02

E   |     |  

 දිනය: 2026-03-20   පිළිතුර ලබා දී ඇත 

0024/2026: 2019 සිට පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින්: වන්දි

.

අසන ලද දිනය

2026-03-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)

වර්ෂය

පීඩාවට පත් වූ සංඛ්‍යාව

2019

4,914

2020

5,130

2021

4,185

2022

4,500

2023

7,534

2024

7,448

2025

8,323

2026 පෙබරවාරි මස දක්වා

1,178

 

                        ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිගණක දත්ත පද්ධතියට අනුව විගමනික ශ්‍රමිකයින් මුහුණපාන ලද විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබුණු පැමිණිලි එක් එක් වර්ෂය අනුව ඉහත සඳහන් කර ඇති අතර එම පැමිණිලිවලට අදාළ ගැටලුවල ස්වභාවයන් පිළිබඳ තොරතුරු ඇමුණුම 01**හි දක්වා ඇත.

(ii) විදේශ රැකියාවෙහි නිරතව සිටියදී විවිධ පීඩාවන්ට පත් වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ විගමනික ශ්‍රමිකයින් සඳහා ගෙවන ලද මුදල් සම්බන්ධ විස්තර ඇමුණුම 02**හි දක්වා‍ ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා විදේශගත වන ශ්‍රමිකයින්ට එතෙරදී මුහුණදීමට සිදුවන හදිසි අනතුරු, කරදර-හිරිහැර, ලෙඩ රෝග, මරණ සඳහා හිමිකම් ලබා දීමට රක්ෂණාවරණ ක්‍රියාත්මක වේ.

එම රක්ෂණාවරණයක හිමිකම් ලබා ගැනීම සඳහා, ඉහත තත්ත්වයන්ට මුහුණ දුන් ශ්‍රමිකයින් හෝ ඔවුන්ගේ යැපෙන්නන්, අදාළ ලිපි ලේඛන සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට හෝ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට පැමිණ අදාළ ඉල්ලීම් සිදු කරනු ලබන අතර, එම ඉල්ලීම් කාර්යාංශය විසින් රක්ෂණායතනයට යොමු කරනු ලබයි. රක්ෂණායතනය ඒවා පරීක්ෂා කර බලා අදාළ ගෙවීම් සිදු කරන අතර, ප්‍රමාදවීම් ආදිය සිදුවුවහොත් පසුවිපරම් කොට ඒවා ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වීම සිදු කරනු ලබයි. මේ යටතේ ලංකාවට පැමිණීම සඳහා වන ගුවන් ටිකට්පත් ගාස්තු, ලංකාවේදී කරනු ලබන ප්‍රතිකාර සඳහා වන වියදම් හා මරණ සඳහා යැපෙන්නන්ට හිමිකම් ලබා දීම සිදු කරනු ලබයි. එම සියලු ගෙවීම් චෙක්පත් මඟින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබා දෙන අතර, කාර්යාංශය ඉල්ලුම්කරුවන්ගේ ගිණුම්වලට බැර කරනු ලබයි.

තවද, රක්ෂණයෙන් ආවරණය නොවන ඉහත අවස්ථා සඳහා සහනයක් ලබා දීමට සේවක සුබසාධන අරමුදල (දේශීය) ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ලැබෙන ඉල්ලීම් සලකා බලා සහන සැලසීම සිදු කරනු ලබයි. ලැබෙන සියලු ඉල්ලීම් සේවක සුබසාධන අරමුදල් කමිටුව වෙත යොමු කරනු ලබන අතර, නිර්ණායකයන්ට යටත්ව කමිටු තීරණය මත ගෙවීම් සිදු කිරීම කරනු ලබයි. ඒ සඳහා ඍජු ඉල්ලීම්වලට අමතරව සංවර්ධන නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ලැබෙන ඉල්ලීම් ද සලකා බලනු ලබයි. ප්‍රධාන කාර්යාලයට හෝ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.

එසේම විදේශ ‍රැකියා නියෝජිත ආයතන මඟින් විදේශගත වූ විගමනික ශ්‍රමිකයින් රැකියා ස්ථානයේදී මුහුණපාන ලද වැටුප් නොගෙවීම්, සේවා ගිවිසුමෙහි කොන්දේසි කඩකිරීම් ආදී වශයෙන් වූ විවිධාකාරයේ පැමිණිලි සමථකරණ කටයුතු සිදු කිරීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙහි 44(1) වගන්තිය අනුව කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවෙන් පිටත සේවයේ නියුක්ත යම් තැනැත්තෙකුගෙන් හෝ ඔහු වෙනුවෙන් පැමිණිල්ලක් සමථ අංශයේ ගොනු කිරීමෙන් පසු සමථ නිලධාරි විසින් පැමිණිලි පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පැමිණිල්ලේ කරුණු ඔප්පු කර ඇති බව නිගමනය කළහොත්, ඒ තැනැත්තාට ලැබිය  යුතු නොගෙවන වේතන, නිවාඩු දින වෙනුවෙන් ගෙවීම්, සේවා ස්ථානයේ සිදුවන කරදර/හිරිහැර, සන්නිවේදනය නොමැති වීම - lack of communication - සහ සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ යනාදියේ වටිනාකම ලබා නොදීම යනාදී ගැටලු මෙන්ම, සේවා යෝජකයා විසින් එම  කොන්දේසි කඩකිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් එම තැනැත්තා විසින් දරනු ලැබූ ශ්‍රී ලංකාවට පැමිණීමේ ගමන් ගාස්තු ඇතුළුව වෙනත් වියදම් පියවීම සඳහා ප්‍රමාණවත් යැයි ඔහු තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණයක් ඒ තැනැත්තාට ගෙවන ලෙසට බලපත්‍රලාභියාට විධානයක් ප්‍රදානය කර ඒ අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් දේශීය රැකියා නියෝජිත ආයතනය හා විදේශ රැකියා නියෝජිත ආයතනය අසාධු ලේඛනගත කිරීම සිදු කරනු ලබන අතර නීති මඟින් ද කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සඳහා බඳවා ගනු ලැබූ තැනැත්තන් සම්බන්ධයෙන් ගොනු කරනු ලබන පැමිණිලි විශේෂයෙන්ම "හදිසි" යැයි සලකන, කඩිනමින් විසඳුම් ලබා දිය යුතු ගැටලු සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු නොකරන අවස්ථාවලදී දේශීය රැකියා නියෝජිත ආයතනය හා  විදේශ රැකියා නියෝජිත ආයතනය අසාධු ලේඛනගත කිරීම සිදු කරනු ලබයි.

ස්වයං මාර්ගයෙන් විදේශගත වූ විගමනික ශ්‍රමිකයින් සඳහා හිඟ වැටුප්, පාරිතෝෂික දීමනා, විදේශ රක්ෂණාවරණයෙන් ලැබූ මුදල් ආදිය ගෙවනු ලබයි. එහිදී පැමිණිලි විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සහාය දක්වන ලද නමුත්, ඇතැම් ශ්‍රමිකයින්හට  හිමි මුදල්  ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්වලට විදේශීය බැංකු හරහා ඍජුවම මුදල් තැන්පත් කර ඇත. කාර්යාංශ දත්ත අනුව 2025 වර්ෂයේ එසේ පීඩාවට පත් විගමනික ශ්‍රමිකයින් 31දෙනෙකු සඳහා රු. 67,175,873.39ක මුදලක් ඍජුවම විදේශීය බැංකු හරහා අදාළ ශ්‍රමිකයින්ගේ බැංකු  ගිණුම් වෙත බැර කර ඇත. එහිදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි.

  • අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශය සමඟ සම්බන්ධීකරණයකොට පැමිණිලිකරු වෙත තොරතුරු ලබා දීම හා අවශ්‍ය තොරතුරු තානාපති කාර්යාලය වෙත ලබා දීම.
  • අදාළ ශ්‍රමිකයා මෙරට රැඳී සිටින්නේ නම් ඔහුට සම්බන්ධ නඩු කටයුත්තක් අදාළ රටේ පවතින්නේ නම් හා අවශ්‍ය වූ විට ඒ සඳහා ඇටෝනි බලපත්‍ර සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම හා අදාළ ලේඛන තානාපති කාර්යාල වෙත යොමු කිරීම.
  • නඩු කටයුත්තක් අවසානයේ තීරණය වන හිඟ වැටුප් හා දීමනා තානාපති කාර්යාලයේ ගිණුම් වෙත තැන්පත්කොට ඇත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අදාළ පැමිණිලිකරුවන් වෙත ගෙවීම් කිරීම.

(iii) • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය සහිතව විදේශ සේවයේ සිටියදී විගමනික ශ්‍රමිකයින්ගේ යැපෙන්නන්හට රක්ෂණාවරණයෙන් ලබා දෙනු ලබන රු. 600,000ක මුදල ප්‍රමාණවත් නොවන බැවින්, 2025.06.25 දිනෙන් පසු යම් ශ්‍රමිකයකු මියගියහොත් එම ශ්‍රමිකයාගේ යැපෙන්නන්හට තවත් රු. 1,400,000ක මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධන අරමුදලින් ගෙවීම් කිරීම.

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්වන සියලුදෙනාට නොමිලයේ රක්ෂණ ආවරණයක් ලබා දීම සිදු කරන අතර, ඒ සඳහා වැය වන රක්ෂණ වාරික මුදල කාර්යාංශය විසින් සම්පූර්ණයෙන්ම ගෙවනු ලබයි.
  • එසේම ඉහත රක්ෂණ යෝජනා ක්‍රමයට වඩා වැඩි ප්‍රතිලාභ සහිත රක්ෂණ යෝජනා ක්‍රමයක් රක්ෂණලාභියාගේ කැමැත්ත මත තෝරාගත හැකි අතර, එහිදී අමතර මුදලක් රක්ෂණලාභියා විසින් ගෙවා මෙම ප්‍රතිලාභ වැඩි ක්‍රමය තෝරා ගැනීමට පහත පරිදි අවස්ථාව ලබා දී ඇත. (අවුරුදු 02ක කොන්ත්‍රාත් කාලය සඳහා අමතරව රුපියල් 935.66ක මුදලක් ද, අවුරුදු 03ක කොන්ත්‍රාත් කාලය සඳහා රුපියල් 1,087.38ක මුදලක් ද ඒ සඳහා ගෙවිය යුතු වේ.)

රක්ෂණ ප්‍රතිලාභය

දැනට පවතින රක්ෂණ හිමිකම   (පළමු තේරීම)

තෝරා ගැනීමට හඳුන්වා දී ඇති වැඩි ප්‍රතිලාභ හිමි රක්ෂණ හිමිකම       (දෙවන තේරීම)

ලියාපදිංචිය වලංගු කාලය තුළ විදෙස් සේවයේ නියුක්තව සිටියදී මුහුණදීමට සිදුවූ බරපතළ රෝගී තත්ත්වයක් හෝ හදිසි අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ මාස 03ක් ගතවීමට පෙර ජීවිතක්ෂයට පත්වීම

 රු. 250,000

 රු. 500,000

ලියාපදිංචිය වලංගු කාලය තුළ විදෙස් සේවයේ නියුක්තව සිටියදී මුහුණදීමට සිදු වූ හදිසි අනතුරක් හේතුකොටගෙන පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම.

 උපරිමය        රු. 500,000

 උපරිමය රු. 600,000

*ලංකාවට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වෛද්‍ය වියදම් සඳහා

උපරිමය         රු. 50,000

උපරිමය රු. 150,000

ලෙඩ රෝග / හදිසි අනතුරු / වධහිංසා ආදිය හේතුවෙන් ලංකාවට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වෛද්‍ය වියදම් සඳහා ආදී වශයෙන් තවත් ප්‍රතිලාභ ඇත.

 උපරිමය        රු. 50,000

 උපරිමය රු. 150,000

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks