E   |     |  

 දිනය: 2025-01-23   පිළිතුර ලබා දී ඇත 

0260/2025: 2024 වර්ෂය සඳහා IMF සමාජ වියදම් ඉලක්ක සපුරා ‍නොගැනීම: හේතු

260/2024

ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)       සමාජ වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කයට ළඟා වී නොමැති බව 2024.11.23 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී පීටර් බෘවර් මහතා විසින් ප්‍රකාශ කර ඇති බව දන්නේද;

(ii) 2024 වර්ෂය සඳහා වූ අයවැය ප්‍රකාශය මඟින් අස්වැසුම, වැඩිහිටියන්, නිදන්ගත රෝග සහිත පුද්ගලයන් හා ආබාධිත පුරවැසියන් සඳහා වෙන් කරන ලද සම්පූර්ණ මුදල කොපමණද;

(iii) 2024.11.23 දින වනවිට එම මුදලෙන් වියදම් කර ඇති මුදල කොපමණද;

(iv) එය ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(v) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාජ වියදම් (Social Spending) සඳහා ලබා දෙන ඉලක්කයට අනුව 2024 වර්ෂයේදී සමාජ වියදම් සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(vi) ඒ සඳහා ප්‍රමාණවත් පරිදි එම මුදල් වෙන් නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-23

අසන ලද්දේ

ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        සමාජ වියදම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදාළ ප්‍රධානී ඒ අදහස් ප්‍රකාශ කර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

              (ii)      රුපියල් බිලියන 205යි.

             (iii)      රුපියල් බිලියන 159.5යි.

             (iv)      සියයට 77.5යි.

              (v)      2024 වර්ෂයේදී සමාජ වියදම් සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 205ක් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්ගීකරණයට අනුව social spending කියන category එක යටතේ තමයි මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ, වියදම් කරන්නේ. ඒ සඳහා වෙන් වෙලා තිබෙන්නේත් අර කලින් වෙන් කළ මුදලම තමයි; රුපියල් බිලියන 205යි.

(vi) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි 2024 වර්ෂයට පුරෝකථනය කරන ලද දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.65ක් වන රුපියල් බිලියන 205ක් සමාජ වියදම් සඳහා (දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස් සඳහා මූල්‍ය ආධාර ලබා දීමට) වෙන් කර ඇත. මීට අමතරව පාසැල් සිසුන් සඳහා පෙළ පොත්, නිල ඇදුම් ලබා දීම, ත්‍රිපෝෂ වැඩසටහන, ගර්භිණී මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීම, පොහොර සහනාධාරය ලබා දීම වැනි විවිධ සුබසාධන වැඩසටහන් 38කට වැඩි ප්‍රමාණයක් සමාජ සුබසාධනය අරමුණු කරගෙන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව සමාජ සුබසාධනය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර ඇති බව නිරීක්ෂණය වේ.

ඇත්තටම ලංකාවේ තිබෙන තත්ත්වය ගත්තාම දිළිඳුබව, අන්ත දිළිඳුබව, අවදානම් කලාපය සහ සංක්‍රාන්ති සමය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන්න ඕනෑ කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මේ වෙනකොට ජීවත් වෙන තත්ත්වය සැලකිල්ලට භාජන කළාම ආර්ථිකමය වශයෙන් යම් නඟා සිටුවීමක් කරන්න, සවිබලගැන්වීමක් කරන්න මීට වඩා ප්‍රමාණාත්මක මුදල් වෙන් කිරීමක් කරන්න සිද්ධ වෙන බව ඇත්ත. එහෙත් ලංකාවේ ආදායම් සහ ආර්ථිකය බිඳ වට්ටලා තිබෙන මේ තත්ත්වය තුළ 2024ට වෙන් වූ ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.65ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 205ක් සාපේක්ෂව ප්‍රමාණාත්මකයි කියලා හිතනවා.

කෙසේ වෙතත්, වෙන් කරන ලද මුදල් ඒ ආකාරයෙන්ම වියදම් කර ගන්න බැරි වුණු හේතු සැලකිල්ලට භාජන කළොත් අපට පෙනෙනවා,  -ඊට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වූවා-  2024 සඳහා වෙන් කිරීම සිදු කළත්, නිසි ක්‍රමවේදයක් අනුව වේගයෙන් අදාළ ප්‍රතිලාභ ලැබිය යුතු සුදුසුම පුද්ගලයා කවුද කියලා සොයා ගන්නත්, ඒවා වෙන් කර ගන්නත්, ලැබිය යුතු ප්‍රතිලාභය මොන වාගේද කියලා තීරණය කරන්නත් ක්‍රියාශීලීව මැදිහත් වෙලා මඟ පෙන්වීමක් නොකෙරුණු බවක්. ඒ අනුව 2024 අවසානයේ, මැතිවරණ කිට්ටු වෙනකොට කඩිමුඩියේ ගත්තු තීන්දු නිසා ඒ දත්ත තෝරා ගැනීම නිවැරදිව සිදු වෙලා නැහැ. ඇත්තටම එතැන තිබෙන්නේ Social Welfare Information System එකක් හැදීම.

අපි "අස්වැසුම" වැඩසටහන ඉදිරිපත් කළාම සමාජයට යනවා කිසියම් මුදලක් ගෙවීම කියලා. ඇත්තටම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්න ඕනෑ අය පිළිබඳ පූර්ව දත්ත පද්ධතියක් සකස් කිරීම තමයි අරමුණ වෙලා තිබුණේ. ඒ කටයුත්ත හරියට සිද්ධ නොවීමේ ගැටලු තිබෙනවා. ඒක අපි වේගයෙන් වෙනස් කර ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ දත්ත පද්ධතිය ඇතුළේ, මෘදුකාංග පද්ධතිය ඇතුළේ සමහර දේවල් වෙනස් කර ගන්න පවතින තත්ත්වය යටතේ බාධා ප්‍රමාණයක් තිබෙනවා. අපි ඒවා වෙනස් කර ගන්න උත්සාහ කරලා තිබෙනවා. ඒ දත්ත එකතු කර ගන්න ගමට යන පුද්ගලයාට application එක ලබා දුන්නාම ඒක විමර්ශනය කරලා බලන්න, තොරතුරු එකතු කර ගන්න, ඒවා පරිගණකයට ඇතුළත් කරන්න, පරිගණකයට ඇතුළත් කළාට පස්සේ QR code එකක් දීලා නැවත සමීක්ෂණය කර ගන්න වාගේ විවිධ කාරණා ගණනාවක් තිබෙනවා. අපි පිළිගන්නවා, මේ දත්ත පද්ධතිය ඇතුළේ මේක මේ පවතින විධියටම ක්‍රියාත්මක කළොත් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී යම් අසාධාරණයන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා තමයි සමාජය කථා කරන්නේ. හැබැයි, ඒක වෙනස් කරලා අලුතෙන්ම ආයේ දත්ත පද්ධතියක් සකස් කර ගැනීමත් අපට එක පාරටම කරන්න අමාරුයි,  කාලයක් යනවා. අපි ඒ කටයුත්ත කරන ගමන් අතරමැද විසඳුම් විධියට ඒ අසාධාරණයට පත් වුණු අයටත් අවස්ථාව ලබා දෙමින්, කෙටි කාලීන ක්‍රියාමාර්ගයකට මැදිහත් වෙලා තිබෙනවා, 2025 ජනවාරි මාසයේ 25වෙනි දා ඉඳලා.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks