E   |     |  

 දිනය: 2025-03-14   පිළිතුර ලබා දී ඇත 

0155/2025: සූර්ය සහ සුළං බල උත්පාදනය සම්බන්ධව අදානි සමාගම සමඟ ගිවිසුම: විස්තර

155/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි බලය සහ සූර්ය විදුලි බලය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දියාවේ අදානි සමාගම හෝ එහි උප සමාගමක් සමඟ ගිවිසුම්වලට එළැඹ තිබේද;

               (ii)       එසේ නම්, එම ගිවිසුම ඉදිරිපත් කරන්නේද;

(iii) එම ගිවිසුමේ මූලික අරමුණු කවරේද;

(iv) තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉහත සමාගමට ශ්‍රී ලංකාව තුළ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලද පදනම කවරේද;

(v) ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව “රජයක් සහ රජයක් අතර” (Government to Government) යන අර්ථයට ඉහත සඳහන් සමාගම අයත් නොවන බව පිළිගන්නේද;

(vi) එම ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-14

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 (අ)         (i)      ඔව්.

              (ii)      එම අවබෝධතා ගිවිසුම ඇමුණුම 1 ලෙස ඉදිරිපත් කරමි.

            (iii)      මෙම ගිවිසුමේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකා රජයේ ඉලක්කයක් වන 2030 වසර වන විට බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන් මඟින් ලබා ගැනීම සඳහා මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල මෙගාවොට් 484ක සුළං බලාගාර ව්‍යාපෘතියක්, ඉන්දීය අදානි සමාගමේ ආයෝජනයක් ලෙස මෙරටට ලබා ගැනීමයි. තවද, මෙම ගිවිසුමට සම්බන්ධ පාර්ශ්ව  6ටම අදාළ කාර්යභාරය වෙන වෙනම පැහැදිලි කිරීම මෙම ගිවිසුමේ අරමුණ වේ.

(iv) මේ සඳහා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනතෙහි වගන්ති අංක 43(4)(ඇ)(i) පදනම් වී ඇත. මීට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශය සහ අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 02 ලෙස දක්වා ඇත.

(v) 2023.08.28 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අදානි ග්‍රීන් එනර්ජි ආයතනය ඉදිරිපත් කළ යෝජනාව රජයක් සහ රජය ක්‍රියාත්මක කරන යෝජනාවක් ලෙස පිළිගැනීමට තීරණය කර ඇත. අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශය සහ අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 02 ලෙස දක්වා ඇත. 

(vi) මෙම ව්‍යාපෘති පිළිබඳව නැවත ඇගයීමක් සිදු කිරීමට 2024.12.30 දින කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමඟින් ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, ඒ හරහා පිළිබිඹු වන රජයේ ස්ථාවරය නීතිපති වෙත දැනුම් දෙන ලෙසටත් දැනුම් දී ඇත. ඒ පිළිබඳව ඇමුණුම 03හි දක්වා ඇත. ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.

ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් 2025.02.12 දිනැති ලිපිය මඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇත. ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආයතන සමඟ කටයුතු කරන ලද්දේ Adani Green Energy SL Limited සමාගම විසිනි. එනිසා ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑම පිළිබඳව එම සමාගමේ ස්ථාවරය බලශක්ති අමාත්‍යාංශය විසින් 2025.02.24 දින ලිඛිතව විමසීමක් කර ඇත. එම සමාගම විසින් ඒ සඳහා ලිඛිත ප්‍රතිචාර දක්වා ඇත.

මේ සතියේ අපට එය ලැබී තිබෙනවා. ඒ පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks