01

E   |     |  

 දිනය: 2024-08-08   පිළිතුර ලබා දී ඇත 

2087/2024: 2022, T-20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලියේදී වූ සිදුවීම් විමර්ශනය කිරීමේ කමිටුව: නිර්දේශ

----

අසන ලද දිනය

2024-08-08

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      

                        i.      විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය - (සභාපති)

                        ii.     විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා - (සාමාජික)

                        iii.    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා - (සාමාජික)

                        iv.    විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා - (සාමාජික)

                        v.     ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මහතා - (සාමාජික)

(ii) i. ධනුෂ්ක ගුණතිලක මහතා (ක්‍රීඩක)

චෝදනාව - ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම.

ii. චාමික කරුණාරත්න මහතා (ක්‍රීඩක)

චෝදනාව - ඕස්ට්‍රේලියාවේ නවාතැන් ගත් හෝටල් කාමරය තුළ පහනක් දැල්වීම හා කැසිනෝ ශාලාවකදී පුද්ගලයෙකු සමඟ ඇති කරගත් ආරාවුල.

iii. වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසෙ සහ අෂේන් බණ්ඩාර (ක්‍රීඩක)

චෝදනාව - හෝටලයට පැමිණිය යුතු නියමිත කාල සීමාව වූ රාත්‍රී 11.45 වේලාව කඩ කරමින් පසුදින උදෑසන 12.35ට පැමිණ ඇත.

iv. මහේල ජයවර්ධන මහතා (නිලධාරි)

චෝදනාව - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් ඕස්ට්‍රේලියාවට ගොස් එහි 'මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්' නම් අවන්හල විවෘත කර තිබීම.

v. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව

චෝදනාව - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් නිලධාරින් දහසයදෙනෙකු තරග සංචාරය සඳහා සහභාගි වී ඇත්තේ, 'ඕස්ට්‍රේලියා ගමන සඳහා වන වියදම් අවම මට්ටමකින් පවත්වන ලෙසට' ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට දැනුම් දී ඇති අවස්ථාවකදීය.

vi. ජෙරොම් ජයරත්න මහතා (නිලධාරි)

චෝදනාව - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් මොහු ඕස්ට්‍රේලියාවේ උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සහ තරග නැරඹීම සඳහා ගිය බව පැවසුවත් මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම තනතුරු නොදැරූ බව හා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි පමණක් වන බවට කරුණු අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් ගත් තීරණයකට අනුව මොහු දින 10ක් ඕස්ට්‍රේලියාවේ සංචාරය කර ඇත. සංචාරය පුරාවට ඔහු කිසිදු රාජකාරි කටයුත්තක යෙදී නොමැත.

vii. ලියනගේ ලසන්ත සදානන්ද වික්‍රමසිංහ මහතා (නිලධාරි)

චෝදනාව - අයි.සී.සී. ආයතනය විසින් කළ ආරාධනයක් පරිදි, මූල්‍ය ප්‍රධානීන්ගේ කමිටු රැස්වීමට සහභාගි වීම සඳහා ගියද, මොහු ඒ සඳහා එම කමිටු රැස්වීම ඇරඹීමට දින 10කට ප්‍රථම ඕස්ට්‍රේලියාවට ගොස් තිබීම සහ ඔහු ලබාගෙන ඇත්තේ ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍රයක් නොව පළමු පන්තියේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් වීම.

viii. මලික් ෂවීර් මහතා (නිලධාරි)

චෝදනාව - 2022 අයි.සී.සී. T-20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලියට උපහාර පිදීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කර තිබූ නිල උත්සවය සඳහා පිළියෙල කළ රාත්‍රී භෝජන සංග්‍රහයේදී, මොහු විසින් ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමක් සිදු කර ඇති නමුත්, ඉන් ලැබුණු ආදායම් සම්බන්ධයෙන් වූ ගිණුම් ලබා දී නොතිබීම.

(iii)

  • ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාට විනය විරෝධී ක්‍රියාවන් සඳහා දෙනු ලබන දඬුවම, සියලුම ක්‍රීඩකයන්ට විනය ගරුකවීමේ සහ ස්වයං පාලනයේ වැදගත්කම ලබා දෙන දඬුවමක් විය යුතු බවට නිර්දේශ කර ඇත.
  • චාමික කරුණාරත්න ක්‍රීඩකයාට අදාළ සිද්ධීන්වලට දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද පරීක්ෂණයක් සිදුකොට දඬුවම් නියම කර ඇති බැවින් තවදුරටත් ඔහුට දඬුවම් ලබා නොදිය යුතු බවට නිර්දේශ කර ඇත.
  • 'බොර්න් අගේන්' ආගම හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන හෙයින්, ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බව‍ට නිර්දේශ කර ඇත. 
  • 2022 අයි.සී.සී. T-20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලියට අදාළ සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් සිදු කිරීමට නිර්දේශ කර ඇත.
  • එසේ විගණනය සිදු කිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් කිරීමට හෝ සැඟවීම වළකාලීමට පියවර ගැනීමට නිර්දේශ කර ඇත.
  • අනතුරුව, ඉදිරියටත් කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිත කළ සහ ඊට ආධාර උපකාර කළ සියලුදෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධි විශ්වාසය කඩ කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය යනාදී චෝදනා/චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මඟින් කටයුතු කළ යුතු බවට නිර්දේශ කර ඇත.
  • 1973 අංක: 25 දරන ක්‍රීඩා පනතේ 32(අ), (ආ) සහ (ඈ) වගන්තිවලට අනුව පහත දැක්වෙන අයුරින් ක්‍රියා කළ හැකි බවට,

32(අ) සංගමයේ නිලධාරින්ගේ හෝ සාමාජිකයන්ගේ දූෂණ විෂමාචාරතා හෝ අක්‍රමිකතා යමක් සඳහා ප්‍රතිකර්ම  යොදන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිත නිවේදනයන් මඟින් දැනුම් දෙනු ලැබූ විට ඒ නිවේදනයේ සඳහන්ව තිබිය හැකි කාලය තුළ දී එසේ ප්‍රතිකර්ම යෙදීමට අපොහොසත්වීම හෝ ප්‍රතිකර්ම යෙදීම නොසලකා හැරීම නිසා හෝ,

(ආ) අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා අකර්මණ්‍යව සිටීම සහ සහයෝගය නොදීම හෝ අවහිර කිරීම නිසා හෝ

(ඇ) සංගමයේ යුතුකම් හා කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම නිසා ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම ශක්තිමත් කිරීම හෝ එහි ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම අමාත්‍යවරයාට සිදු කළ හැකි බවට නිර්දේශ කර ඇත.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී, විශ්වසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිත කිරීම/දූෂණ වළකාලීම පිණිසත්, වෙනත් ආයතන සමඟින් ක්‍රිකට් ආයතනය ගිවිසුම්වලට එළඹීමේදී ද, විකිණීම් සහ මිලදී ගැනීම්වලදී ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු බවට නිර්දේශ කර ඇත.
  • විශේෂයෙන් ජාත්‍යන්තර තරගාවලියකට පිටත් වීමට පෙර සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිපැදිය යුතු විනය, ආචාර ධර්ම සහ වාර්ෂික ගිවිසුම් පිළිබඳව වැඩමුළුවක් පවත්වා, සෑම ක්‍රීඩකයෙක්ම එය තේරුම් ගත් බවට වෙන් වෙන් වශයෙන් ලිඛිතව අත්සන් ගැනීමෙන් සහ එය උල්ලංඝනය සිදු කරනු ලබන සෑම ක්‍රීඩකයෙකුටම නියමිත දඬුවම ලිහිල් නොකොට ලබා ‍දීමට නිර්දේශ කර ඇත.
  • රාත්‍රී ආහාර ගැනීමට යැයි ක්‍රීඩකයින් කැසිනෝශාලාවලට ගියද, එම පරමාර්ථය පමණක් ඉටු නොකරමින්, විනය වි‍රෝධී ක්‍රීඩාවක් වූ කැසිනෝ ක්‍රීඩාවෙහිද යෙදෙන බවට පමණක් නොව අනවශ්‍ය ආරාවුල්වලටද යොමු විය හැකි බවට ද තොරතුරු පවතින බැවින්, ක්‍රීඩකයින් කැසිනෝ ශාලාවලට යාම තහනම් කිරීමට නිර්දේශ කර ඇත.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයන් සියලුදෙනාටම සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඉතා දැඩි නීති පැනවිය යුතු වීම සහ එය කඩ කරන ක්‍රීඩකයින්ට දැඩි දඬුවම් දිය යුතු බවට නිර්දේශ කර ඇත.
  • විනය විරෝධී ක්‍රියා සඳහා දෙන දඬුවම් එලෙසම ක්‍රියාත්මක විය යුතු බවත්, බාහිර බලපෑම් නිසා දඬුවම් වෙනස් නොවිය යුතු බවත්, එසේම ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තේරීම් කමිටුවට කිසිදු බාහිර බලපෑමක් නොතිබිය යුතු බවට නිර්දේශ කර ඇත.
  • විදේශ සංචාරයක් තුළදී ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වසර 2016 වනතෙක් අවසර දී තිබූ නමුත් දැනට එය නවතා ඇත. පළමු සතියෙන් පසුව ක්‍රීඩකයින්ට ලබා දී ඇති හෝටල් කාමරයේම බිරින්දෑවරුන් තබා ගැනීමට අවසර දීමෙන් ක්‍රීඩකයන්ට මානසික සහනයක් ලබා ගැනීමට පමණක් නොව, රාත්‍රී කාලයේදී අනවශ්‍ය ගමන් බිමන් යාම වැළකීමද පමණක් නොව, අවිවාහක ක්‍රීඩකයන් ද මෙමඟින් හෝටලයෙන් පිටව යාමේ ප්‍රවණතාව ද අඩුවී යාම සිදු වන බැවින්, ක්‍රීඩකයින්ට ඔවුන්ගේ වියදමින් බිරින්දෑවරුන් රැගෙන යාමට අවසර දීම සුදුසු බවට නිර්දේශ කර ඇත.
  • ජාතික කණ්ඩායම් භාර කළමනාකරු සහ කණ්ඩායම් නායක නිසියාකාරව කණ්ඩායම පාලනය කිරීමේ හැකියාවක් සතු පුද්ගලයෙකු විය යුතු බවට නිර්දේශ කර ඇත.
  • වර්තමානයේ පාර්ශ්වයන් අතර පවතින මතභේද හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට වන අහිතකර බලපෑම වළකාලීමට කටයුතු කරමින්, දෙපාර්ශ්වයම එක්ව අනාගතයේදී කටයුතු කිරීම ඉතා වැදගත් බවටත්, ඉහළම මට්ටමේ ක්‍රීඩා කරන සමාජවලට වැඩි ඡන්ද බලයක් දිය යුතු බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට අඩු දායකත්වයක් /දායකත්වයක් නොමැති අයට ඡන්ද බලයක් නොදිය යුතු බවට නිර්දේශ කර ඇත.
  • දැනට පවත්වාගෙන යන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තේ‍රීමේදී අනුගමනය කරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සංශෝධනය කර අනෙකුත් ජාත්‍යන්තර කණ්ඩායම් අනුගමනය කරනු ලබන ඉහළ මට්ටමේ ශාරීරික යෝග්‍යතා හඳුන්වාදීම මඟින්, තරගයකදී හෝ තරගාවලියකදී ආබාධ නොමැති/ඉතා අවම ක්‍රීඩකයින් යොමු කළ යුතු බවට නිර්දේශ කර ඇත.
  • දැනට තේරී පත්ව සිටින දෙවන පෙළ හා තෙවන පෙළ කණ්ඩායම්වලට ද ඉහත ක්‍රියාදාමය අනුගමනය කර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඉතා ශක්තිමත් දෙවන පෙළ හා තෙවන පෙළ කණ්ඩායම් දෙකක් සාදා ගත යුතු බවට නිර්දේශ කර ඇත.
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට වි‍ශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයන් සෙවීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම වැඩමුළු පවත්වා දක්ෂ පිතිකරුවන්, වේග පන්දු යවන්නන්, විශේෂ දඟ පන්දු යවන්නන් සහ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් තෝරා ගැනීමට නිර්දේශ කර ඇත.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව තනතුරක් ලෙස 'ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු' පත්කර සියලුම මට්ටමේ සිටින කළමනාකරුවන් වන, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම, ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් මෙම තනතුර යටතට පත් කරමින්, සෑම කළමනාකරුවෙකුටම තරගාවලියකට පෙර සහ පසු කළ යුතු ක්‍රියාකාරකම් සඳහා උපදෙස් ලබා දීමට කටයුතු කිරීමට නිර්දේශ කර ඇත.
  • දැනට පවතින දේශීය පළමු පෙළ ක්‍රීඩා සංගම් ප්‍රමාණය 10කට පමණ සීමා කර, එමඟින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට, දෙවන පෙළ සහ තෙවන පෙළ කණ්ඩායම්වලට තෝරා ගැනීමට නිර්දේශ කර ඇත.
  • ක්‍රිකට් ක්‍රීඩක සංචිත තෝරා ගැනීමේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තෝරා ගැනීම්වලට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සහභාගිත්වය නැවතත් ලබා ගැනීමට නිර්දේශ කර ඇත.

(iv) i. මෙම වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික උපදෙස් හා නිර්දේශ විමසා ගරු නීතිපතිතුමා වෙත 2023.01.18 දිනැති ලිපිය යොමු කර ඇත.

ii. නීතිපති උපදෙස් ලබා දී නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2023.01.27 දිනැති ලිපිය ඉදිරිපත් කර ඇත.

iii. නීතිපති උපදෙස් අනුව එම වාර්තාව විගණකාධිපතිතුමා වෙත 2023.01.18 දිනැති ලිපිය මඟින් ද, ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපතිතුමා වෙත 2023.01.26 දිනැති ලිපිය මඟින් ද යොමු කර ඇත.

iv. මෙම වාර්තාව ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත 2023.10.03 දිනැති ලිපිය මඟින් යොමු කර ඇත.

ඉහත "2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ T-20 ලෝක කුසලානය (පිරිමි) තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණනය" සම්බන්ධව විගණකාධිපති විසින් නිකුත් කරන ලද විගණන වාර්තාව පිළිබඳව වැඩිදුරටත් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස මා විසින් ඉල්ලීමක් 2023.12.21 දින සිදු කරන ලද නමුත් විගණකාධිපතිවරයාගේ විගණන නිරීක්ෂණයන් හා විගණන නිර්දේශයන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මේ වනවිට අවසන්ව ඇති බැවින් තවදුරටත් වෝහාරික විගණනයක් අවශ්‍ය නොවන බවට හා වැඩිමනත් වශයෙන් අවශ්‍ය වේ නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වෙත යොමු කිරීම සුදුසු බව විගණකාධිපති විසින් දන්වා එවා ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks