බලන්න

04

E   |     |  

 දිනය: 2025-02-27   පිළිතුර ලබා දී ඇත 

0188/2025: අලි-මිනිස් ගැටුම: තිරසර විසඳුමක්

188/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා අලිවැට ඉදිකිරීම සහ ඒවා නඩත්තු කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       අලි-මිනිස් ගැටුම හේතුවෙන් ඉහත කාල සීමාව තුළ දී මිය ගිය වනඅලින් සංඛ්‍යාව, මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සහ සිදු වූ දේපළ හානි සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) අලිවැට ඉදිකිරීමට සහ ඒවා නඩත්තු කිරීමට වැය කරන ලද මුදලට සාපේක්ෂව අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලැබී නැති බව පිළිගන්නේද;

(iv) එසේ නම්, අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-27

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

වර්ෂය

විදුලි වැට ඉදි කිරීමේ වියදම (රුපියල් මිලියන)

විදුලි වැට නඩත්තු වියදම (රුපියල් මිලියන)

2015

275.82

-

2016

239.5

71.82

2017

99.95

96.1

2018

141.5

9.1

2019

-

-

2020

-

-

2021

12.1

-

2022

9.6

-

2023

58.64

14.333

2024

69.81

37.435

විදුලි වැට ඉදි කිරීමේ වියදම, 2015 සිට 2019 දක්වා රුපියල් මිලියන 756.77යි; 2020 සිට 2024 දක්වා රුපියල් මිලියන 150.15යි.

විදුලි වැට නඩත්තු කිරීමේ වියදම, 2015 සිට 2019 දක්වා රුපියල් මිලියන 177.02යි; 2020 සිට 2024 දක්වා රුපියල් මිලියන 51.76යි.  

     (ii)

වර්ෂය

අලි මරණ සංඛ්‍යාව

මිනිස් මරණ සංඛ්‍යාව

සිදු වූ දේපළ හානි සංඛ්‍යාව

2015

205

63

1,151

2016

279

88

1,604

2017

256

87

1,425

2018

319

96

1,470

2019

407

122

2,094

2020

328

112

2,223

2021

375

142

1,808

2022

439

146

2,647

2023

488

184

3,429

2024

388

155

3,617

2025.01.31 දක්වා

43

03

-

 

අලි මරණ සිදු වෙලා තිබෙනවා, 2015 සිට 2019 දක්වා කාලය තුළ 1,466ක්; 2020 සිට 2024 දක්වා 2,018ක්; 2025 ජනවාරි 31 දක්වා 43ක්.

මිනිස් මරණ සිදු වෙලා තිබෙනවා, 2015 සිට 2019 දක්වා කාලය තුළ 456ක්; 2020 සිට 2024 දක්වා 739ක්; 2025 ජනවාරි 31 දක්වා 03ක්.

දේපළ හානි සිදු වෙලා තිබෙනවා, 2015 සිට 2019 දක්වා කාලය තුළ 7,744ක්; 2020 සිට 2024 දක්වා 13,724ක්. 2025 අවුරුද්දේ ජනවාරි මාසය තුළ සිදු වූ දේපළ හානි වාර්තා වී නැහැ.

දිස්ත්‍රික් වන්දි කමිටු මඟින් දේපළ හානිවලට අදාළව ගෙවීම් සිදු කරන බැවින් එම තොරතුරු ලබා ගැනීමේදී ප්‍රමාදයන් ඇති වේ. 2025.01.31දින වන විට මේ සම්බන්ධව ලැබී ඇති තොරතුරු ඉහත වගුවේ සඳහන් කර ඇත.

(iii) නැත.

(iv) අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා. මේ අවස්ථාවේදී මා එම තොරතුරු ඇතුළත් ලේඛනය සභාගත* කරනවා.

වනඅලින් සිදු කරන වගා හානි, දේපළ හානි අවම කර ගන්න අපි විදුලි වැට ඉදිකිරීමේ කටයුතු සිදු කරනවා. 2024 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කර විදුලි වැට මේ වනවිට කිලෝමීටර 5,612ක ඉදිකර තිබෙනවා. ඒ වාගේම විදුලි වැට ආරක්ෂා කර ගැනීමේ කටයුතු සඳහා ද මැදිහත් වෙනවා. ඒ සඳහා සිවිල් ආරක්ෂක භටයින් 4,005ක් යොදවා තිබෙනවා. වනඅලි හානි බහුලව සිදු වන ස්ථානවල වනඅලි පලවා හැරීම සඳහා මුර පොළවල් ස්ථාපිත කරලා, සිවිල් ආරක්ෂක භටයින් 737ක් යොදවා තිබෙනවා.

මේ ආකාරයට වනඅලි-මිනිස් ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා පැතිරුණු ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා. වන අලින්ගේ සංචරණ රටා හඳුනා ගැනීම සඳහා GPS කරපටි යොදවා විද්‍යාත්මක පර්යේෂණ සිදු කර එම දත්ත පාවිච්චි කරගෙන පර්යේෂණ කටයුතුවල යෙදිලා අපට අලුතින් අත්හදා බලන්න පුළුවන් ක්‍රම සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. ඒ විධියට පුළුල් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා, මෙම ගැටුම නැති කරන්න.

(ආ) අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ලේඛනය:

   சபாபீடத்தில் வைக்கப்பட்ட ஆவணம்:

   Document tabled:

 

• වන අලි විසින් සිදු කරන වගා හානි, දේපළ හානි ජීවිත හානි අවම කිරීම සඳහා 2024 වර්ෂයේදී ඉදි කිරීම් ආරම්භ කර විදුලි වැට ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. විදුලි වැට මේ වනවිට කි.මී. 5,612ක ඉදි කර ඇත. වනජීවී කලාප දකුණ, ඌව, නැඟෙනහිර, මධ්‍යම, වයඹ, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වවුනියාව, කිලිනොච්චිය හා පොළොන්නරුව ආවරණය වන පරිදි කි.මී. 588ක විදුලි වැට ඉදි කරමින් පවතී.

• දැනට ඉදි කර ඇති විදුලි වැට නඩත්තුව හා ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් 4,005ක් යොදවා ඇත.

• වනඅලි හානි බහුලව සිදු වන ස්ථානවල වනඅලි පලවා හැරීම සඳහා මුර පොළවල් ස්ථාපිත කර සිවිල් ආරක්ෂක භටයින් 737ක් යොදවා ඇත.

• විදුලි වැට නඩත්තු කටයුතු හා ආරක්ෂාව සඳහා බහුකාර්යය සංවර්ධන සහයකයින් 3,647ක් දිවා රාත්රී අඛණ්ඩව විදුලි වැට නඩත්තුව හා ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.

• වනජීවී කලාපවල වනඅලි විසින් සිදු කරනු ලබන වගා හානි අවම කිරීමටත්, දෛනිකව වනඅලි පලවා හැරීමේ කටයුතු සඳහාත් වාර්ෂිකව 1,620,000ක් අලි වෙඩි මිල දී ගෙන බෙදා හැරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා වියදම රු.මි. 350කි.

• වනඅලි විසින් සිදු කරන ජීවිත හානි, දේපළ හානි සඳහා වන්දි ගෙවීම සඳහා 2023 වර්ෂයේ රු.මි. 380ක් හා 2024 වර්ෂයට අදාළව මේ දක්වා ලබා දී ඇති තොරතුරු අනුව රු.මි. 372ක් ද ලබා දී ඇත.

• වනඅලින්ගේ සංචරණ රටා හඳුනා ගැනීම සඳහා GPS කරපටි යොදවා විද්‍යාත්මක පර්යේෂණ සිදු කර ඇති අතර, මෙම දත්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්ම කරන ප්‍රදේශවල භාවිත කරමින් පවතී.

• හානිදායක වශයෙන් හඳුනාගත් වනඅලින් අල්ලා ඉවත් කිරීම සිදු කොට ඇත.

• වනඅලින්ගේ සංචරණවලට වන බාධා ඉවත් කිරීම සඳහා වනඅලි සංක්‍රමණ මාර්ග -අලිමංකඩ- හඳුනා ගැනීම හා ඒවායේ වන අලින්ගේ සංක්‍රමණවලට සිදු වන බාධා ඉවත් කිරීමට හා ආරක්ෂා කිරීමට කටයුතු කරමින් පවතී.

• 2023 වර්ෂයේ සිට වන අලින්ගෙන් සිදු වන ජීවිත හානි අවම කිරීම සඳහා කළමනාරණ ක්‍රමවේද කලාප මට්ටමින් ප්‍රායෝගිකව අනුගමනය කර ගනිමින් වනඅලි විසින් ජීවිත හානි සිදු කරන ග්‍රාම නිලධාරි වසම් හඳුනා ගෙන ගම්වාසීන්, ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ ප්‍රාදේශීය සභා සම්බන්ධ කර ගනිමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, වනඅලින් සැරිසරන අතුරු මාර්ගයේ වනඅලින් දර්ශනය වන අයුරින් යටි පඳුරු ඉවත් කිරීම හා අතුරු මාර්ගවල අඳුරු සහිත ස්ථානවල වීථි ලාම්පු සවි කිරීමට කටයුතු කර ඇත.

• වාසස්ථාන සුපෝෂණ කටයුතු 2023 - 2024

වර්ෂය

ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම (හෙක්ටෙයාර)

තෘණ භූමි කළමනාකාරණය (හෙක්ටෙයාර)

මාර්ග දෙපස යටි රෝපණ ඉවත් කිරීම (හෙක්ටෙයාර)

ජල මූලාශ්‍ර වැඩිදියුණු කිරීම (සංඛ්‍යාව)

2023

386.9

258.27

118.64

9

2024

105

222

365

5

• වනඅලි හානි අවම කිරීම සඳහා සාර්ථක හා අසාර්ථකභාවය අධ්‍යයනය සඳහා පහත සඳහන් නව තාක්ෂණය යොදා ගැනීම අත්හදා බලා ඇත.

1. ලංකාවේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද energizers භාවිත කරමින් උඩවලව, අම්පාර, පුත්තලම යන ප්‍රදේශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

2. අලින්ට අප්‍රිය වන පරිදි තරංග නිකුත් කරන උපකරණ භාවිත කරමින් අම්පාර, ගල්ගමුව, පොළොන්නරුව වනජීවි කලාපවල වනඅලින් පලවා හැරීම හා වනඅලින් ගම්මානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම උපකරණ යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කර ඇත.

3. නාවික හා ගුවන් හමුදාව සම්බන්ධ කරගෙන ඩ්‍රෝන යාත්‍රා යොදා ගනිමින් වනඅලි පලවා හැරීමේ කටයුතු පුත්තලම, අනුරාධපුර, දකුණ යන වනජීවී කලාපවල සිදු කර ඇත.

4. මීමැසි පාලනය උපයෝගී කරගෙන මීමැස්සන්ගේ ශබ්ද තරංග භාවිත කරමින් මාදුරුඔය, අම්පාර කලාපවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

5. කළුතෙල් කලවම් කර කඹ පිලිස්සීමෙන් ඇති වන දුම උපයෝගී කරගෙන වනඅලි විකර්ෂණය කිරීම සඳහා අත්හදා බැලීමක් සිදු කර ඇත.

6. උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන විදුලි වැට කඩා බිඳ දමමින් වනඅලි ගම්මානවලට පැමිණෙන මාර්ග හඳුනාගෙන එම ස්ථානවල කොන්ක්‍රීට් තැටි සකස් කර බිම ඇතිරීමෙන් අධ්‍යයනයන් සිදු කර ඇත.

7. ඖෂධ ගැල්වූ හඳුන්කූරු වර්ගයකින් නිකුත් වන දුම උපයෝගී කරගෙන වනඅලින් විකර්ෂණය කිරීම සඳහා අත්හදා බැලීමක් සිදු කර ඇත.

8. දැනට භාවිත කරන විදුලි වැට ව්‍යුහයේ වැඩිදියුණු කිරීම් සිදු කර ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

පිළිතුරු දුන් දිනය

2025-02-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks