පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-23
අසන ලද්දේ
ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2013දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ කොළඹ නගර අලංකරණ ව්‍යාපෘතිය - Colombo City Beautification Project - යටතේ පිටකොටුව ඕල්කට් මාවත හා ඒ අවට පිහිටි අනවසර හා අවිධිමත් කඩ කාමර ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එහිදී කොළඹ නගර සභාව විසින් පරිපාලන කටයුතු පවත්වාගෙන ගිය පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි ඉඩම් කොටසේ ව්‍යාපාර කටයුතු කරන ලද පාර්ශ්ව හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ ඒ පාර්ශ්ව විසින් සිදු කරන ලද ව්‍යාපාරයේ ස්වභාවය හා ව්‍යාපාර පවත්වාගෙන යනු ලැබූ ගොඩනැඟිල්ලේ ස්වභාවය අනුව එම වෙළෙඳුන් වෙත 2014 වර්ෂයේදී කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළින් පුනස්ථාපන - relocation - පහසුකම් ලබා දීමට කටයුතු කරන ලද බව නාගරික සංවර්ධන අධිකාරිය දන්වා සිටී.
(ii) පාවෙන වෙළඳපොළ ඉදිකිරීම සඳහා 2013 වර්ෂයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 312ක් පමණ මුදලක් වැය කර ඇති අතර 2021 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමතර රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් එය නවීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර, මෙකී නවීකරණ කටයුතුවලින් අනතුරුව එම ස්ථානයේ කඩ කාමර 87ක් හා අවන්හල් 05ක් මේ වන විට පවතී.
එම පාවෙන වෙළඳපොළ තුළ පුනස්ථාපනය කරන ලද වෙළඳුන්, ටෙන්ඩර් හා ඍජු පදනම මත විවිධ අවස්ථාවලදී කඩ කාමර ලබාදුන් වෙළඳුන් සංචාරක ආකර්ෂණය සඳහා වන ව්‍යාපාරවලින් බැහැරව සාම්ප්‍රදායික වෙළඳාම්වල නියැළීම හේතුවෙන් සහ ව්‍යාපෘතිය අසාර්ථකභාවය හේතුවෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අපොහොසත්වීම නිසා එම වෙළඳුන්ට නියමිත පරිදි මාසික කුලී හා තැන්පතු මුදල් ගෙවන්න අපහසු වෙලා තිබෙනවා. ඒ අනුව පොදුවේ මේ ස්ථානයේ ව්‍යාපෘතිය වෙළඳුන්ගේ පැත්තෙන් ගත්තත් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ වාගේම නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ගත්තත් අසාර්ථක වෙලා තිබෙනවා.
(iii) වර්ෂ 2013දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මහ නගර සභාවේ පරිපාලනය යටතේ පැවති පිටකොටුව ඕල්කට් මාවත පිහිටි ඉඩම් කොටසක ව්‍යාපාර කටයුතු කරන ලද පාර්ශ්ව ඉවත් කිරීමේ මූලික අරමුණෙන් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා ඒ වාගේම පිටකොටුව හා ඒ අවට පිහිටි අවිධිමත් හා අනවසර ව්‍යාපරික ස්ථාන ඉවත් කරලා ඒ ඉවත් කරපු අයට ව්‍යාපාර කටයුතු කිරීම සඳහාත් ඒ වාගේම ඒ නිදහස් කර ගත්ත කොටස යෝජිතව තිබූ පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය - Pettah Multimodal Transport Hub - ඇතුළු ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි ඒ නිදහස් කර ගන්න කටයුතු කරලා තිබෙන්නේ.
එසේ වුවද, මෙම ව්‍යාපෘති මේ දක්වා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එලෙස නිදහස් කරන ලද ඉඩම් කොටස් තුළ වෙනත් බාහිර පාර්ශ්වයන් විසින් - මුල් අය නොවෙයි - මේ වන විට අනවසරයෙන් නැවත වෙළඳාම් ආරම්භ කරන්න කටයුතු කරලා තිබෙනවා. පිටකොටුවේ පාවෙන වෙළෙඳ පොළ තුළ ව්‍යාපාරික අවස්ථා අවම වීමෙන්, ඒ වාගේම පිටකොටුවේ පාවෙන වෙළඳපොළ තුළ පුනස්ථානපන පදනම මත කඩ කාමර පවත්වාගෙන යනු ලබන පාර්ශ්ව තමන් පෙර කඩ කාමර පවත්වාගෙන යනු ලැබූ ස්ථාන තුළින් නැවත ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ලෙසටත් විවිධ අවස්ථාවල ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.
(iv) පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය - Pettah Multimodal Transport Hub - ඇතුළු ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2013 වර්ෂයේදී ඉවත් කරන ලද ව්‍යාපාරිකයන්හට නැවත එම ස්ථානයෙන් ව්‍යාපාරික ස්ථාන ලබාදීම හා දැනට එම ස්ථානයන්හි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයන් සම්බන්ධව ගතයුතු තීරණ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටකොටුව හා ඒ ආශ්‍රිතව සිදුකර ඇති සැලසුම් නැවත යාවත්කාලීන කර නිසි අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව සිදුකළ යුතු බව තමයි නාගරික සංවර්ධන අධිකාරියේ අදහස.
(v) විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ව්‍යාපෘතිය ගැන කථා කරනකොට වෙළඳුන්ගේ පැත්තෙනුත් මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙලා තිබෙනවා, ඔවුන්ට ප්‍රමාණවත් වෙළඳාමක් කරන්න බැරි වීම නිසා. ඒ නිසා ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉතාම පහළ මට්ටමක තිබෙනවා කියා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය තුළ කඩ කාමර 92ක් තිබෙනවා. Relocate කරපු කඩ කාමර 50ක්, ඒ වාගේම ඍජු පදනම මත ලබා දීපු කඩ කාමර 39ක්, ටෙන්ඩර් මඟින් ලබා දී ඇති කඩ කාමර 03ක් ආදී වශයෙන්. අපි පිළිගන්නවා, අපට ලැබී තිබෙන තොරතුරු අනුව මේ වෙළඳාම් කරන වෙළෙඳුන්ගේ පැත්තෙනුත් මේ ව්‍යාපෘතිය අසාර්ථක බව. ඒ වාගේම නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ගත්තත් මේ ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක්.
අපි මාධ්‍ය තුළින් විවිධ සංදර්ශන දැක්කත් - මේකේ අලංකරණය සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා කියලා දැක්කත් - දීර්ඝ කාලීනව ගත්තොත් මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කළ මුදල හොයා ගන්නවත්, අවම වශයෙන් ඒ සඳහා වෙළෙඳුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නවත් සමත් වෙලා නැහැ. මම උදාහරණයක් කියන්නම්. 2020 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් Floating Market එක නඩත්තු පිරිවැය සඳහා රුපියල් මිලියන 23.8ක් වියදම් කර තිබෙනවා. හැබැයි, උපයන ලද ආදායම රුපියල් මිලියන 5.94යි. ඒ අනුව 2020 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය ලැබූ අලාභය රුපියල් මිලියන 17.8ක්. 2021 වසරේදී උපයන ලද ආදායම රුපියල් මිලියන 3.1යි; නඩත්තු පිරිවැය රුපියල් මිලියන 36.3යි. ඒ අනුව, රුපියල් මිලියන 33.1ක් නාගරික සංවර්ධන අධිකාරියට මේ ව්‍යාපෘතියෙන් පාඩුයි. 2022දී උපයන ලද අදායම රුපියල් මිලියන 7.059යි; නඩත්තු පිරිවැය රුපියල් මිලියන 14.64යි. ඒ අනුව 2022 වර්ෂයේදීත් නැවත වරක් රුපියල් මිලියන 7.5ක් පාඩුයි. මේකෙන් වෙළෙඳුන්ට පාඩු වෙනවා විතරක් නොවෙයි, නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ගත්තත් මේ ව්‍යාපෘතිය පාඩුයි. ඒ නිසා අපි කල්පනා කරමින් ඉන්නවා, මේ වෙනුවට විකල්ප ක්‍රමවේදයක් භාවිත කරලා, වෙළෙඳුන්ටත් අසාධාරණයක් නොවන විධියට අලුත් තේමාවක් යටතේ පාවෙන වෙළෙඳ පොළ සඳහා විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද බලන්න. ඒ සම්බන්ධයෙන් සහ ඒ විකල්ප යෝජනා සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඒ විකල්ප යෝජනා තුළ අවස්ථාව ලැබෙන පරිදි දැන් සිටින වෙළෙඳුන්ට කිසියම් අවස්ථාවක් ලබා දෙන්නත්, ඒ අවස්ථාව නොලැබෙන වෙළෙඳුන් සඳහා පිටකොටුව තුළ විකල්ප වෙළෙඳ ස්ථාන ලබා දීම සම්බන්ධයෙනුත් නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks