පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2073/2024
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ/නියාමන සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිර්දේශ/නියාමන කවරේද;
(iii) විදුලි ගාස්තු අඩු කිරීමේ ක්‍රමවේදය තාර්කික නොමැති බවත්, එහිදී මහජන අදහස්වලට සවන් දී නොමැති බවත් සිවිල් සංවිධාන විසින් චෝදනා කරන බව දන්නේද;
(iv) එසේ නම්, එම චෝදනා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-07
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2024 මාර්තු මස විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව - PUCSL - විසින් යොමු කරන ලද 2024.03.04 දිනැති අංක PUC/E/Tariff/01 දරන ගාස්තු සංශෝධන තීරණ දැනුම් දීමේ ලිපියට අනුව, විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් බලපත්‍රලාභින් වෙත නිර්දේශ 10ක් ලබා දී ඇත.
(ii) පහත සඳහන් නිර්දේශ ලබා දෙන ලදී.
• වැදගත් වාර්ෂික සන්ධිස්ථාන (ජාලයට අවශෝෂණය කර ගැනීමට නියමිත මෙගාවොට් ප්‍රමාණය) සමගින් 2023 වසර දක්වා වූ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මක් සකස්කොට ඉදිරිපත් කිරීම.
• ඉදිරි වසර පහ තුළ දී විදුලි ජාලයේ හානි ඇතිවීම් අවම කිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කිරීම.
• 2023 වසරේ 4 වන කාර්තුව සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන විගණනයක් පැවැත්වීමට සහ කොමිෂන් සභාව වෙත ඒ සම්බන්ධව වාර්තා කිරීම.
• බලශක්තිය සංරක්ෂණය කිරීම සහ කාර්යක්ෂමතාව දිරිමත් කිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කිරීම.
• තොග සැපයුම් ගනුදෙනු ගිණුමේ - BSTA - පූර්ණ ක්‍රියාකාරිත්වය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් - PPAs - සහ විදුලිය අළෙවි කිරීමේ ගිවිසුම් - PSAs - ස්ථාපිත කිරීම.
• තොග සැපයුම් ගනුදෙනු ගිණුමේ සෑම ගනුදෙනුවකම විස්තර සපයමින් කොමිෂන් සභාව වෙත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාසික සාරාංශය ඉදිරිපත් කිරීම.
• ඉන්ධන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්ධන සැපයුම් ගිවිසුම්වලට එළඹීම.
• මූල්‍ය පිරිවැය සාකච්ඡා කිරීමට, ප්‍රතිව්‍යුහගත කිරීම සහ අවම කිරීම.
• කොත්මලේ - නව පොල්පිටිය 220 kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය නිම කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
• නිරවද්‍ය දත්ත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිරිවැය ගිණුම්කරණ ඒකකයක් ස්ථාපිත කරනු ලැබීම.
• විදුලිය සැපයීමේ පිරිවැයේදී නාස්තිය සහ නිෂ්ඵල වියදම් ඇතිවීම අවම කිරීම හෝ බැහැර කිරීම පිණිස එබඳු වියදම් බැහැර කිරීම.
(iii) නැත. කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතට අනුව මහජන අදහස් විමසා බැලීම් සිදුකර තිබෙන අතර, විදුලිබල ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේදී සිය අදහස්, යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට සාධාරණ ඉඩ ප්‍රස්ථාවක් සලසා තිබූ බව මාගේ විශ්වාසයයි.
(iv) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ අංක 30(3)(ආ) වගන්තිය ප්‍රකාරව, අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් සහ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ගෙන් උපදේශනය ලබාගැනීමේ වගකීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පැවරී තිබේ. මෙම විධිවිධානය අනුව යමින්, 2024 මාර්තු මස ක්‍රියාත්මක කරනු ලැබූ ගාස්තු සංශෝධනය සඳහා ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලිඛිත හා වාචික අදහස්, යෝජනා කැඳවමින් පාර්ශ්වකරුවන් සඳහා උපදේශන ක්‍රියාපටිපාටියක් ආරම්භ කිරීමට 2024.01.23 දින කටයුතු කර තිබුණි.
රටේ ආර්ථික පිරිවැය සැලකිල්ලට ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේදී සිදුවන පිරිවැය අවම කර ගැනීමට කටයුතු කිරීම රජයේ අරමුණ වී තිබේ. එම තත්ත්වය තුළ, 2030 වසර වන විට විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාගැනීම අරමුණු කරමින් පුනර්ජනනීය බලශක්ති විදුලිබල උත්පාදන විදුලි ජාලයට එක් කිරීමේ ප්‍රයත්නයක් සිදු වෙමින් පවතී.
තවද, විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිණිස විදුලිබල කර්මාන්තය ආයතන වශයෙන් බෙදා වෙන් කොට විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වාදීමේ අරමුණින් නව විදුලිබල පනත් කෙටුම්පතක් සකස් කර ඇත.
(ආ) සියලු තොරතුරු ඉහතින් දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks