බලන්න

04

E   |     |  

 දිනය: 2025-01-22   පිළිතුර ලබා දී ඇත 

0089/2025: ශ්‍රී ලංකාවේ ගංගා දූෂණය: අවම කිරීම

----

අසන ලද දිනය

2025-01-22

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ගංගා 103ක් ඇත.

              (ii)      ඇමුණුම 01- a සහ ඇමුණුම 01 - b මඟින් ගංගාවල නම් සහ පිහිටි ස්ථානයන් දක්වා ඇත.  

              (iii)        -       මෙම ගංගා 103 සැලකූ විට ඒවා බොහොමයක් ආරම්භ වන්නේ මධ්‍ය කඳුකරයෙනි. අනෙක් ඒවා ශේෂ කඳු ආශ්‍රිතව ආරම්භ වේ. ඒවා ආරම්භයේදී වනාන්තර ප්‍රදේශ හරහා ගලා බසින අතර එහෙත් නාගරික ප්‍රදේශ හරහා ගමන් කරන ගංගාවන් බොහොමයක් දූෂණයට ලක්වී ඇත. නාගරීකරණය, කර්මාන්ත බහුලවීම, මළ අද්‍රව්‍ය හා කැළි කසළ අවිධිමත් ලෙස ජලයට බැහැර කිරීම, අවිධිමත් වැලි කැණීම්, ගං ඉවුරු හා ජල මූලාශ්‍ර ආශ්‍රිත අනවසර ඉදිකිරීම්, කඩොලාන විනාශ කිරීම් ආදිය හේතුවෙන් ගංගා ජලය දූෂණය වී ඇති බවට නිරීක්ෂණය කළ හැකිය.

- මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි කර්මාන්ත කටයුතු සඳහා අවිධිමත් ලෙස පොහොර හා පළිබෝධනාශක භාවිතය, එම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු ඉවතලන භාජන හා ඇසුරුම් ජල මූලාශ්‍රවලට බැහැර කිරීම, විධිමත් වැසිකිළි පහසුකම් නොමැතිවීම, කඩොලාන හා අනෙකුත් ගං ඉවුරු රක්ෂිත ශාක විනාශ කිරීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශ හා ජල මාර්ග දූෂණය ප්‍රධාන ලෙස සිදුවේ.

- තවද, සංවර්ධන කටයුතුවලදී මෙන්ම වගා කටයුතුවලදී කඳුකර ප්‍රදේශවල වන වැස්ම ඉවත් වීම නිසා පාංශු ඛාදනය සිදුවී ජල මූලාශ්‍ර අපවිත්‍රවීම ද දැකිය හැකිය.

 

(iv) ශ්‍රී ලංකාවේ ගංගා, වැව් හා අනෙකුත් ජල මූලාශ්‍ර සංරක්ෂණය, කළමනාකරණය සහ ජල තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා වගකීම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැනි ආයතන වෙත පැවරී ඇත. වරින්වර මෙම ගංගාවල ජලය දූෂණය වීම වැළැක්වීම උදෙසා කෙටිකාලීන වැඩසටහන් ක්‍රියාත්මක වී ඇතත්, දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක වී නැත. මෙතෙක් ප්‍රධාන වැඩසටහන් ලෙස පරිසර අමාත්‍යාංශය මඟින් "පිවිතුරු ගංගා" වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

 

(v) - ඉහත පිළිතුරු අංක (iv) දක්වා ඇති ආයතන ඒ සඳහා ඔවුන් වෙත පැවරී ඇති නීතිමය රාමුව තුළ ක්‍රියාත්මක වේ. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ජල දූෂණය වැළැක්වීම, සංරක්ෂණ, කළමනාකරණය සහ ජල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ජාතික පාරිසරික පනතේ රෙගුලාසි යටතේ පහත කටයුතු සිදුකරනු ලැබේ.

 

1. ජල තත්ත්ව විශ්ලේෂණය

- දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන ජල දේහ 16ක ජල තත්ත්ව විශ්ලේෂණ කටයුතු මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සිදුකරමින් පවතී.

- එනම්, 2003 සිට කැලණි ග‍ඟේ ස්ථාන 12ක මාසිකව ජල තත්ත්ව විශ‍්ලේෂණය සිදු කරයි. මෙයට සමගාමිව ජාතික ජල සම්පාදන මණ්ඩලය හා එක්ව කැලණි ග‍ඟේ ජල තත්ත්ව විශ්ලේෂණය, කර්මාන්ත පසු විපරම් කිරීම නිරතුරුව සිදු වන අතර, අවශ්‍ය අවස්ථාවලදී කර්මාන්ත සඳහා උපදෙස් ලබා දීම සිදු වේ.

- 2017 සිට මහ ඔය, දියවන්නා ඔය, නිල්වලා ගඟ, කළු ගඟ, මැණික් ගඟ, මහවැලි ගඟ, නුවරවැව, තිස්ස වැව, අත්තනගලු ඔය, දැදුරු ඔය, කුරුණෑගලවැව, වෙන්නරුව වැව, බදුලු ඔය, ග්‍රෙගරි වැව හා බෝගම්බර වැව යන ජල මූලාශ්‍රවල ජල තත්ත්වය මාස 04කට වරක් විශ්ලේෂණය කටයුතු සිදු කර අදාළ වර්තා ලබාගෙන, ඒ අනුව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ අදාළ අංශවලට යොමු කිරීමට කටයුතු කර ඇත.

- ප්‍රධාන වශයෙන් මෙම ජල දේහවල ජලයේ තත්ත්වය විශ්ලේෂණය කිරීමේදී බොහෝ ජලාශවල ජලය දූෂණයට ලක්වීම සිදුවි ඇත්තේ ගෘහස්ථ අපද්‍රව්‍ය ජලදේහවලට එකතුවීම හා කැළි කසළ මඟින් බව විශේලේෂණ දත්ත අනුව පෙනී යයි. එසේම ජලාශවල අවිලතාවය - turbidity - වැඩිවීමක්ද නිරීක්ෂණය කර ඇත. මේ තත්ත්වය බෙහෝවිට රොන්මඩ ජලාශවලට එකතුවීම නිසා සිදු විය හැකි තත්ත්වයකි. (විශේෂයෙන්ම වැසි කාලගුණික තත්ත්වයන්වලදී.)

- විශ්ලේෂණය කරනු ලබන පරාමිතීන්ගෙන්, අවිලතාවය සහ මළ අපද්‍රව්‍ය මඟින් සිදුවන ජල දූෂණය හැර අනෙකුත් පරාමිතීන් හිතකර තත්ත්වයක පවතී.

- කෘෂිරසායන ද්‍රව්‍ය හා පොහොර භාවිතයෙන් ජලයට එකතු වන අවශේෂ පළිබෝධනාශක, කෘෂිරසායන ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මධ්‍යම පරිසර අධිකාරිය සතුව නොපවතී.

- එසේම ජලාශ, ජලමූලාශ්‍ර සංරක්ෂණයේදී ආයතන අතර, ක්‍රමවත් සම්බන්ධතාවයක් නොමැතිවීම හා පවතින නීති රීති ශක්තිමත් නොමැති බව අධ්‍යයනවලදී අනාවරණය වී ඇත.

02.  නීතිමය පියවර

- ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර - EPLs - නිකුත් කිරීමේ ක්‍රියාවලිය මඟින් ජල මූලාශ්‍ර වෙත අපද්‍රව්‍ය පැහැර කිරීම කිරීම හා ඒ අවට පරිසර පද්ධතීන් සුරැකීම ප්‍රධාන ලෙස සිදුවේ.

* ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත අංක 2264/18 දරන 2022.01.27 දිනැති ගැසට් නිවේදනය මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සහ ඒ හරහා කර්මාන්ත මඟින් බාහිර පරිසරයට බැහැරලන අපජලය නිසි ප්‍රමිතියට අනු බැහැරලීමට අවසර ලබාදෙන අතර, මෙමඟින් කර්මාන්ත අපජලය මඟින් සිදුවන දූෂණය පාලනය කිරිම සඳහා කටයුතු කර ඇත. එසේම පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම හා ඒවා පසුවිපරම් කර බලපත්‍ර කොන්දේසි කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සිදු කරයි.

- ජාතික පාරිසරික පනත යට‍තේ ප්‍රකාශිත අංක 772/22 දරන ගැසට් පත්‍රය මඟින් නියමිත ව්‍යාපෘති සඳහා පරිසර බලපෑම් ඇගයීම් ක්‍රමවේදය -EIA/IEE- අනුගමනය කර එම ව්‍යාපෘති මඟින් ජලාශ/ජල පෝෂක හා ඒ අවට රක්ෂිත කලාපවලට හා සංවේදී පරිසර පද්ධතිවලට සිදුවිය හැකි හානිය අවම කිරීම සිදුවේ.

- ජාතික පාරිසරික පනතට අනුව ජලයේ තත්ත්වය පවත්වා ගැනීම සහ කර්මාන්ත අපජලය මඟින් සිදුවවන ජල දූෂණය වළක්වා ගැනීම සඳහා නීති රෙගුලාසි පැනවීම සිදුකරන අතර, ගැසට් අංක 2264/17 දරන 2022.01.27 දරන ගැසට් නිවේදනය මඟින් කර්මාන්තවලින් බැහැරලන අපජලය සඳහා ප්‍රමිති හා උපමාන ප්‍රකාශයට පත් කර ඇත.

- ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත අංක 2148/20 දරන 2019.11.05 දිනැති ගැසට් නිවේදනය මඟින් සංසරණ ජල තත්ත්වයන් සඳහා ප්‍රමිති හා උපමාන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව තම බලප්‍රදේශයට අයත් ගංගාවල ගුණාත්මක තත්ත්වය පවත්වාගෙන යාම සඳහා පළාත් පාලන ආයතන සමඟ කටයුතු කිරීමට යෝජනා වී ඇත.

- හානිකර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත අංක 1534/18 දරන 2008.02.01 දිනැති ගැසට් පත්‍රය අනුව බලපත්‍රයක් ලබා ගත යුතු අතර මෙමඟින් පරිසරයට බැහැරලන හානිකර අපද්‍රව්‍ය පාලනය හා කළමනාකරණය සිදුවේ.

- පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ගැසට් මඟින් ප්‍රකාශකර එම සංවේදී පරිසර පද්ධතිවලට මානව ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට පියවර ගෙන ඇත. එමඟින් ජල මූලාශ්‍රවල පැවැත්ම තහවුරු කර ඇත.

 

03.  අනෙකුත් පියවර

- කාර්මික අපජලය ජනනය වන මහා පරිමාණ දූෂකාරක කර්මාන්ත, ගංගා හා අනෙකුත් ජල දේහවල සංවේදී කලාප තුළ ස්ථානගත කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ප්‍රථම, එම යෝජනා අදාළ අනෙකුත් පාර්ශ්වකාර ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් - H & M  කමි‍ටුව - වෙත යොමු කෙරේ. මෙහි නිර්දේශ ක්‍රියාත්මක කර, කර්මාන්ත ස්ථානගත කිරිම තුළින් කර්මාන්ත අපජලය මඟින් ගංගා ජලය දූෂණය වීම පාලනය කෙරේ.

- ගලි බවුසර් මඟින් ප්‍රවාහනය කරනු ලබන කාර්මික අපජලය ගංගාවලට හා අනෙකුත් ජලමූලාශ්‍රවලට බැහැරලීම පාලනය කිරීම සඳහා ගලි බවුසර් සේවාවන් සපයන ආයතන මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි කිරීම් ආරම්භ කර ඇත.

- ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදි ආයතන සමඟ සම්බන්ධ වී ජල සම්පත සුරැකීමට කටයුතු කිරීම සහ මහජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

- "සුරකිමු ගංගා" ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රධාන ගංගාවල ජලය සංරක්ෂණය සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ ද සහයෝගය ඇතිව විවිධ ක්‍රමෝපායයන් සැලසුම් කර තිබූ අතර මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.

- ජාතික පාරිසරික පනතේ ඉදිරි සංශෝධන සඳහා, අපජලය පරිමාව මත පදනම්ව දූෂකාරක ධාරිතාව අනුව කර්මාන්තකරුගෙන් රජයට ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මේ හරහා ද ගංගා හා අනෙකුත් ජල මූලාශ්‍රවල සිදුවන පරිසර දූෂණ පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

මීට අදාළව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්ද ගංගා දූෂණය අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පහත දක්වා ඇත.

ඉහත සඳහන් ගංගා ඇතුළුව එම ගංගා ද්‍රෝණි තුළ ජල සම්පත් සංවර්ධනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භයේ සිටම සිදු කරන ලදී. ඒ අනුව ගංගා ආශ්‍රිතව වැව් අමුණු ඉදිකිරීම, කෘෂි කර්මන්තය සඳහා ජලය රැස්කිරීම, බෙදා හැරීම (ජල සම්පාදනය වැනි කටයුතු) වැනි ක්‍රියාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ සිදුකර ඇත. නමුත් මෙහි ජල දුෂණය වැනි දේ පිළිබඳව ඍජුව මැදිහත්ව නොමැත. එහෙත් මුළු ගංගා පද්ධතියම තවදුරටත් අවධානයෙන් කළමනාකරණය කළ යුතු බැවැන් 2018 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ සඳහා නව උප අංශයක් - branch - පිහිටුවන ලදී. එය ගංගාධාර කළමනාකරණ අංශය ලෙස හැඳින්වේ.

එම අංශය හා දෙපාර්තමේන්තුවේ පාරිසරික අධ්‍යයන අංශය හා එක්ව මේ වන විට ගංගා පද්ධතියට ප්‍රධානව හානි වන වැලිගොඩ දැමීම සහ කුඩා ජල විදුලි ත්පාදනය මඟින් වන හානි අවම කිරීමට සක්‍රීයව දායක වෙමින් පවතී. මීට අමතරව පරිසර දූෂණය වීම සිදු විය හැකි ස්ථාන වල ජලයේ ගුණාත්මක බව - water quality - වරින් වර පරීක්ෂා කිරීම් ද දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි. ස්ථාන කිහිපයක ඝණ අප ද්‍රව්‍ය ගංගා තුළට එකතු නොවන ආකාරයට, බාධක ලෙස ක්‍රියා කළ හැකි සරල ක්‍රම අත්හදා බලමින් සිටියි. (උදා- වීරකැටිය ඌරුබොකු ඔය කටුවන පාලම අසල)

ගංගාවලට අපද්‍රව්‍ය එකතු කරන ජන කොට්ඨාස සමඟ එක්ව මූලිකව පිරිසිදු කර ඉන් පසු ඔවුන් විසින්ම අපද්‍රව්‍ය ගංගා තුළට බැහැර නොකර එය පවත්වා ගෙන යන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇත. (උදා - අත්තනගලු ඔය)

මෙලෙස ගංගා නිසි පරිදි නියාමනය කිරීම සඳහා ඒ වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බිම් මට්ටමේ නිලධාරින් පත්කිරිමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් වාරිමාර්ග කලාප මට්ටමින් පසුගිය වසරේදී ආරම්භ කරන ලදී.

ඒ අනුව දැනට කලාප කිහිපයක් දැනුවත් කර ඇති අතර, නිලධාරින් වෙත අදාල කොටස් බෙදා දීමට සිතියමක්ද නිර්මාණය කර තිබේ. අනුරාධපුර පොළොන්නරුව, කුරුණෑගල, ත්‍රීකුණාමලය, කොළඹ, මහනුවර සහ බදුල්ල එම කලාප වේ.

ඒ අනුව බිම් මට්ටමමේ නිලධාරියෙකු විසින් වරින් වර නිසිපරිදි ගංගා නිරීක්ෂණය කිරීමට යොමු වේ. දැනටමත් යම් යම් හඳුනාගත් ස්ථාන සම්බන්ධව එම පාර්ශ්වකරුවන් වෙත දැනුවත් කිරීම් සිදුකර ඇත. එසේ හඳුනාගන්නා ස්ථානවල පුද්ගලයින්, කර්මාන්තශාලා අදාළ පළාත් පාලන ආයතන සමඟ එක්ව නියාමනයටත් නිසිපරිදි පවත්වා නොගන්නා ඒවා වෙත නීති මඟින් කටයුතු කිරීමටත් බලාපොරොත්තු වේ.

ඉදිරි වසර කිහිපය තුළ දැනට අපවිත්‍ර වී ඇති ස්ථාන කිහිපයක් තෝරා ගෙන ක්‍රමිකව පැරණි පිරිසිදු පවිත්‍ර මට්ටම ළඟා කරගැනීමට කටයුතු සැලසුම් කරමින් පවතියි. තවද පහත කරුණු පිළිබඳව අපගේ අවධානය යොමු වී ඇත.

1) රක්ෂිත පවත්වා ගැනීම

2) වැලි ගොඩ දැමීම නියාමනය

3) කුඩා ජල විදුලි බලාගාර නියාමනය

4) ගංගා රක්ෂිත ආරක්ෂා කිරීම

5) කුඩා ව්‍යාපෘති සඳහා පරිසර හානි අධ්‍යයන වාර්තා ලබා දීමේදී කමිටු සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම.

6) ගංගා ආශ්‍රිතව සහ ද්‍රෝණිය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා නිර්දේශ නිකුත් කිරීම.

7) ගංගා ආසන්න නිවාස සහ කර්මාන්තශාලා  ආදිය නිසි පරිදි නියාමනය නොවීම/අපද්‍රව්‍ය  ඍජුව බැහැර කිරීම.

8) අපද්‍රව්‍ය යොමු කරන නිවාස සහ කර්මාන්තශාලා දැනුවත් කිරීම සහ නඩු පැවරීම.

9) දැනට ඝණ අපද්‍රව්‍ය සහ අනවසර ජලජ පැලෑටි ඇති ස්ථාන පිරිසිදු කිරීම.

10) ශ්‍රමදාම

11) දැනුවත් කිරීම

 

තවද දැනට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති තුළ ගංගා ආශ්‍රිතව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන විට පරිසර අධ්‍යයන වාර්තා ලබාගැනීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද එක් පාර්ශ්වකරුවෙක් වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාරිසරික අධ්‍යයන අංශය මඟින් ඒ සඳහා නිසි නිර්දේශ ලබා දීම සිදු කරයි. එමඟින් ඉදිරියේදී පරිසර දූෂණය වළක්වා ගැනීමට කටයුතු කරයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks