E   |     |  

 දිනය: 2025-03-14   පිළිතුර ලබා දී ඇත 

0293/2025: කල්මුනේ, අෂ්රෆ් අනුස්මරණ රෝහල: 2024 වර්ෂ‍යේ ඇති වූ ගංවතුරෙන් සිදු වූ හානිය

293/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවති අධික වැසි නිසා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කල්මුනේ, අෂ්රෆ් අනුස්මරණ රෝහලේ ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, නේවාසික වාට්ටු, බාහිර රෝගී අංශය, සායන, ඖෂධ ගබඩා ඇතුළු රෝහල් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ බවත්;

(ii) ඒ හේතුවෙන් එම රෝහලේ කටයුතු අකර්මණ්‍ය වූ බවත්;

(iii) රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් පරිශ්‍ර වඩාත් සුරක්ෂිතව පවත්වාගෙන යා යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) එම රෝහල  ජලයෙන් යට වීම නිසා සිදු වූ හානිය තක්සේරු කර තිබේද;

(ii) එසේ නම්, එම හානිය කොපමණද;

(iii) එම හානිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගනු ලැබූ පියවර කවරේද;

(iv) මින් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවීමට සහ රෝහල් පරිශ්‍රය වඩාත් සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-14

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2024 නොවැම්බර් මාසයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කල්මුනේ, අෂ්රෆ් අනුස්මරණ රෝහලට යාබද ඇළ මාර්ගයේ (ඉරයිවෙල්ලිකන්දම් ඇළ) ජලය පිටාර ගැලීම හේතුවෙන් එම රෝහලෙහි ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය සහ රුධිර කාන්දුකරණ ඒකකය ජලයෙන් යට විය.

              (ii)      ගංවතුර බැස යන තෙක් රෝහලේ කටයුතුවලට බාධා ඇති විය.

              (iii)      ඔව්.

(ආ)          (i)      ඔව්.

              (ii)      රුධිර කාන්දුකරණ යන්ත්‍ර අලුත්වැඩියාව - රු.580,000.00

විදුලිජනක යන්ත්‍ර අලුත්වැඩියාව හා නඩත්තු කටයුතු - රු.330,250.00

හානි වූ මුළු මුදල  - රු.910,250.00

(iii) * ලංකා විදුලිබල මණ්ඩලයේ සහාය ඇතිව විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම.

* රුධිර කාන්දුකරණ යන්ත්‍ර, විදුලි ජනක යන්ත්‍ර සහ අපජල පවිත්‍රාගාරය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

(iv) * අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡා කළ පරිදි ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා රෝහලට යාබද ඉරයිවෙල්ලිකන්දම් ඇළ පිටාර ගැලීම වැළැක්වීමට කල්මුනේ ප්‍රාදේශීය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ තාක්ෂණික උපදෙස් මත කටයුතු කිරීම.

* විදුලි ජනක යන්ත්‍ර ස්ථාපිත කර ඇති කාමරවල බිම් මට්ටම ඉහළ නැංවීමට පියවර ගැනීම.

* අපජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks