01

E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

0298/2025: ලුණු නිෂ්පාදනය සහ ආනයනය: විස්තර

298/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා වර්ෂයකට අවශ්‍ය ලුණු ප්‍රමාණය කොපමණද‍;

            (ii)      එම ලුණු ප්‍රමාණය සපයා ගන්නා ආකාරය කෙසේද;

           (iii)      ලුණු නිෂ්පාදනය කරනු ලබන රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) වැඩි වශයෙන් ලුණු නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශ කවරේද;

(v) ලුණු අස්වැන්න ගබඩා කරනු ලබන ගබඩා පිහිටුවා ඇති ස්ථාන කවරේද;

(vi) එම ගබඩාවල ධාරිතාවය සහ එකී ධාරිතාවයන් කොපමණ කාලසීමාවක් සඳහා ප්‍රමාණවත් වන්නේද යන්න වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2024.01.01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කර තිබේද;

(ii) එසේ නම්, ලුණු ආනයනය කරන ලද අවස්ථා සංඛ්‍යාව සහ එම එක් එක් අවස්ථාවේදී ආනයනය කරන ලද ලුණු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ලුණු ආනයනය කිරීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      සාමාන්‍ය වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000 පමණ වේ. (ගෘහස්ථ පරිභෝජනය සඳහා ලුණු මෙට්‍රික් ටොන් 130,000ක් ද, කර්මාන්ත සඳහා ලුණු මෙට්‍රික් ටොන් 50,000ක් ද අවශ්‍ය වනු ඇත.)

              (ii)      හම්බන්තොට, පුත්තලම, අලිමංකල, මන්නාරම සහත්‍රිකුණාමලය යන ප්‍රද්ශවල පිහිටා ඇති ලුණු ලේවායන් මඟින් මෙම ලුණු ප්‍රමාණ සපයා ගනු ලබයි.

             (iii)      කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව පහත සඳහන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ලුණු නිෂ්පාදනය කරනු ලැබේ.

රජයේ ආයතන

ජාතික ලුණු සමාගම

ලංකා ලුණු සමාගම

පෞද්ගලික ආයතන

පුත්තලම සෝල්ට් ලිමිටඩ්

රයිගම් වයඹ සෝල්ටන් පී.එල්.සී.

රයිගම් ඊස්ටන් සෝල්ටන් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්

සදර්න් සෝල්ට් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්

පුත්තලම ලුණු නිෂ්පාදකයින්ගේ සුබසාධක සංගමය

වෙනත් සුළු ‍හා මධ්‍ය පරිමාණ ලුණු ලේවා - පුත්තලම

(iv) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව හම්බන්තොට, පුත්තලම, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරම යන ප්‍රදේශයන්හී වැඩි වශයෙන් ලුණු නිෂ්පාදනය කරයි.

(v) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව සෑම ලුණු ලේවායකම අස්වනු නෙළීමෙන් පසුව එළිමහන් පීඨිකාවල - platforms - ලුණු ගබඩා කරනු ලබන අතර, එම සෑම ලුණු ලේවායකම වර්ෂයක අවශ්‍යතාවට වඩා ගබඩා කිරීමට අවශ්‍ය ධාරිතාවක් පවතී.

(vi) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව ගබඩා ධාරිතාවය හා ධාරිතාවන් ප්‍රමාණවත් වන කාල සීමාව පහතින් දක්වා ඇත.

අනු අංකය

ආයතනය

රාජ්‍ය ගබඩා ධාරිතාවය (මෙට්‍රික් ටොන්)

පෞද්ගලික ගබඩා ධාරිතාවය (මෙට්‍රික් ටොන්)

1

ජාතික ලුණු සමාගම - මන්නාරම

6,000

-

2

ජාතික ලුණු සමාගම - අලිමංකඩ

17,000

-

3

ලංකා ලුණු සමාගම

110,000

-

4

පුත්තලම සෝල්ට් ලිමිටඩ්

-

20,000

5

රයිගම් වයඹ සෝල්ටන් පී.එල්.සී.

-

12,000

6

රයිගම් ඊස්ටන් සෝල්ටන් කම්පැනි (ප්‍රයිවට් ලිමිටඩ්)

-

25,000

7

සදර්න් සෝල්ට් කම්පැනි (ප්‍රයිවට් ලිමිටඩ්)

-

10,000

8

පුත්තලම ලුණු නිෂ්පාදකයින්ගේ සුභසාධක සංගමය

-

25,000

9

වෙනත් සුළු හා මධ්‍ය පරිමාණ ලුණු ලේවා - පුත්තලම

-

13,000

 

එකතුව

133,000

105,000

 

 

56%

44%

* ලබා ගන්නා ලුණු අස්වැන්න වර්ෂ 03ක පමණ කාලයක් ගබඩා කොට තබා ගත හැකි අතර සෑම වර්ෂයකදීම සම්පූර්ණ අස්වැන්න ලබා ගත නොහැක. නමුත්, විශේෂ කාලගුණ බලපෑමක් සිදු නොවුනහොත් 75% - 80% අස්වැන්නක් ලබා ගත හැකිය. එය දේශීය අවශ්‍යතාවට ප්‍රමාණවත් ය.

(ආ)          (i)      ඔව්.

              (ii)      ශ්‍රී ලංකා ‍රේගු වාර්තාවන්ට අනුව 2024.01.01 දින සිට 2024.12.31 දින දක්වා ලුණු මෙට්‍රික් ටොන් 1,282.0 ආනයනය කර ඇති අතර, 2025.01.01 දින සිට 2025.09.10 දින දක්වා ලුණු මෙට්‍රික් ටොන් 142,549.3 ආනයනය කර ඇත.

(iii) 2024 වර්ෂයේ අගභාගයේ දී ශ්‍රී ලංකාව තුළ සිදු වූ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් (ලුණු නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශවල තිබූ අධික වර්ෂාව) ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය අඩාළ වීම.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks