01

E   |     |  

 දිනය: 2025-03-06   පිළිතුර ලබා දී ඇත 

0104/2025: 2023.11.14 සිට 2024.11.13 දක්වා සහල් ආනයනය: විස්තර

104/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2023 නොවැම්බර් 14 සිට 2024 නොවැම්බර් 13 දක්වා කාලය තුළදී ආනයනය කරන ලද සහල් ප්‍රමාණය කොපමණද;

             (ii)      එම කාලසීමාව තුළදී රජය විසින් සහ පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට සහල් ආනයනය කර තිබේද;

(iv) එසේ නම්, එම ප්‍රමාණය, රජය විසින් සහ පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) සහල් ආනයනය කිරීමට හේතු කවරේද;

(vi) එම සහල් කිලෝවක ආනයනික මිල කොපමණද;

(vii) එම සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද මිල කොපමණද;

(viii) එම සහල් පාරිභෝගිකයා වෙත අළෙවි කරන ලද මිල කොපමණද;

(ix) එම සහල් සඳහා රජය විසින් අය කරන ලද බදු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අදාළ කාලය තුළ ශ්‍රී ලංකා රේගු වාර්තාවලට අනුව සහල් මෙට්‍රික්ටොන් 49,621.6ක ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත.

              (ii)      අදාළ කාලය තුළ රජය විසින් සහල් ආනයනය කර නොමැති අතර පෞද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික්ටොන් 49,621.6ක් ආනයනය කර ඇත.

              (iii)      ඔව්, සහල් ආනයනය කර ඇත.

              (iv)      2024.09.21 දිනෙන් පසුව 2025.02.26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගු වාර්තාවලට අනුව රජය විසින් සහල් මෙට්‍රික්ටොන් 10,400.0ක් හා පෞද්ගලික අංශය විසින් සහල් මෙ‍ට්‍රික්ටොන් 180,653.5ක ප්‍රමාණයක් ආනයනය කර ඇත.

(v) 2024 වර්ෂයේ අවසන් කාර්තුවේදී, රට තුළ නිර්මාණය වූ සහල් හිඟයට තාවකාලික පිළියමක් වශයෙන් රාජ්‍ය ආයතන හරහා මෙන්ම පෞද්ගලික අංශය මඟින් සහල් ආනයනය කරන ලද අතර, රජය සතුව වී/ සහල් සංචිතයක් නොමැතිවීම, මහා පරිමාණ මෝල් හිමියන් හා අතරමැදියන්ගේ වෙළෙඳ චර්යාවන් නිසා වෙළෙඳ පොළ තුළ කතපයාධිකාරී ස්වභාවයක් හටගෙන තිබීම, ඵලදාව/නිෂ්පාදන පහත වැටීම, කාලගුණික වෙනස්වීම්, වෙනත් අවශ්‍යතාවන් සඳහා සහල් භාවිතයට ගැනීම යනාදිය එයට බලපෑ ප්‍රධාන සාධකයන් විය.

(vi) එක් එක් ආනයනකරුවන් විසින් විවිධ මිල ගණන් යටතේ විවිධ සැපයුම්කරුවන්ගෙන් සහල් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුවෙහි දත්ත අනුව අනාවරණය වේ. එම නිසා එකම මිලක් යටතේ සහල් ආනයනය කළ බව සඳහන් කළ නොහැකිය.

(vii) ආනයනික සහල් වෙළෙඳ පොළට නිකුත් කරන මිල ප්‍රායෝගිකව නිශ්චිත ලෙසට සඳහන් කළ නොහැක. එයට හේතුව වන්නේ සහල් ආනයනය කිරීමේදී නාඩු, සම්බා හා බාස්මතී ආදී වශයෙන් වෙන් වෙන්ව, විවිධ වූ සැපයුම්කරුවන් විවිධ මිල ගණන් යටතේ සහල් ආනයනය සිදු කරනු ලැබීමයි. තවද, එම සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමේදී ආනයනකරුවන් විසින් තොග වෙළෙඳුන් වෙත නිකුත් කිරීමෙන් පසු වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප්‍රථම වෙළෙඳුන් කිහිපදෙනෙකු සමඟ හුවමාරු වීමද සිදු වේ. එහිදී තොග වෙළෙඳුන් අතර හුවමාරු වන විට එම වෙළෙඳුන්ගේ ලාභාන්තිකයද ඇතුළත්ව සිල්ලර වෙළෙඳුන් අළෙවි කිරීම සිදු කරන අතර, එමඟින් වෙළෙඳ පොළ වෙත නිකුත් කරන සහල් මිල තීරණය වීම සිදු වේ.

(viii) එම සහල් පාරිභෝගිකයා වෙත අළෙවි කළ යුතු මිල වනුයේ (අංක 2414/04 හා 2024 දෙසැම්බර් මස 09 දින ගැසට් පත්‍රයට අනුව)

කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 210යි.

නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 220යි.

සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 230යි.

(ix) කුකුළු සහල් හා තැම්බූ සහල් කිලෝ 01ක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් අය කරනු ලබන අතර බාස්මතී සහල් කිලෝ 01ක්  සඳහා තීරුබදු අනුපාතිකය පහත පරිදි වේ.

  • · රේගු ආනයන බද්ද (CID) - කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 80 හෝ සියයට 20.
  • · එකතු කළ අගය මත බද්ද (VAT) - සියයට 18යි.
  • · වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) - සියයට 10
  • · සෙස් බද්ද (CESS) - කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 40 හෝ සියයට 10
  • · සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) - සියයට 2.5යි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks