04

E   |     |  

 දිනය: 2025-02-27   පිළිතුර ලබා දී ඇත 

0291/2025: මඩකලපුව "මජ්මා නගර්" සුසාන භූමිය: විස්තර

291/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       “කොවිඩ්-19” වසංගත රෝගය වැළදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් භූමදානය කිරීම සඳහා සුදුසු ස්ථානය ලෙස හඳුනාගන්නා ලද මඩකලපුව “මජ්මා නගර්” සුසාන භූමිය, සුසාන භූමි ආඥාපනත අනුව අයත් වන පළාත් පාලන ආයතනය කවරේද;

(ii) එම සුසාන භූමියේ විශාලත්වය කොපමණද;

(iii) එම ඉඩම රජය සතු වන්නේද;

(iv) එසේ නම්, එම ඉඩම නීත්‍යානුකූල ලෙස අත්පත් කර ගන්නා ලද ගැසට් පත්‍රය ඉදිරිපත් කරන්නේද;

(v) එම අත්පත් කර ගැනීම වෙනුවෙන් වන්දි ගෙවා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සුසාන භූමියේ සංවර්ධන කටයුතු සඳහා රජය විසින් වෙන් කරන ලද මුදල සහ පෞද්ගලික පාර්ශ්වයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) එම සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික පාර්ශ්වයන් විසින් ලබා දෙන ලද යන්ත්‍රෝපකරණ ඇතුළු වෙනත් දේපළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-02-27

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කෝරලයිපත්තු බටහිර ඔඕඩමාවඩි ප්‍රාදේශීය සභාව

              (ii)      අක්කර 10කි.

             (iii)      ඔව්.

             (iv)      කෝරලයිපත්තු බටහිර ප්‍රාදේශීය සභාවට මෙම ඉඩම් පවරා දෙන ලෙස වන ඉල්ලීම නැ‍ඟෙනහිර පළාත් පාලන කොමසාරිස්ගේ නිර්දේශය සමඟ කෝරලයිපත්තු බටහිර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත්  කර ඇති අතර, ඉදිරියේදී අත්පත් කර ගැනීමට කටයුතු  කරනු ලැබේ.

(v) නැත.

(ආ)    (i) • සුසාන භූමියේ සංවර්ධන කටයුතු සඳහා මධ්‍යම රජයෙන් අරමුදල් ලැබී නොමැති නමුත්, ප්‍රාදේශීය සභා අරමුදලින් සුසාන භූමියේ නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ.

•  2021.03.05 සිට 2022.03.05 දක්වා කාලය තුළ කොවිඩ් වින්දිතයන්ගේ මළ සිරුරු 3,634ක් මෙහි භූමදාන කරන ලද  අතර, එම භූමදාන කටයුතු සඳහා පෞද්ගලිකව ලැබූ පරිත්‍යාග මුදල රුපියල් 3,427,500කි. 

(ii) • රාජගිරිය, කොළඹ ලිපිනයේ පිහිටි NIDA පදනම නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් ආරක්ෂිත තාප්පය ඉදිකිරීම සඳහා මිලිමීටර් 10 වානේ බාර් 2,350ක්, මිලිමීටර් 12 වානේ බාර් 25ක් සහ බන්ධන වයර් කිලෝග්‍රෑම් 75ක් පරිත්‍යාග කර ඇත.

• දිනපතා රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අමුත්තන් විශාල සංඛ්‍යාවක් තම ආදරණීයයන්ගේ සොහොන් ගෙවල් නැරඹීමට පැමිණෙන බැවින්, ඔවුන් සඳහා මූලික පහසුකම් සහිත බහුකාර්ය ගොඩනැගිල්ලක් බේරුවල චයිනා ෆෝර්ට්හි පදිංචි ජවාහිර් හාජියාර් යන අයගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඇත.

• සුසාන භූමිය වටා අලි වැටක් සහ විදුලිබල සැපයුම කොළඹ අෆ්සාල් මරයික්කාර් මහතාගේ ධන පරිත්‍යාගයෙන් ස්ථාපනය කර ඇත.

• මහනුවර මුස්ලිම් පල්ලියේ සම්මේලනය විසින් කැණීම් කටයුතු සඳහා JCB යන්ත්‍රයක් ලබා දුන් නමුත්, ගැඹුරු කැණීම් සඳහා එම යන්ත්‍රය භාවිතයට ගත නොහැකි වූ බැවින්, ඔවුන් එම යන්ත්‍රය ඉවත් කර ගන්නා ලද අතර, ඉන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ JCB යන්ත්‍රය හා අනෙකුත් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් එම කටයුතු පවත්වා ගෙන යන ලදී.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-02-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks