01

E   |     |  

 දිනය: 2025-07-22   පිළිතුර ලබා දී ඇත 

0338/2025: මහර බන්ධනාගාර පරිශ්‍රයේ මුස්ලිම් දේවස්ථානය: විස්තර

----

අසන ලද දිනය

2025-07-22

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

(ii)   ·       මැලේ ජාතික ඉස්ලාම් භක්තික බන්ධනාගාර නිලධාරින් වෙනුවෙන් මුල් කාලීනව ආරම්භ කරන ලද මෙම දේවස්ථානය කාලය ගතවීමත් සමඟ සම්පූර්ණයෙන් පිටස්තර පුද්ගලයන් භාවිත කිරීමට පටන් ගෙන ඇති අතර, වර්තමානයේ ඉස්ලාම් භක්තික නිලධාරින් විසින් භාවිත කරනු ලබන්නේ මහර බන්ධනාගාරය ඇතුළත පරිශ්‍රයේ පිහිටුවා ඇති පල්ලිය වේ.

  • බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයිති භූමියක පවතින ගොඩනැඟිල්ලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව අනීතික ලෙස ලියාපදිංචි කිරීම සිදු කර තිබීම.
  • පල්ලියට ඇතුළු වන්නේ මහර බන්ධනාගාරයට ඇතුළු වන ප්‍රධාන දොරටුවට පිවිසෙන මාර්ගයෙන් හා වෙනත් අනවසර ස්ථානයකින් වන අතර, ප්‍රධාන දොරටුවට පිවිසෙන මාර්ගයෙන් ඇතුළු වූ පුද්ගලයෙක් බන්ධනාගාරයේ දකුණු පස ඇති තාප්පය දිගට සමාන්තරව ඇති මාර්ගය දිගේ මීටර් 300ක පමණ දුරක් ගොස් පල්ලිය පිහිටා ඇති භූමියට ප්‍රවිෂ්ට විය යුතු වේ. (දළ සැලැස්ම ඇමුණුම් අංක 1හි දක්වා ඇත.)
  • එම මාර්ගය දිගේ ගමන් ගන්නා පිටස්තර පුද්ගලයන් -පල්ලියට යන මුවාවෙන් ගමන් ගන්නා අය- ජංගම දුරකථන, මත් ද්‍රව්‍ය හා වෙනත් තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසිකිරීමට පවතින හැකියාව තුළ ආයතනයේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වීම. ඒ, පල්ලියට යන අය නොවෙයි, වෙනත් පුද්ගලයන් වෙන්න පුළුවන්.
  • එමෙන්ම ඉස්ලාම් බැතිමතකු මියගිය විට එම දේහය පල්ලියට රැගෙන ඒම නිසාත්, විවාහ වන විට අදාළ පාර්ශ්ව පැමිණීම නිසාත් සිකුරාදා දිනවලදී විශාල පිරිසක් එක්රැස් වන ස්ථානයක් බවට පත්වීම නිසා එම තත්ත්වය බන්ධනාගාරයේ ආරක්ෂාවට තර්ජනයක් වීම.
  • පල්ලිය ඇති ස්ථානයේ සිට ප්‍රධාන තාප්පයට ඇති දුර අඩි 50ක් පමණ වීම නිසා ආයතනයේ ආරක්ෂාවට බාධාවක් ඇති වීමට හැකියාවක් තිබීම.
  • තනිකඩ නිලධාරින්ගේ නිවස්නය ද පල්ලියට සමාන්තරව ඉතාම ආසන්නව අඩි 10ක පමණ දුරකින් පිහිටා තිබීම.
  • ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවනු ලබන්නේ මහර බන්ධනාගාරයේ ගිණුම් අංශය විසින් වීම.
  • යථෝක්ත පල්ලිය මහර බන්ධනාගාරයට හා තනිකඩ නිල නිවාසයට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින් පල්ලිය පවරා දීම නිසා මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන බව පසක් කර එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් අදාළ පල්ලියේ අයිතිය ලබා දිය නොහැකි බව 2013.02.04 දිනැති ලිපියෙන් පල්ලියේ පාලනාධිකාරිය වෙත දන්වා ඇත. (ඇමුණුම් අංක 2හි දක්වා ඇත.)
  • ඒ අනුව, එවකට මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් පල්ලිය සහිත ඉඩම රජයට පවරා දෙන ලෙස දන්වා, අස්කිරීමේ දැන්වීමක් පල්ලියේ පාලනාධිකාරිය වෙත දන්වා යවා ඇතත්, පල්ලියේ පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරලා නැහැ. එය යවා තිබෙන්නේ 2013 මාර්තු මාසයේ. (ඇමුණුම් අංක 3හි දක්වා ඇත.)
  • එකල රට තුළ පැවති වාතාවරණය අනුව පිටස්තර පුද්ගලයන් බන්ධනාගාර පරිශ්‍රය තුළ රැදී සිටීම නිසා මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ හා නිලධාරින්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින්, එකල සිටි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් බන්ධනාගාරයට අයත් මාර්ගවල පිටස්තර පුද්ගලයන්ට ගමන් කිරීමට අවසර ලබා නොදෙන ලෙස දන්වා 2019.04.25 දිනැති ලිපියෙන් නියෝගයක් නිකුත් කර ඇත. (ඇමුණුම් අංක 4හි දක්වා ඇත.)
  • 2019.05.16 දාතමින් එවකට මහර බන්ධනාගාර අධිකාරි කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතාගේ ලිපියෙන් දක්වා ඇති පරිදි මහර බන්ධනාගාරයේ සේවය කරනු ලබන මුස්ලිම් භක්තික නිලධාරින් හා සිරකරුවන් වෙනුවෙන් සකස් කර ඇති මෙකී මුස්ලිම් පල්ලියේ ආගමික කටයුතු සදහා හඳුනා නොගත් විවිධ පිටස්තර පුද්ගල කණ්ඩායම්වලට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට ‍ඉඩදී, ආයතනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් දැරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොමැති බැවින්, බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි මුස්ලිම් පල්ලියට පිටස්තර පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමීම පිණිස අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. (ඇමුණුම් අංක 5හි දක්වා ඇත.)
  • මරණීය දණ්ඩනය නියම කරන ලද සිරකරුවන්, නම ගිය අපරාධකරුවන් - IRCs, පාතාල සාමාජිකයන්, මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා විශේෂ අපරාධවලට සම්බන්ධ සිරකරුවන්/සැකකරුවන් 2,000කට අධික ප්‍රමාණයක් රඳවා සිටින මහර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ/සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව හා රජයේ දේපළවල සුරක්ෂිතභාවය සලකා බැලීමේදී අවදානමක් දැරීමේ හැකියාවක් නොමැති අතර, බාහිර පාර්ශ්වයන් වෙත පල්ලිය විවෘත කරන ලෙස රජයේ විවිධ පාර්ශ්ව මඟින් දිගින් දිගටම ඉල්ලීම් කිරීම ද සිදු වුණා. නමුත් එයින් ආයතනයේ ආරක්ෂාවට මැනිය නොහැකි මට්ටමේ අන්තරාදායක තත්ත්වයක් ඇති බවට 2019.09.12 දාතමින් මහර බන්ධනාගාරයේ එවකට සිටි අධිකාරි විසින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. (ඇමුණුම් අංක 6හි දක්වා ඇත.)
  • අදාළ පල්ලිය පිහිටි පරිශ්‍රයට නැවත පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම නිසා මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති විය හැකි බැවින්, අදාළ පල්ලිය නැවත විවෘත නොකිරීම වඩාත් සුදුසු බවට 2020.07.08 දිනැති ලිපියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත හා අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින්. (ඇමුණුම් අංක 7හි දක්වා ඇත.)

ඇමුණුම් 1, 2, 3, 4, 5, 6 සහ 7 සභාගත* කරමි.

(iii) එම ස්ථානයේ තිබෙන ඒ පරණ සිද්ධස්ථානය -පල්ලිය- විවෘත කළොත්, ඉහතින් කී බාධා ඉස්මතු වෙනවා. කෙසේ වෙතත්, ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු මුනීර් මුලාෆර් මැතිතුමා මේ වන විටත් එම ස්ථානය නිරීක්ෂණය කරලා, එම පල්ලියේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. ඒ වාගේම දැන් අපි  Prisons Department එක සමඟත් මේ සම්බන්ධව සාකච්ඡා කරමින් ඉන්නවා. Prisons Department එකට අයත් තවත් පර්චස් පහක පමණ ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව ප්‍රවේශ වීමේ අපහසුතා නොමැති, ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයේ බිම්කඩක් හඳුනාගෙන තිබෙනවා. මුනීර් මුලාෆර් නියෝජ්‍ය ඇමතිතුමා සමඟ සාච්ඡා කළ පාලනාධිකාරියට, ඒ පල්ලියේ නියෝජිතයන්ට අපි දැනුම් දීලා තිබෙනවා, මේ සම්බන්ධව නිල වශයෙන් අපෙන් ඉල්ලීමක් කරන්න කියලා. ඉන් පසු ඒ අලුත් ස්ථානය ඔවුන්ට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරනවා. මොකද, ඒ ප්‍රදේශයේ පුද්ගලයන් කාලයක් තිස්සේ එතැනට ගිහිල්ලා තිබෙන නිසා.

නමුත්, ආරක්ෂාව නිසා පැරණි පල්ලියට යන්න අවස්ථාව දෙන්න බැහැ. දෙවැනි තත්ත්වය, ඉදිරියට සාකච්ඡා කරගෙන යනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks