E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

2074/2024: යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති: ප්‍රවර්ධනය

2074/2024

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       විදේශීය ආයෝජන මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ව්‍යාපෘතියේ වටිනාකම සහ ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ඒකක සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)          (i) 

 

අංක

ව්‍යාපෘතිය/පිහිටි ස්ථානය/ වර්ගය

ධාරිතාව (මෙගාවොට්)

දළ වශයෙන් ව්‍යාපෘතියේ වටිනාකම (ඇමෙරිකානු ඩොලර් මිලියන)

අපේක්ෂිත වාර්ෂික බලශක්ති උත්පාදනය (ගිගාවොට් පැය)

විශේෂ කරුණු

1.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය

250

   312.5

   920

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි එස්.එල්. ලිමිටඩ් සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිතය.

2.

පුනරින් සුළං බලාගාර ව්‍යාපෘතිය

234

   292.5

   820

 

3.

පූනකරි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය (මෙගාවොට් පැය 750ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත)

700

1,700

1,100

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් එනර්ජි සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිතය.

4.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

 50

     43

    80

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් 50:50 හවුල් ව්‍යාපෘතියක් වශයෙන් මෙයට අරමුදල් යෙදවීමට නියමිතය.

5.

මෙගාවොට් 100 සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

100

   106

  219

සිංගප්පූරු සමාගමක් සහ ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් විසින් අරමුදල් යොදවා ඇත.

6.

මෙගාවොට් 100 ඔඩ්ඩමාවඩි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

100

   108

  217

විදේශීය බැංකුවලින් ආධාර ලබමින් දේශීය සමාගමක් විසින් කටයුතු පවත්වා ගෙන යාමට නියමිතය.

ii)               

                a.      පුනර්ජනනීය බලශක්ති පද්ධතියට එක්කර ගැනීම යටතේ වසර 2030 වන විට ඇති විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් ලබා ගැනීමත් 2050 වර්ෂයේදී කාබන් නිෂ්ක්‍රියකරණය - Carbon Neutralization - තත්ත්වය ළඟා කර ගැනීමටත් රජය මඟින් ඉලක්ක           කර ඇත.

                b.      2021 වසරේදී කැඳවන ලද අභිලාෂ ප්‍රකාශ කිරීම් යටතේ ඉදිරිපත් වූ ආයෝජන ව්‍යාපෘති (මෙගාවොට් 50 හෝ ඊට වැඩි වශයෙන් යෝජිත ව්‍යාපෘති) 09ක් සඳහා අභිප්‍රාය ලිපි - LOI - නිකුත් කරන ලදී. මෙම ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් පාදක ගාස්තු සම්බන්ධයෙන් සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණ ඇත. මෙම ව්‍යාපෘතිවලට රජයේ සහාය ලබා දීම වෙනුවෙන් ස්වෛරීත්ව ඇපකර නිකුත් කර නොතිබුණද, සුරක්ෂණයක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් නිකුත් කෙරේ.

c. මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා සුදුසු ව්‍යාපෘති භූමි හඳුනා ගෙන ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම හා මූලික සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සුදුසු ආයෝජකයින් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළින් තෝරා ගෙන ව්‍යාපෘති සංවර්ධනය කිරීම. ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සහාය ඇතිව හඳුනා ගත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 09ක් සංවර්ධනය කිරීම සඳහා වන මූලික පියවර ගෙන ඇත. කෙසේ නමුත් මෙම ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියට යොමු කිරීමටත් එම ව්‍යාපෘතිවල ඒකක පිරිවැය අඩු කිරීමටත් අවශ්‍ය වගකීම් පහසුකම් - Guarantee facility - ලෝක බැංකුව මඟින් ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.

d. එමෙන්ම පුනර්ජනනීය බලාගාර වැඩි වශයෙන් පද්ධතියට එක්කර ගැනීමේ දී තාක්ෂණික ගැටලු මඟ හරවා ගැනීම තුළින් පද්ධතියට අවශ්‍ය බැටරි ගබඩා පහසුකම් එක් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී. මේ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත  කරුණු ඉදිරිපත් කර ඇත.

e. පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට අවශ්‍ය සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනයට ද මේ වන විට කටයුතු කරමින් පවතී. මේ සඳහා ආයෝජන හඳුනා ගැනීමේ ක්‍රමවේද සොයා බලා ඇත. සංවර්ධන ආයතනවල අරමුදල්, පෞද්ගලික ආයෝජන මේ සඳහා යොදා ගනු ඇත.

f. ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා විභවතාවක් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඒවා සිතියම්ගත කර අවසන් කර ඇත.

g. පෞද්ගලික අංශයේ ආයෝජකයින් විසින් සිදු කරනු ලබන මෙගාවොට් 10 හෝ මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා කාර්යසාධනය පාදක කරගත් - performance-based - නව ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති අතර එමඟින් ව්‍යාපෘති ආරම්භයේ සිට ජාතික පද්ධතියට එක් කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය අවම කාල සීමාවකින් සිදු කර ගැනීමට අපේක්ෂා කර ඇත.

h. අමාත්‍යාංශ මට්ටමින් දායකත්වය ලබා ගනිමින් ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම.

i. පියසි මත ඉදිකරනු ලබන සූර්ය බල ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා සූර්ය බල සංග්‍රාමය වැඩසටහන හඳුන්වා දී ඇති අතර ඒ සඳහා අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් මඟින් පමණක් ප්‍රමිතියකින් යුත් සූර්ය බල ව්‍යාපෘති සංවර්ධනය කළ හැකි පරිදි නියාමනය කිරීම.

j. පියසි මත ඉදිකරනු ලබන සූර්ය බල ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණ නිපුණතාවකින් යුත් වෘත්තීය තාක්ෂණවේදින් බිහි කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

k. රාජ්‍ය ආයතන ගොඩනැඟිලි මත හා ආගමික ස්ථානයන්හි පියසි මත ඉදිකරනු ලබන සූර්ය බල ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීම.

l. ගෝලීය නව තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති නියමු ව්‍යාපෘති සංවර්ධනය කිරීම (උදාහරණ - පාවෙන සූර්ය බල ව්‍යාපෘති)

m. ශ්‍රී ලංකාවේ සාගර ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ හැකි - offshore - සුළං බලාගාර සඳහා වන මූලික අධ්‍යයන සම්පූර්ණ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ, කල්පිටිය සිට මන්නාරම දක්වා වන කලාපයේ සාගරයේ ඉදිකරන සුළං බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයන ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වේ.

n. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් හරිත හයිඩ්‍රජන් - Green Hydrogen -  නිෂ්පාදන සඳහා වන මාර්ග සිතියම - Road Map - සකස් කර ඇත.

o. ශ්‍රී ලංකාවේ හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු සීමාවේ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කර‍ පෞද්ගලික අංශයේ ආයෝජනය යටතේ විශාල හරිත හයිඩ්‍රජන් - Green Hydrogen - ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මූලික සැලසුම් සකස් කර ඇත.

(ආ) සියලු තොරතුරු ඉහතින් දක්වා ඇති බැවින් අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks