03.16වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ඇති තැන්පත්කරුවකුට ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල රුපියල් 600,000 සිට රුපියල් 1,100,000 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. තවදුරටත්, මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි පවතිනරෙගුලාසි සංශෝධනය කිරීමටත්, "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" හි ඒ වනවිටත් රක්ෂණ වන්දි මුදල් ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ට වැඩි කළ රුපියල් 500,000ක රක්ෂණ වන්දි මුදල ගෙවීමටත් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව වැඩි කරනු ලැබූ රුපියල් 500,000ක රක්ෂණ වන්දි මුදල "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" හි ඒ වනවිටත් රක්ෂණ වන්දි ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ට ගෙවීම 2021.04.12වන දින සිට ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ පනත්, නියෝග, නීති රීති සහ රෙගුලාසිවලට අනුව, "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" හි තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම 2024.05.21වන දින දක්වා සිදු කරන ලදී. ඒ අනුව රුපියල් බිලියන 12.96ක් තැන්පත්කරුවන් 36,479කට ගෙවා ඇත.

(ii) ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම අරමුදලේ මුදල් භාවිත කරමින් අදාළ සාමාජික ආයතනවල සුදුසුකම් ඇති තැන්පත්කරුවන්ට සම්පූර්ණ මුදල ලබා දීමේ හැකියාවක් නැති අතර, රුපියල් 1,100,000ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීමට පමණක් හැකියාව ඇත.

(iii) 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ඇති තැන්පත්කරුවෙකුට එක් ආයතනයක් සඳහා ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල රුපියල් 1,100,000කි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය 2010 වර්ෂයේදී ස්ථාපනය කරන ලද රක්ෂණ යෝජනා ක්‍රමයක් වන අතර ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අරමුදල් සැපයෙනුයේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නියමිත කාලවලදී ගෙවනු ලබන වාරික මුදල්වලින් වේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මූලික අරමුණ වනුයේ, බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල තැන්පත්කරුවන් විසින් කරනු ලබන තැන්පතු, රක්ෂණය කිරීම වන අතර යම් හෙයකින් එම ආයතනවල බලපත්‍රය අවලංගු කළහොත් එම ආයතනවල තැන්පත්කරුවන්ට රුපියල් 1,100,000ක උපරිමයක් දක්වා රක්ෂණ වන්දි ගෙවීම සිදු කිරීම වේ. එමෙන්ම බැංකු (විශේෂ විධිවිධාන) පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව, ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සහ විදේශ විනිමය තැන්පතු යන දෙවර්ගයටම අදාළව සුදුසුකම් ඇති තැන්පත්කරුවෙකුට ගෙවිය යුතු උපරිම වන්දි මුදල, රුපියල් 1,200,000ක සීමාවකට යටත් වේ.

(iv) 2019 ජනවාරි මස රුපියල් මිලියන 950කට අධික තැන්පතු රැස් කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය, "ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී" ආයතනයේ කළමනාකරණය විසින් ගනු ලැබූවක් වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද තැන්පතු සීමාව තුළ සිදු කර ඇත.

(v) ඉහත (ඇ)(iv)හි සඳහන් කළ පරිදි එම තැන්පතු රැස් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද  සීමාව තුළ සිදු කර ඇත.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks