logo

02

E   |     |  

 දිනය: 2026-04-24   පිළිතුර ලබා දී ඇත 

0026/2026: 2010 සිට පාසල් හැර ගිය ළමුන්: විස්තර

.

අසන ලද දිනය

2026-04-24

අසන ලද්දේ

ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම අමාත්‍යාංශයේ 2010-2017 දක්වා මුල් කාලය තුළ පාසල් හැර ගිය ළමුන් පිළිබඳ තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැත. 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වාර්ෂික පාසල් සංගණන දත්ත වාර්තාවලින් 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යා අනුව පාසල් හැර ගිය ළමුන් සංඛ්‍යා සහ ඇදහැලීමේ අනුපාත අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් අනුව ගණනය කරන ලද දත්ත පහත වගුව මඟින් ඉදිරිපත් කෙරේ.

වර්ෂය

ඇදහැලී ඇති බවට ගණනය කරන ලද 1-10 ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව

2018

38,839

2019

41,503

2020

32,540

2021

25,492

2022

52,596

2023

50,345

2024

25,823

මෙතැනදී සැලකිය යුතු විශේෂ කරුණු වන්නේ මේවායි, ගරු කථානායකතුමනි. එක් පළාතක සිට තවත් පළාතක පාසලකට මාරු වීම, ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වීම සහ පවුලේ සාමාජිකයන් සමඟ පිට රටකට සංක්‍රමණය වීම යනාදී හේතුන් මත ඇතැම් සිසුන් පාසලෙන් ඉවත් වුවද, විධිමත් අධ්‍යාපනයක් ලැබිය හැක. එවැනි දත්ත මෙම ගණනය කිරීමේදී පැහැදිලිව ග්‍රහණය කර ගත නොහැක.

(ii) 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිය අනුව ඉහත ගණනය කිරීම සිදු කෙරේ. ඒ අනුව වයස අවුරුදු 5 සිට 15 දක්වා වූ වයස් කාණ්ඩයට අයත් වේ.

(iii) දිස්ත්‍රික්කය අනුව 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ඇදහැලී ඇති බවට ගණනය කරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(iv) ළමුන් පාසල් හැර යාමට අදාළ වන හේතු සහිත ප්‍රධාන තේමා පහත පරිදි වේ.

01. පෞද්ගලික හේතු

02. පාසල සම්බන්ධ හේතු

03. පවුල සම්බන්ධ හේතු

04. සමාජයීය හේතු

05. අනෙකුත් අධ්‍යයන කටයුතු සඳහා

(ප්‍රතිපත්ති හා සැලසුම් ශාඛාව මඟින් 2024, 2025 වර්ෂයේ සිදු කරන ලද "A Study on Trends of Irregular Attendance and School Dropouts of Students" නමැති අධ්‍යයනය මඟින් ඉහත තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.)

(v) අනිවාර්ය අධ්‍යාපන පනත මඟින් වයස අවුරුදු 5-16 අතර වයසේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් හා ව්‍යාපෘති නිලධාරින් මඟින්, පාසල්වලින් ඇදහැලෙන දරුවන් හඳුනාගෙන ඔවුන් නැවත පාසල්ගත කිරීමේ වැඩසටහන්ද, දරුවන් පාසල්වලින් ඇදහැලීම වළක්වා ගැනීම සඳහා රජය විසින් මේ වනවිටත් සුබසාධන වැඩසටහන් ගණනාවක්ද ක්‍රියාත්මක කරනු ලැබේ.

ගරු කථානායකතුමනි, ඒවා කොච්චර සාර්ථකව කෙරෙනවාද කියන එක ගැන අපට කථා කරන්න පුළුවන්. නිලධාරි හිඟයත් ඒකට බලපානවා. වෙනත් සාධකත් බලපා තිබෙනවා. නමුත් ඒ ගැන අපි විශේෂ අවධාන‍යක් යොමු කරලා තිබෙනවා. ඉදිරියේදී අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළිනුත් විශේෂයෙන්ම වයස අවුරුදු 14, 15, 16 වෙනකොට පාසල් පද්ධතියෙන් ඉවත් වන දරුවන් රඳවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා.

(ආ) (i) සෑම මාස දෙකකට වරක් පාසල් කමිටුව මඟින් තම පාසල් පෝෂක ප්‍රදේශයේ පාසල් නොයන ළමයින්ගේ හා අතරමඟ අධ්‍යාපනයෙන් ගිලිහුණු සිසුන්ගේ තොරතුරු අධීක්ෂණ කමිටුවට වාර්තා කළ යුතුව ඇත. මාස තුනකට වරක් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් තම කොට්ඨාසයේ උක්ත ශිෂ්‍ය තොරතුරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් තම කලාපයේ උක්ත ශිෂ්‍ය තොරතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටද වාර්තා කළ යුතු වේ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු විසින් සෑම වර්ෂයකම අවසානය වනවිට පළාතේ පාසල් නොයන ළමයි, අතරමඟ පාසල් හැර ගිය ශිෂ්‍ය තොරතුරු, පාසල්ගත කළ ළමුන් සංඛ්‍යාව, ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තා සැපයීම කළ යුතු වේ.

එම ක්‍රියාවලියේ අඩුපාඩු තිබෙනවා, ගරු කථානායකතුමනි. ඒ නිසාම තමයි අපි අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබෙන්නේ. ඒකේ පළමුවැනි phase එක අපි මේ සතියේ සෙනසුරාදා ආරම්භ කළා. ඒ, ගුරුවරුන්ගේ තොරතුරු ඩිජිටල් පද්ධතියට එකතු කරන්න. දෙවැනි phase එකේදී දරුවන්ගේ තොරතුරුත් එම පද්ධතියට එකතු කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. එතකොට අපට මීට වඩා හොඳින් දත්ත ලබා ගැනීමට හැකි වෙනවා.

(ii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks