01

E   |     |  

 දිනය: 2025-01-21   පිළිතුර ලබා දී ඇත 

0134/2025: ශ්‍රී ලංකා රජය සහ IMF අතර ගිවිසුම: විස්තර

----

අසන ලද දිනය

2025-01-21

අසන ලද්දේ

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ මාස 48ක දීර්ඝ වැඩ පිළිවෙළක් අනුමත කරන ලද අතර, ඇමෙරිකානු ඩොලර් 333ක් පමණ වූ එහි පළමු වාරිකය 2023 වසරේ මාර්තු මස 20 වන දින ලබා දෙන ලදී.

                        මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කරලා ගිවිසුම් සූදානම් කරලා තිබෙනවා.

(ii) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට හැඩගැසීම සඳහා ජනතාව මත යම් පීඩනයක් එල්ල වී ඇත. බදු ප්‍රතිසංස්කරණ, උපයෝගිතා ගාස්තු වැඩි කිරීම සහ සහනාධාර ඉලක්කගත පිරිසකට පමණක් ලබා දීම මේ අතරින් විශේෂයි. මෙයට හේතු වූයේ 2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදය සහ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන්ය.

රටේ ආර්ථිකය කඩා වට්ටලා දමා, රටේ ණය තිරසර බව නැති කරලා, රට අතිශය විනාශකාරී තත්ත්වයකට පත් කරලා තිබෙන වෙලාවක රටේ ජනතාව අතිශයින් දුෂ්කරතාවට ලක් වී තිබෙනවාද කියන එක අහන්න දෙයක් නොවෙයි.

නමුත් ඒ වාගේ කාල සීමාවක් තුළ එයින් එළියට ඒම සඳහා, ගොඩ ඒම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළක් සමඟ තමයි මේ වැඩකටයුත්ත සූදානම් කෙරුණේ. නමුත් එහි තිබුණු අන්තර්ගතයට අනුව ජනතාවට ඊට වඩා වැඩි සහනයක් ලබා දිය යුතුයි කියන පදනමින් එම කොන්දේසිවල තිබෙන රළු බව යම්කිසි මට්ටමකට හෝ සමනයකට පත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් වර්තමාන රජය විසින් සූදානම් කර තිබෙනවා.

ඒ අතර දැනට උපයන විට ගෙවීමේ බද්දේ බදු රහිත සීමාව රුපියල් 100,000 සිට රුපියල් 150,000 සීමාව දක්වා වැඩි කරන්නට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව, දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා යෝගට් සහ අනෙක් දේශීය නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කර තිබෙනවා. ඊළඟට,  පසුගිය රජය IMF සමඟ ගිවිසුම්ගත වී තිබුණේ, අපනයන සේවා සඳහා සියයට 30ක බද්දක් අය කිරීමට. එය සියයට 15 දක්වා අඩු කර තිබෙනවා.

ආර්ථික අපහසුතා ඇති පාසල් යන දරුවන්ට උපකාර කිරීම සඳහා එක් දරුවෙකුට රුපියල් 6,000ක දීමනාවක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. විශාල ප්‍රමාණයකට මේ වෙනකොට එම දීමනාව ලබා දීලා අවසන් කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමයේ පද්ධතිය තුළ නැති දරුවන්ටත් ඒ අදාළ දීමනාව ලබා දෙන්නට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කර තිබෙනවා.

ඊළඟට, 2024 ඔක්තෝබර් මාසයේ සිට ඒ දක්වා පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කරලා මේ ඔබතුමන්ලා අහන, අපහසුතාවට පත් වෙලා ඉන්න පිරිසට සහන සැලසීම සඳහා වැඩකටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට අමතරව රටේ ධීවර ප්‍රජාවට භූමිතෙල් ලීටරයක් සඳහා සහනාධාරය වශයෙන් රුපියල් 15ක් දින 25ක් සඳහා ලබා දෙන්නට සූදානම් කර තිබෙනවා. ඒ වාගේම බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනාධාරය රුපියල් ලක්ෂ තුනක් දක්වා ලබා දීලා තිබෙනවා. කඩා වට්ටපු ආර්ථිකය තුළ හිතා මතා දුෂ්කරතාවන්ට පත් කරපු ඒ ජනතාවට අවශ්‍ය සහන දෙන්න මේ මුදල් ප්‍රමාණය මදි. නමුත් ආරම්භයක් විධියටයි රජය විසින් මේ වැඩකටයුත්ත ආරම්භ කරලා තිබෙන්නේ.

(iii) මේ අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට කරන ලද සංශෝධනයන් සහ වැඩ කටයුතු තමයි මම ඉහත කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කළේ. නමුත් ඉදිරි කාල සීමාව තුළදී මේ සඳහා කළ හැකි ගැළපීම්, reviews - සමාලෝචනයන් - කරලා ඒකට සුදුසු වාතාවරණයක් යටතේ තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය ඇප කැප වී සිටිනවා.

(iv) දැනටත් පැහැදිලි කළා වාගේ විශේෂයෙන් අවධානයට ලක් විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම කරනවා. ඔබතුමන්ලා දන්නවා, අපහසුතාවට පත් වෙලා සිටින පිරිසට දෙන්න කියලා වෙන් කරපු - allocate කරපු - මුදල පවා පසුගිය රජය තිබෙන අවස්ථාවේදී - පසුගිය කාල සීමාව තුළ - දුන්නේ නැති බව.  නව රජය පත් වෙලා ඉතා කෙටි කාලයකින් අපි කාර්යක්ෂමව ඒ මුදල් - disbursements - ලබා දීම කඩිනම් කරලා ඒ අතිදුෂ්කරතාවට පත් වෙලා හිටපු ජනතාවට ඒ සහන ලබා දුන්නා.

 අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා ආධාර කිරීම ඉලක්කගත ආධාර වැඩසටහනක් හඳුන්වා දීම, රාජ්‍ය මූල්‍ය වගකීම සහ මහජන සුබසාධනය අතර සමතුලිතතාවක් ඇති කිරීමට අවශ්‍ය කරන  ප්‍රතිපත්ති නැවත සලකා බැලීම සහ ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම ද සිදු කර තිබෙනවා.

ඊළඟට, අස්වැසුම ආධාර බෙදා හැරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ප්‍රතිලාභ ලැබී නැති අය ඇතුළත් කර ගැනීම තහවුරු කිරීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ වන විට නැවතත් පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා, තොරතුරු ගොනු කරගෙන තිබෙනවා. විශාල පිරිසක් එහි අභියාචනා, නැත්නම් දුක්ගැනවිලි ඉදිරිපත් කර තිබෙනවා. ඒවා නැවත වතාවක් නිසි ලෙස, නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කරලා 2024 වසර සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී, ඒ කියන්නේ රුපියල් බිලියන 232.5ක් දක්වා ප්‍රමාණයකට වැඩි කරලා තිබෙනවා.

මේ වාගේ ප්‍රතිසංස්කරණ තුළින් මහ ජනතාවට සිදු වන අනවශ්‍ය දුෂ්කරතා අවම කර ගනිමින් වඩාත් ශක්තිමත්, ඔරොත්තු දෙන ආර්ථිකයක් සඳහා ක්‍රමවේදයක් සූදානම් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම ජනතාව අන්ත අසරණභාවයට පත් වෙන ආර්ථික ක්‍රමයක් හදනවා වෙනුවට ජනතාව රැක බලාගෙන, ආර්ථිකයට සහභාගි වෙන අවස්ථා සහිත ආර්ථිකයක් ගොඩනැංවීම තුළින් රටේ ජනතාවට ඇති දුෂ්කරතා අවම කිරීමට වැඩ පිළිවෙළක් සූදානම් කර තිබෙනවා.

 

(ආ) පැන නොනඟී.

මේ පිළිබඳ සවිස්තරාත්මක පිළිතුර මම සභාගත* කරනවා.

 

පිළිතුරු දුන් දිනය

2025-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks