01

E   |     |  

 දිනය: 2025-01-22   පිළිතුර ලබා දී ඇත 

0320/2025: කල්මුණේ - උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: පරිපාලන තත්ත්වය

320/2024

ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)     කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, 1989 දී උප දිසාපති කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කර, පසුව 1993.03.17 දිනැති අංක 93/600/034 හා 1993.03.31 දිනැති අංක  93/600/034(I) යන අමාත්‍ය මණ්ඩල සංදේශ සහ 1993.07.09 දිනැති අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ද පදනම් කර ගෙන 1993.09.28 දිනැති අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උත්ශ්‍රේණිගත කරන ලද බවත්;

(ii) ඒ අනුව, එය ස්වාධීන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස වර්ෂ 34කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන බවත්;

(iii) කල්මුණේ-උතුර (දෙමළ කොට්ඨාසය) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කල්මුණේ-දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උප කාර්යාලයක් ලෙස පහත හෙළීමට උත්සාහ කරන බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(iii)හි සඳහන් පහත හෙළීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබේද;

(ii) එසේ නම්, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේද;

(iii) නොඑසේ නම්, එම පහත හෙළීමේ පදනම කවරේද;

  (iv) අමාත්‍ය මණ්ඩල තීරණයක් අභිබවා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්, උප කාර්යාලයක් ලෙස පහත හෙළීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට/රජයේ නිලධාරියෙකුට හැකියාවක් තිබේද;

(v) එසේ නම්, එහි නීත්‍යානුකූලභාවය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-01-22

අසන ලද්දේ

ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කල්මුණේ - උතුර ඇතුළුව සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාල 28ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වශයෙන් ක්‍රියා කිරීම පිණිස පරිවර්තනය කිරීම සඳහා 1993.07.28 දිනැතිව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

              (ii)      එලෙස අනුමැතිය ලබා දී තිබුණද මේ දක්වා එම කාර්යාලය ක්‍රියාත්මක වී ඇත්තේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙසිනි.

(iii) කල්මුණ - උතුර උප කාර්යාලය, කල්මුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් ලෙස මේ වනවිටත් ක්‍රියාත්මකව පවතින අතර, කල්මුණ - උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ප්‍රාදේශීය ලේකම් තනතුරක් අනුමතව නොමැත. ඒ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරක් පමණක් අනුමතව ඇති අතර, මේ දක්වා සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් එහි රාජකාරි කටයුතු සිදු කරනු ලැබේ. ඒ අනුව කල්මුණ - උතුර උප කාර්යාලය පහත හෙළීමට උත්සාහයක් ගෙන නොමැත.

(ආ) (i) පහත හෙළීමට තීරණයක් ගෙන නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) නැත.

(v) අමාත්‍ය මණ්ඩල තීරණ පදනම් කර ගනිමින් අමාත්‍යවරයා විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීමා මායිම් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

තවද, කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වන තෙක් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර, මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩු 03ක් ගොනු වී ඇත. අභියාචනාධිකරණ නඩු අංක             CA/Writ/300/2018, අභියාචනාධිකරණ නඩු අංක CA/Writ/67/2023, අභියාචනාධිකරණ නඩු අංක CA/Writ/645/2023.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. රුවන් සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks