04

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0105/2025: 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය: විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීම

105/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)        (i)       2024 වර්ෂයේදී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර හෝ එම ප්‍රශ්න පත්‍රවල අන්තර්ගත ප්‍රශ්න, ඉහත විභාගය පැවැත්වූ දිනට පෙර බාහිර පාර්ශ්වයන් වෙත ලැබී තිබේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

(iv) ඒ හේතුවෙන් අගතියට පත් වූ සිසුන් වෙනු‍වෙන් ගනු ලබන පියවර කවරේද;

(v) එම විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අත්හිටුවා තිබේද;

(vi) එසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන් සංඛ්‍යාව 323,901ක් වන අතර, පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 319,284කි.

              (ii)      එම විභාගයට අදාළව මෙම දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඉදිරිපත් කරන ලද I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න තුනකට සංකල්පීය වශයෙන් සමානතාවක් පෙන්නුම් කරන ප්‍රශ්න තුනක් විභාගයට පෙර දින, කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විසින් සිය උපකාරක පන්තියට අදාළ WhatsApp සමාජ මාධ්‍ය සමූහය තුළ බෙදා හැර ඇති බව මෙම දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශන මඟින් අනාවරණය කරගෙන ඇත.

(iii) මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග වූ අතර, එම පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 2024.12.31 දින ප්‍රකාශයට පත් කරමින් පහත සඳහන් නියෝග නිකුත් කර ඇත.

(a) විභාගයට පෙර සාකච්ඡා වූ දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට සමානකමක් පෙන්නුම් කරන ප්‍රශ්න තුන සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් නිර්දේශිත විසඳුම් ක්‍රියාමාර්ග තුන අතරින් එකක් ක්‍රියාත්මක කිරීම.

(b) සිද්ධියට සම්බන්ධ චූදිතයින් වන, පෙත්සමේ 13වන වගඋත්තරකරු වන අයි.ජී.එස්. ප්‍රේමතිලක යන අය විසින් රුපියල් මිලියන තුනක් (03) සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් අංක SC/FR 291/2024 සහ SC/FR 294/2024 යන පෙත්සම්වල පිළිවෙළින් 6වන සහ 9වන වගඋත්තරකරු ලෙස නම් කර ඇති සී.එම්. චමින්ද කුමාර යන අය විසින් රුපියල් මිලියන දෙකක් (02)ක් ර‍ජයේ ගාස්තු ලෙස ගෙවිය යුතු බව.

මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අමතරව සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් ද සිදු කරනු ලැබිණ. එම විමර්ශනය මඟින් අනාවරණය කරගෙන ඇති කරුණු මත පදනම්ව විමර්ශන කමිටුව විසින් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

(a) ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ඕනෑම මණ්ඩලයක සාමාජිකයින් අදාළ ප්‍රශ්න සකස් කිරීමේ කාර්යය දෙපාර්තමේන්තුවේ රහස්‍ය ශාඛාවන් තුළදී පමණක් සිදු කළ යුතු බවත්, එම කටයුතු අවසානයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සාමාජිකයින් බැහැර වන විටදී අදාළ රහස්‍ය ලේඛන රහස්‍ය ශාඛාවන්ගෙන් පිටතට රැගෙන නොයන බවට වගබලා ගැනීම සහ රහස්‍ය ශාඛාවන් තුළට ඇතුළුවීමේදී හා ඉන් පිටතට යාමේදී සියලුම පුද්ගලයින් දැඩි පරීක්ෂාවන්ට භාජන කළ යුතු බව

(b) ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීම හා පුහුණු කිරීම මඟින් සම්පත්දායක සංචිතයක් සකස් කිරීම හා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කිරීම

මේක ඉතාම වැදගත් එකක්.

(c) චූදිත ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක යන අය වහාම ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩලයෙන් ඉවත් කිරීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා වෙත විමර්ශන තීරණ දැනුම් දීම.

26.08.2025 දිනැති 491 වන ආයතන සභාව ඉදිරිපත් කළ අධ්‍යක්ෂ (සැලසුම්) අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතා පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවේ අන්තර්ගත කරුණු මම ඉදිරිපත් කරන්න කැමැතියි. ගරු කථානායකතුමනි, ඒකේ සඳහන් වන අන්දමට,

• ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27.10 වගන්තිය සහ 31.1.2, 31.1.10 සහ 31.1.2 ප්‍රකාරව අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාගේ (අධ්‍යක්ෂ - සැලසුම්) තහනම් කිරීම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම.

• ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ  XLVIII පරිච්ඡේදයේ 31:11, 31:11:1 වැනි වගන්තිය අනුව වැඩ තහනමකට ලක් වූ කාලය තුළ කිසිදු වැටුපක් නොගෙවිය යුතු බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් නවතා ඇත.

• ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 27-31:7 සහ 31:5:3 වගන්තිවලට අනුව රජයේ නිලධාරියෙකුට අධිකරණය විසින් චෝදනා එල්ල කර ඔහුට එරෙහිව නඩුවක් පවතින අවස්ථාවක සහ වැඩ තහනම් කිරීමට යටත් වන අවස්ථාවක මූලික පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත යුතු අතර, එබැවින් මෙම පරීක්ෂණය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කර දැනට එම පරීක්ෂණය පවත්වා ගෙන යයි.

 

(d) සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වී ඇති ව/ගිරි/ආඬියාදෙනිය ප්‍රාථමික විද්‍යා‍ලයේ ගුරුවරයා සහ ඔහුගේ බිරිඳ යන අයවලුන් තවදුරටත් එකම සේවා ස්ථානයක රාජකාරි ඉටු කිරීම වළක්වාලීම සඳහා ඔවුන්ගේ විනය බලධාරියා දැනුවත් කිරීම.

ගරු කථානායකතුමනි, මෙම ගුරුවරුන්ගේ නම් මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ, ඔවුන් තවම සේවයේ ඉන්න නිසා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට අවශ්‍ය නම් මට ඒ තොරතුරු වෙනම ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත්, මේ දෙදෙනා තවම සේවයේ ඉන්නවා.

(e) එම ගුරුවරයා වෙත සිය රාජකාරි කාලයටම බලපැවැත්වෙන පරිදි විභාග රාජකාරි තහනමක් පැනවීම සහ ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා දැනුවත් කිරීම.

ඒ අනුව ගිරිඋල්ල කලාප කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද තොරතුරු ලබා ගනිමින්, මේ පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර, ඔහුව වැඩ තහනමකට ලක් කර ඇත. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්ද පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

(‍f) විභාගයේ II ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න හෝ ඊට සමාන අනුමාන ප්‍රශ්න සිය WhatsApp සමූහයට මුදා හරින ලද කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම, ශිෂ්‍යත්ව විභාගය සඳහා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අයෙකු - ඒ පුද්ගලයාගේ නමත් ඕනෑ නම් මම ඉදිරිපත් කරන්නම් - වෙත වසර පහක විභාග තහනමක් පැනවීම සහ ඔහුට එරෙහිව විනයානුකූල කටයුතු කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා දැනුවත් කිරීම.

ඒ අනුව ඔහුට තාවකාලිකව ලබා දී තිබූ අනුයුක්තය අවසන් කර පුත්තලම කලාපයේ රාජකාරිවලට යොමු කර ඇති අතර, 230B ආකෘතිය අනුව දෝෂ දර්ශනයට ලක් කර නිදහසට කරුණු විමසා තරවටු කිරීම් සිදු කර ඇත.

• මීට අමතරව, ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇතිවීම වළක්වා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සැලසුම් කර ඇත.

i. දෙපාර්තමේන්තුවේ රහස්‍ය ශාඛාවන් තුළ මේ වන විට යොදවා ඇති ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කිරීම.

ii. රහස්‍ය ශාඛාවන් වඩාත් සමීපව නිරීක්ෂණය කළ හැකි වන පරිදි අභ්‍යන්තර ආරක්ෂිත කැමරා - CCTV - පද්ධතිය යාවත්කාලීන  කිරීම - upgrade කිරීම.

iii. ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල මඟින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වෙනුවට අර්ධ ස්වයංක්‍රීය පද්ධතියක් මඟින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රමවේද නිර්මාණය කිරීම සහ එමඟින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කාර්යයට ඇති පුද්ගල මැදිහත්වීම අවම කිරීම.

iv. විභාගවල අරමුණු හා ගැළපෙන ප්‍රමිතගත ප්‍රශ්න මෙම ස්වයංක්‍රීය පද්ධතිය මඟින් නිර්මාණය කළ හැකි තත්ත්වයක් දක්වා එම පද්ධති සංවර්ධනය කිරීම.

v. විභාග වංචා වළක්වා ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක වන විභාග අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධීක්ෂණයේ යෙදෙන වාර ගණන - frequency - වැඩි කිරීම.

vi. විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිත කිරීමේ අවසරය විභාග ශාලාධිපතිවරුන්ට පමණක් සීමා කිරීම.

vii. විභාග මධ්‍යස්ථාන සඳහා යොදවනු ලබන නිත්‍ය කාර්ය මණ්ඩලවලට අමතරව බාහිර අධීක්ෂකයින් පූර්ණ කාලීනව විභාග මධ්‍යස්ථානවලට යෙදවීම මඟින් විභාග මධ්‍යස්ථාන කාර්යයන්ගේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට ක්‍රමවේද සකස් කිරීම.

(iv)  මෙම සිදුවීම හේතුවෙන් විභාගයට මුහුණ දුන් කිසිදු සිසුවෙකුට අගතියක් සිදු නොවන පරිදි මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇති ආකාරයට විභාගයට පෙර සාකච්ඡා වූ ප්‍රශ්න තුන සඳහා සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දී පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.

(v) අගතියට පත් දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කිරීම හේතුවෙන් විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූ අතර,  2024.12.31 දින එම පෙත්සම් වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පිළිතුරු පත්‍ර ඇගැයීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලදී.

ඒ අනුව, එම ඇගැයීම් කටයුතු 2025.01.08 දින ආරම්භ කළ අතර 2025.01.12 දින ඇගැයීම් කටයුතු අවසන් කර ඇත.

(vi) ඉහත (v) කොටසෙහි පිළිතුර ම අදාළ වෙනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-02-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks