පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-12-18
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 වසරේ සිට 2024 වසරේ පළමු භාගය සඳහා වාර්ෂික විදේශීය ඍජු ආයෝජන සංඛ්‍යා දත්ත (විදේශීය ඍජු ආයෝජන ව්‍යාපාරයන් වෙත වූ විදේශීය ණය ඇතුළත් වූ සහ ඇතුළත් නොවූ) පහත දක්වා ඇත.
විදේශීය ඍජු ආයෝජන ලැබීම්
(එ.ජ.ඩොලර් මිලියන)
|
වර්ෂය |
විදේශීය ඍජු ආයෝජන (විදේශීය ණය ඇතුළත් නොවූ) |
විදේශීය ඍජු ආයෝජන (විදේශීය ණය ඇතුළත්) |
|
2015 |
680 |
1,160 |
|
2016 |
897 |
1,078 |
|
2017 |
1,373 |
1,910 |
|
2018 |
1,614 |
2,139 |
|
2019 |
743 |
1,189 |
|
2020 |
434 |
670 |
|
2021 |
598 |
784 |
|
2022 |
884 |
1,167 |
|
2023 |
712 |
758 |
|
2024(පළමු භාගය) |
498 |
521 |
(ii) මේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියා මාර්ග:
රටක් විධියට විශාල අපකීර්තියක් අපට ලැබිලා තිබුණා. ඒකට හේතුව, කොමිස් ඉල්ලන සංස්කෘතියක් තමයි මේ ආර්ථික ක්‍රියාදාමය තුළ, ජරාජීර්ණ වූ සංස්කෘතිය තුළ රටේ නිර්මාණය වෙලා තිබුණේ. ඒ නිසා ආයෝජකයන් අතර තිබුණා, ඉතාම කළු චිත්‍රයක්. මේ රටට එන ආයෝජකයන්ට වැඩි පිරිවැයක් - cost එකක් - තිබෙනවා. ඒ ගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට විධියක් නැහැ, මේ කොමිස් ඉල්ලන සංස්කෘතිය නිසා. ඒ සංස්කෘතිය වෙනස් කරන්නට දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග ගත්තොත්, zero tolerance for corruption කියන approach එක යටතේ, ජනාධිපතිතුමා මංගල කථාවේදී සඳහන් කළා වාගේම, ඒ වැරැදි කරන පිරිසට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. ඒ වාගේම මේ රටට එන්නට සිටි නිසි ආයෝජකයින්ට ඒ අවස්ථාව ලබා නොදී, deprive කරලා තිබුණා. ඒ වාගේ බාධක මේ වෙනකොට ඉවත් කරගෙන යනවා. අපි යන්නේ collaborative and cooperative approach එකකින්. විදේශ ආයෝජකයින් සම්බන්ධ කරගෙන, ආයතන සම්බන්ධ කරගෙන, ඒ රාජ්‍යයන් සම්බන්ධ කරගෙන, අපේ ආයෝජන අවස්ථා ඒගොල්ලන්ට පෙන්වා දීලා, ඒකට ගැළපෙන, සුදුසු ආයෝජකයන් - credible investorsලා - රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙළ සූදානම් කරගෙන යනවා. ඒ තුළින් රටට ලැබෙන ආයෝජන ප්‍රමාණය නව තලයකට ගෙනයන්නට අවශ්‍ය වැඩ පිළිවෙළ සූදානම් කරගෙන යනවා.
ඊළඟට, merit-based vs deal-based. ඒ කියන්නේ මේ දක්වා කරපු විධියට deal එක වැඩිම ආයෝජකයාට අවස්ථාව දෙනවා වෙනුවට ඉදිරියේදී මේ ආයෝජන ක්‍රියාවලිය ප්‍රතිසංවිධානය කිරීම තුළින්, ඒ project එකේ, proposal එකේ තිබෙන merit එකට අනුව අවස්ථාව දෙන්නට වැඩ කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා, transparency එක තිබෙන, regular reporting තිබෙන ලැයිස්තුගත සමාගම්වලට - listed entitiesවලට - ආයෝජන ලැබෙයි කියලා. ඒ වාගේම, indirect investments විධියට අමතරව, direct investments, expansions සඳහා ඊට පරිබාහිරව රටේ වෙනත් කාර්යාංශ සඳහාත් නව ආයෝජන ලැබෙන පරිදි ඒකට සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තිබෙනවා.
ඒ වාගේම තව වැඩ පිළිවෙළක් ඇති කරලා තිබෙනවා. රටට එන ආයෝජකයන්ට visa ලබා ගන්නට බැරිව උසාවියෙන් තීන්දු දීලා තිබුණත්, ඒවා ක්‍රියාත්මක නොකරපු ක්‍රමවේදය වෙනස් කරලා, online visa ගන්න immediate ක්‍රමවේදය මේ වෙනකොටත් සූදානම් කරලා තිබෙනවා. ඒක ආයෝජකයන්ගේ විශාල පැසසුමකට ලක් වෙලා තිබෙනවා. කල් මරන්නේ නැතුව, අඩු වියදමකින් වැඩේ කර ගන්නට අවස්ථාව සලසා දීම පිළිබඳව.
ඊළඟට, digital infrastructure එක. ඩිජිටල් ආර්ථිකයට යොමු වන ගමන ශක්තිමත් කරන්නට කාර්යක්ෂමව, විනිවිදභාවයකින් යුතුව ආයෝජකයන්ට රටේ තිබෙන ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා.
මේ වගේ වැඩකටයුතු රාශියක් සඳහා වන priority areas මොනවාද කියලා - උදාහරණයක් විධියට maritime sector එකට මොන වාගේ ආයෝජනයන්ද කැඳවාගෙන එන්න ඕනෑ යනාදී වශයෙන් - identify කරගෙන තිබෙනවා. මේ වාගේ වැඩකටයුතු රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා.
(ආ) අදාල නොවේ
(අ) (ii) සඳහා සම්පූර්ණ පිළිතුර මම මේ අවස්ථාවේ සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(ii) දැනටමත් ගෙන ඇති ක්‍රියා මාර්ග
1. ආයෝජන ප්‍රවර්ධනය
• ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම.
• විභව ආයෝජකයින් සඳහා ආයෝජනය කිරීමට සූදානම්ව පවත්නා ව්‍යාපෘති පිළිබඳ තොරතුරු සැකසීම.
• විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ අනෙකුත් විදේශීය පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන විසින් සංවිධානය කරන ලද වෙළඳාම සහ ආයෝජන පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණ (Webinars) සඳහා සත්කාරකත්වය සහ සහාය ලබා දීම.
• නිශ්චිත අංශ තොරතුරු තාක්ෂණය සහ සැපයුම්, ගුදම් කිරීම වැනි සේවා අපනයනය සඳහා දේශීය ආදායම් පනත යටතේ විශේෂ ආයෝජන දිරිගැන්වීම යටතේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම.
• ආයෝජන ප්‍රවර්ධනය සඳහා විදේශ දූත මණ්ඩලය/මහ කොමසාරිස් කාර්යාල සමඟ ඉලක්ක ගත සමාගම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම.
2. ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග
• අතිරේක ආයෝජන නිර්ණායක සමඟින් ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ලියා පදිංචිවීම සඳහා දැනට පවතින ව්‍යවසායයන් (ආයෝජන මණ්ඩලයේ නොවන හෝ ආයෝජන මණ්ඩලයේ 16 වන වගන්තිය යටතේ එන ව්‍යවසායයන්) වෙත ආයෝජන දිරිගැන්වීම් ලබා දීම සඳහා 2023.06.01 දිනැති අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලදී.
• නව ව්‍යාපෘති වෙත ලබා දී ඇති වැඩි කළ ප්‍රාග්ධන දීමනාව දැනට පවතින ආයෝජන මණ්ඩල ව්‍යවසායයන්හි ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා දීර්ඝ කරමින් දේශීය ආදායම් පනතට සංශෝධනයක් යෝජනා කර සම්මත කරන ලදී.
• විදේශීය ආයෝජකයින්, වෘත්තිකයන් සහ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන නේවාසිකත්වයක් ඉලක්ක කර ගනිමින් “පංච වාර්ෂික නේවාසික වීසා” වැඩසටහනක් හඳුන්වා දෙන ලදී.
• එරාවුර් රෙදි පිළි නිෂ්පාදන කලාපය සහ ඒ සඳහා ලබා දෙන දිරිගැන්වීම් පිළිබඳ පැහැදිලි කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම (නිශ්චිත දිරිගැන්වීම් සඳහා සුදුසුකම් ලබන නිර්ණායකය යන්න නියම කර ඇත.)
• ඛනිජ වැලි කැණීම් සහ සැකසීම් කටයුතුවල යෙදී සිටින ව්‍යවසායන්ගේ විදේශීය කොටස් අයිතිය තීරණය කිරීම සඳහා නිර්ණායක සකස් කිරීම.
• සංසන්දනාත්මක විශ්ලේෂණයක් මත පදනම්ව තෝරාගත් අංශ තුනක (ඖෂධ නිෂ්පාදන, ඩිජිටල් රෙදි පිළි සහ නවෝත්පාදන විද්‍යාගාර) ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා-ශාන්තිකර ආර්ථික සහ සමාජ කොමිෂන් සභාව (UNESCAP) සමඟින් සහයෝගිතා මුල පිරීම.
3. වැඩි දියුණු කළ ආයෝජන පහසුකම් සඳහා වෙනත් මුල පිරීම්
• පවතින සමාගම් විසින් සිදු කරන ප්‍රති-ආයෝජන දිරිමත් කිරිම සඳහා ඵලදායී යන්ත්‍රණයන් අනුගත කිරීම.
• කර්මාන්ත අවශ්‍යතා සමඟින් කුසලතා ගැළපීම.
- පාසල් හැරයන්නන් හට කුසලතා වර්ධනය කිරීම තුළින් සිය වෘත්තීය මාර්ග සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ජාතික ආධුනික්තව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සමඟ එක්ව කටයුතු කිරීම.
- කලාප මට්ටමින් රැකියා පොළ/වෘත්තීය මාර්ගෝපදේශන සම්මන්ත්‍රණ පැවැත්වීම.
- රැකියා බැංකු ද්වාරය (Job Bank Portal) හඳුන්වා දීම.
• ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ඩිජිටල්කරණය
- මාර්ගගත ආනයන අපනයන ප්‍රලේඛනය
- තීරු බදු රහිත අනුමැතීන් සඳහා වූ පූර්ණ ස්වයංක්‍රීය පද්ධතිය
- මාර්ගගත වීසා නිර්දේශ පද්ධතිය.
- ආනයන - අපනයන සංසන්ඳනය සඳහා වූ ස්වයංක්‍රීය පද්ධතිය
- “Partnership Finder” ඩිජිටල් දත්ත පදනම හරහා ව්‍යාපාරික ජාලයට පහසුකම් සැලසීම.
• ආයෝජන සඳහා ඉඩම් ලබා ගැනීමේ හැකියාව සහතික කිරීම.
- රෙදි පිළි සහ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා වෙන් වූ විශේෂිත කලාප 2ක් ස්ථාපනය කිරීම. (එරාවුර් - මඩකලපුව, ආරුබොක්ක- හම්බන්තොට)
• ආයෝජක පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය/ආයෝජක පහසුකම් සම්බන්ධීකරණ කමිටුව (IFC/IFCC) ස්ථාපනය කිරීම.
- ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා “ආයෝජක පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය” සහ “ආයෝජක පහසුකම් සම්බන්ධීකරණ කමිටුව” පිහිටුවීම.
• ග්‍රීන් චැනල් පහසුකම්
- කාර්යසාධනය සහ කීර්තිනාමය ඇගයීමක් වශයෙන් ආයෝජන මණ්ඩල ව්‍යවසායන් 135කට ග්‍රීන් චැනල් පහසුකම පිරිනමන ලදී.
ඉදිරියේදී ගනු ලබන සැලසුම්ගත ක්‍රියා මාර්ග
1. ආයෝජන ප්‍රවර්ධනය
• එරාවුර්හි රෙදි පිළි නිෂ්පාදනය සඳහා වෙන් වූ කලාපය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය
• කුරුණෑගල සහ ගාල්ලේ ටෙක්නෝ උද්‍යාන (Techno Parks) සංවර්ධනය සඳහා විභව සංවර්ධකයින් සමඟ සම්බන්ධවීමේ ව්‍යාපාරය
• ආයෝජනය කිරීමට සූදානම් ව්‍යාපෘති හඳුනා ගැනීම
• විදේශ ආයෝජකයින් සඳහා තරගකාරී සහ ආයෝජක හිතකාමී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව සහ විදේශීය ව්‍යාපාරික ප්‍රජාව අතර ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා Expo 2025 වැනි ජාත්‍යන්තර ආයෝජන සංසඳ සඳහා සහභාගීවීම.
2. ආයෝජන පහසුකම් සඳහා වූ ක්‍රියා මාර්ග
• ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම
එක් එක් රේඛීය නියෝජිතායතනය විසින් සකස් කරන ලද වෙන් වෙන් ප්‍රමිතිගත මෙහෙයුම් කාර්ය පටිපාටි (SOPs) සමඟ ක්‍රියාවලිය විධිමත් කරමින් ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමට මූලික පියවර ගනු ලැබේ.
මෙම පද්ධතිය මඟින් ආයෝජන අයඳුම්පත්‍රය ඩිජිටල් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සහ අනුමත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වේදිකාව හඳුන්වා දෙනු ඇත.
• ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් නව ව්‍යාපෘති 41ක් සහ පුළුල් කිරීමේ ව්‍යාපෘති 33කින් සමන්විත ව්‍යාපෘති 74ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඇස්තමේන්තුගත මුළු ආයෝජනය ඩොලර් මිලියන 608කි. ආයෝජන මණ්ඩලය (BOI) විසින් අදාළ රේඛීය ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ සමීප සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් ඒවා නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම සහතික කරනු ඇත.
• නව කලාප පිහිටුවීම
අපනයන සැකසුම් කලාප පිහිටුවීම සඳහා ස්ථාන 7ක් හඳුනා ගෙන ඇති අතර, ඒ සඳහා 2023.12.22 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙය පහත පරිදි අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
අදියර I : කලාප 5ක් 2025දී ආරම්භ කෙරෙනු ඇත. - කන්කසන්තුරේ, පරන්තන්, මාන්කුලම්, ඉරණවිල සහ කප්පල්තුරේ (ත්‍රිකුණාමලය) වශයෙනි.
අදියර II : බිංගිරිය අදියර III, බාහිර සේවා ප්‍රදේශය (Service Outside Area) (හම්බන්තොට)
• පවතින කලාප නවීකරණය කිරීම
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි දැනට පවතින කර්මාන්ත කලාප නවීකරණය කිරීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇත. මෙම යාවත්කාලීන කිරීම තුළ ගෝලීය හරිත ප්‍රමිතීන්ට අනුගතවීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, එමඟින් පාරිසරික තිරසරභාවය වැඩි දියුණු කරමින් තිරසාර භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරන ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකි වනු ඇත.
• ආයෝජන සඳහා ප්‍රමුඛතාගත අංශ
ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතා අංශ ලෙස පහත අංශ හඳුනා ගෙන ඇත:
ü සමුද්‍ර සංචාරක ව්‍යාපාරය
ü හරිත හයිඩ්‍රජන්
ü උසස් අධ්‍යාපන අංශය
ü තොරතුරු තාක්ෂණ, නවෝත්පාදන සහ තාක්ෂණය
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks