පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
225/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිගන්නේද;
(ii) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ඉදිරිපත් කරන බවට ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පොරොන්දු වී තිබේද;
(iii) එසේ නම්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු ලබන දින වකවානු කවරේද;
(iv) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමය, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ වන සර්ව පාක්ෂික ක්‍රියාදාමයක් විය යුතු බව පිළිගන්නේද;
(v) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ ක්‍රියාදාමයට ජාතික වශයෙන් ප්‍රමුඛතාවයක් ලබා නොදීමට හේතුව කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-25
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් පවතී.
(ii) ඔව්, පොරොන්දු වී ඇත.
(iii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. එබැවින්, එය සංශෝධනය කිරීම අධ්‍යයනයකින් තොරව සහ විශේෂඥ මත විමසීමකින් තොරව මෙන්ම, පුරවැසි කණ්ඩායම්වලට සවන් දීමකින් තොරව කෙටි කාලයක් තුළ සිදු කිරීම සාර්ථක නොවනු ඇත.
විශේෂයෙන්ම දැනට පවතින ඇතැම් නීති අණපනත්, රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පවතී.
නව රජය බලයට පත්වීමෙන් පසුව සම්මත වූ නව පනත් හා සංශෝධිත පනත් ප්‍රමාණය 08කි. එසේම, මේ වන විට සැලකිය යුතු අණපනත් ප්‍රමාණයක් කෙටුම්පත් මට්ටමේ පවතී.
ඒ අනුව, විධිමත්ව ක්‍රමානුකූලව අත්‍යවශ්‍ය නීති, අණපනත් සංශෝධනය කරමින්, නව නීති කෙටුම්පත් කරමින් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු ක්ෂේත්‍ර විෂයයෙහි අවධානය යොමු කර ඇත.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරිම සුදුසු පරිදි වත්මන් පාලන සමය තුළ සිදු කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
(iv) වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයේ දී සියලු පාර්ශ්වවලට සවන් දෙමින් සියලුදෙනාගේම මතයට ගරු කරමින් කටයුතු කරනු ඇත.
විශේෂයෙන්ම ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව වර්තමාන රජයේ ඒකායන අරමුණ වේ.
එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව සමාජ කතිකාවක් පැවතිය යුතු බවත්, විශේෂඥ මත විමසමින් සමාජ සංවාදයකට විවෘත විය යුතු බවත් අවධාරණය කළ යුතු වේ.
එවැනි පසුබිමක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම, නියෝජනය නොකරන සියලු දේශපාලන පක්ෂවලටද, සියලු පුරවැසි කණ්ඩායම්වලටද සවන් දීමක් සිදුවනු ඇත.
එ් අනුව, වර්තමාන රජය විසින් ඉදිරියේදී කෙටුම්පත් කිරීමට අපේක්ෂිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ මතවලට ගරු කරමින් ඒවාට සවන් දෙමින් කෙටුම්පත් වන මෙතෙක් මෙරට බිහි නොවූ ආකාරයේ ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් වනු ඇත.
(v) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය සඳහා ජාතික වශයෙන් ප්‍රමුඛතාව ලබා දී ඇත.
ඒ සඳහා වන මූලික කටයුුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, දැනට සිදු කරමින් පවතින අණපනත් සංශෝධනද මෙම ක්‍රියාදාමයේ කොටසක් වේ.
තවද, මීට පෙර පැවති රජයන් විසින් විටින් විට විවිධ කමිටු පත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට නිර්දේශ ලබා දී ඇති අතර, එකී මත ද සැලකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නව රජය බලාපොරොත්තු වේ.
රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිරන්තරයෙන් සංශෝධනය විය යුතු ලේඛනයක් නොවන බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ගැඹුරු අධ්‍යයනයකින් විශේෂඥ මත විමසුමක් සහිතව සිදු කිරීම නව රජයේ අරමුණ වේ.
එබැවින්, මේ සඳහා යම් ප්‍රමාණවත් කාලයක් ගත වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks