02

E   |     |  

 දිනය: 2026-03-06   පිළිතුර ලබා දී ඇත 

0023/2026: සාමදාන විනිශ්චයකරුවන්: විස්තර

.

අසන ලද දිනය

2026-03-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. මේක යටත් විජිත සමයේ ආරම්භ කළ තනතුරක්. එසේ ආරම්භ කළත්, සාම විනිසුරුවරුන් සඳහා පුහුණුව ලබා දීමේ ක්‍රමවේදයක් 2025 වර්ෂය තෙක් නොතිබුණා පමණක් නොව, ඔවුන්ව පත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ද නොවීය. අප ඒ සඳහා දැන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔවුන්ට මඟ පෙන්වීමට අදාළ වූ කරුණු "සාමදාන විනිශ්චයකාර කාර්යභාරය" නැමැති අත්පොතෙහි අන්තර්ගත කර ඇත. පෙර වර්ෂයන්හි මෙම අත්පොත සාම විනිසුරු පත්වීම් ප්‍රදානය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය විසින් ලබා දුන් අතර, 2025 වර්ෂයේ සිට එම අත්පොත අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි අතර, එය අදාළ සාම විනිසුරු වෙත ලබා දෙන පත්වීම් ලිපියේ සඳහන් QR කේතය මඟින් ද බාගත කර ගත හැකිය.

(ii) 2013 වර්ෂයේ සිට මේ දක්වා පවත්වා ගෙන යනු ලබන දත්ත තොරතුරු පද්ධතියට අනුව මුළු දිවයිනටම හා අධිකරණ බල ප්‍රදේශයන්ට වෙන් වෙන් වශයෙන් පත් කර ඇති සාමදාන විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව නිර්ණය කළ නොහැකි අතර, 2013 වර්ෂයේ සිට මේ දක්වා සාමදාන විනිශ්චයකාරවරුන් 66,315ක් පත් කර ඇත. පවත්වාගෙන ගොස් තිබූ දත්ත පද්ධතිය විධිමත්ව පවත්වාගෙන ගොස් නොතිබූ බව නිරීක්ෂණය කළ හෙයින්, එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර අප විසින් මේ වන විට ගනිමින් පවතිනවා.

(iii) ඇමුණුමෙහි දක්වා ඇති තොරතුරු පදනම් කරගෙන එක් එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජනගහන ඝනත්වය හා භූ විෂමතාව පදනම්ව එක් එක් කොට්ඨාසය සඳහා නිශ්චිත සාමදාන විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව් (200:1 අනුපාතයට) නිර්ණය කිරීම 2025 වර්ෂයේ සිට සිදු කළ අතර, ඒ අනුව පුරප්පාඩු වූ සාමදාන විනිශ්චයකාර පත්වීම් 40,000ක පමණ ප්‍රමාණයක් ලබා දිය හැකි බැවින්, මසකට පත්වීම් 500-750 අතර ප්‍රමාණයක් ලබා දීම 2025 ජුනි මස සිට ආරම්භ කරන ලදී. 

ඇමුණුම සභාගත* කරමි.

 (iv) පෙර සඳහන් කළ පරිදි සාමදාන විනිශ්චයකාර සේවය විධිමත් සහ ප්‍රමිතිගත කිරීමේ අරමුණින් ඒ සඳහා ඉල්ලුම්කරුවන් අනිවාර්යයෙන් සපුරාලිය යුතු මූලික සුදුසුකම් 2025 සිට අප හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව,

 

අධ්‍යාපන සුදුසුකම්

  • · අයදුම්කරු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය  එක වරකදී විෂයන් 6කින් සමත්වීම සහ මව් භාෂාව (සිංහල/දෙමළ) ඇතුළුව තවත් එක් විෂයක් සඳහා සම්මාන සාමර්ථයක් ලබා තිබීම.
  • · යම් හෙයකින් ඉංග්‍රීසි භාෂාවෙන් පිළියෙළ කරන ලද ලේඛනයක් සහතික කරන්නේ නම් අදාළ අයදුම්කරුට වෙනත් විෂයකට අමතරව, ඉංග්‍රීසි භාෂාව ද ඔහු/ඇය සමත්ව ඇති විෂයන් 06 ඇතුළත තිබිය යුතුය.
  • · මුළු දිවයින සඳහාම සාමදාන විනිශ්චයකාර පත්වීම් ලබාදීමේ දී, පත්වීම් ලැබ ඇති කලාපයෙහි සාමදාන විනිශ්චයකාර තනතුරෙහි වසර 5ක සේවා කාලයක් සහිත වීම සහ අධ්‍යාපන සුදුසුකම් ලෙස අ.පො.ස. (උ.පෙළ) අවම වශයෙන් එක් විෂයක්වත් සමත්ව තිබීම.

 

වෙනත් සුදුසුකම්

  • · අයදුම්කරු විසින් වයස අවුරුදු 30 සම්පූර්ණ කර තිබිය යුතුය.
  • · අයදුම්කරු වයස අවුරුදු 75ට නොවැඩි විය යුතුය.
  • · පත්වීම් ලබා දීමේ දී යහපත් කායික හා මානසික තත්ත්වයකින් යුක්ත පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන වෛද්‍ය සහතිකයක්  ඉදිරිපත් කළ යුතුය.
  • · අපරාධ චෝදනාවක් නොමැති අයෙකු වීම හා අධිකරණයෙන් දඬුවම් නොලැබූ අයෙකු විය යුතුය.

 

මීට අමතරව ඔවුන්ගේ සේවය මහජන හිතකාමී කිරීමේ අරමුණින් සාමදාන විනිශ්චයකාරවරයකුගේ යම් ක්‍රියාකලාපයන් සම්බන්ධව මහජනතාවට ඇති වන ගැටලු හෝ පැමිණිලි ලිඛිතව වාර්තා කිරීමට වට්ස්අප් අංකයක් හා ඊ-මේල් ලිපිනයක් හඳුන්වා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයට ලිපියක් මඟින් පැමිණිලි කිරීමටත් අවස්ථාව සකස් කර තිබෙනවා. මේ ලැබෙන පැමිණිලි විමර්ශනය කර ඒ සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.

(v) ඔව්. 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට සාම විනිසුරු පත්වීම් ලබාදීමේ දී පත්වීම් ලබන සාම විනිසුරුවන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දෙනු ලබයි.

(vi)   අදාළ නොවේ.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks