01

E   |     |  

 දිනය: 2025-06-20   පිළිතුර ලබා දී ඇත 

0224/2025: සුහුරු අධිකරණ ශාලා පිහිටුවීම: ගත් පියවර

224/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)         (i)       ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් සුහුරු අධිකරණ ශාලා පිහිටුවීමට පොරොන්දුවී තිබේද;

                (ii)       ඒ අනුව මේ වනවිට සුහුරු අධිකරණ ශාලා බවට පත් කරන ලද අධිකරණ කවරේද;

(iii) ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය, සුහුරු අධිකරණ පද්ධතියක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද:

(iv) ඒ වෙනුවෙන් 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත මඟින් වෙන් කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-06-20

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව පවරා ඇති වගකීම්වලට අනුකූලව සකස් කරන ලද අමාත්‍යාංශ ක්‍රියාකාරී සැලැස්මෙහි සුහුරු අධිකරණ ශාලා පිහිටුවීම ඇතුළත්ව ඇත.

              (ii)      යුරෝපා සංගමය විසින් මූල්‍යයනය කරනු ලබන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කඩිනම් ඩිජිටල් උපාය මාර්ගික සැලැස්මෙහි නියමු ව්‍යාපෘති යටතේ මහනුවර සහ මීගමුව අධිකරණ සංකීර්ණ සුහුරු අධිකරණ ශාලා බවට පත් කිරීමට තෝරාගෙන ඇත.

(iii) • ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ආධාර මත ක්‍රියාත්මක කරන ලද Model Court Initiative යටතේ නඩු ගොනු කළමනාකරණය සඳහා ජාත්‍යන්තර භාවිතාවන් මත පදනම් වූ නඩු ගොනු කළමනාකරණ සැලසුම් හඳුන්වා දීම.

ඒ යටතේ,

- නඩු‍ ගොනු කළමනාකරණ පද්ධතිය හඳුන්වා දීමට පෙර ක්‍රියාකාරීව පැවැති නඩුවල වයස තක්සේරු කිරීම සඳහා නඩු දත්ත විශ්ලේෂණය සිදු කිරීම.

- ඒ මත පදනම්ව නඩු ගොඩ ගැසීම අඩු කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

- විනිසුරුවරුන් විසින් අනුමත කරන ලද එක් එක් නඩු වර්ගයට නිශ්චිත කාල ප්‍රමිතීන් හඳුන්වා දීම.

- නඩු කාල සටහන් හඳුන්වා දීම.

- පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.

- ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඇප අයදුම්පත් භාර ගැනීම.

• ඉහත ව්‍යාපෘතිය යටතේ පහත දැක්වෙන තෝරා ගත් අධිකරණවල නඩු ගොනු කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම සහ අධිකරණයන්හි අවශ්‍යතාව අනුව නඩු පිළිබඳ තොරතුරු වාර්තාකරණය සඳහා අවශ්‍ය මොඩියුල සැකසීම, වරෙන්තු සහ අනෙකුත් අධිකරණ ලේඛන උත්පාදනය කිරීම ස්වයංක්‍රීය කිරීම. එම අධිකරණ මෙසේයි.

Model Court initiative යටතේ අංක iiiහි දැක්වෙන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක අධිකරණ ලැයිස්තුව

01. කොළඹ මහාධිකරණ 03

02. නුගේගොඩ දිස්ත්‍රික් අධිකරණය

03. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය

04. නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය

05. නුගේගොඩ අතිරේක දිසා අධිකරණය

06. කම්කරු විනිශ්චය සභා අංක 01

07. වාණිජ මහාධිකරණ 1, 2, 3, 4

08. මොරටුව දිසා අධිකරණය

09. මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය

10. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය

11. මීගමුව මහාධිකරණය

12. කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය

13. කැස්බෑව දිසා අධිකරණය

14. පානදුර දිසා අධිකරණය

15. පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය

16. පානදුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය

• විනිසුරුවරුන්, විනිසුරුවරුන් නොවන අධිකරණ කාර්ය මණ්ඩලය හා නීතිඥවරුන් සඳහා නඩු ගොනු කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය සම්බන්ධ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

• තෝරා ගත් අධිකරණය එක් එක් දිනයන්හිදී විභාගයට නියමිත නඩු පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රදර්ශන පුවරු ස්ථාපිත කිරීම.

• මාර්ගගත ක්‍රමයට සාක්ෂි විමසීම සඳහා අපරාධ සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම.

• විදේශ ප්‍රදාන ආයතනයන් මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති හරහා තෝරා ගත් අධිකරණයන්හි නඩු කටයුතුවල පාර්ශ්වකරුවන්ට දුරස්ථ ක්‍රමයට සාක්ෂි විමසීම සඳහා අවශ්‍ය වීඩියෝ තාක්ෂණ උපකරණ, ඩිජිටල් යටිතල පහසුකම් සපයා තිබීම.

• එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ ව්‍යාපෘතිය (GMCP) විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාතේ අධිකරණ වෙත දුරස්ථ ක්‍රමයට සාක්ෂි විමසීම සඳහා වන ශ්‍රව්‍ය, දෘශ්‍ය වීඩියෝ තාක්ෂණ උපකරණ කට්ටල සැපයීම. එහිදී දකුණු පළාතේ බන්ධනාගාරයන්හි රඳවා සිටින රැඳවියන් මාර්ගගත ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ              වෙත ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය උපකරණ බන්ධනාගාර ‍පිහිටි අන්තය වෙත ද ලබා දීම. ඊට අමතර වශයෙන් රැඳවියන් වැඩිම ප්‍රමාණයක් අධිකරණ වෙත ඉදිරිපත් කරනු ලබන තෝරා ගත් අධිකරණ වෙත ද ඉහත උපකරණ ලබා දීම.

• එසේම, ඉදිරියේදී විදේශ ප්‍රදාන ලබා දෙනු ලබන ආයතනයන්ගේ සහායෙන් ප්‍රමුඛතා පදනම මත මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය, දෘශ්‍ය වීඩියෝ තාක්ෂණ උපකරණ සියලුම අධිකරණ වෙත සැපයීම.

• මාර්ගගත ක්‍රමය ඔස්සේ නඩු විභාග කිරීම සඳහා විධිමත් ශ්‍රව්‍ය, දෘශ්‍ය උපකරණ ස්ථාපිත කිරීම හා               ඊට අදාළ පුහුණු වැඩසටහන් විනිසුරුවරුන්, විනිසුරුවරුන් නොවන අධිකරණ කාර්ය මණ්ඩලය සහ නීතිඥවරුන් වෙත ලබා දීම.

(iv) විදේශ ප්‍රදාන ආයතන හරහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන අතර, රජයේ අරමුදල් මේ සඳහා යොදා නොගනී.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks