01

E   |     |  

 දිනය: 2024-05-07   පිළිතුර ලබා දී ඇත 

2042/2024: විශ්‍රාමික රාජ්‍ය සේවකයන්: විශ්‍රාම වැටුප් ගෙවීම

2042/2024

ගරු ලලිත් එල්ලාවල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රජයේ සේවයෙන් විශ්‍රාම ගැන‍‍්වීමෙන් පසු රජයේ සේවකයන්ට මාසික විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කිරීමට මාස දහයකට අධික කාලයක් ගතවන බවත්;

(ii) එම ප්‍රමාදය හේතුවෙන් ඇතැම් රජයේ සේවකයන් සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලැබීමට පෙර මිය යන අවස්ථා ඇති බවත්;

(iii) එම ප්‍රමාදය රජයේ සේවකයන්ට කරනු ලබන දැඩි අසාධාරණයක්  බවත්;

  එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ප්‍රමාදයට හේතු කවරේද;

(ii) එම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා  මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

(iii) එම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-05-07

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය  සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)      (i), (ii)      සහ (iii)

                        පිළි නොගනිමි.

                        රජයේ සේවයෙන් විධිමත් පරිදි විශ්‍රාම ගන්වනු ලැබූ නිලධරයකු වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ගෙවීම සඳහා එම නිලධාරියා අවසන් වරට සේවය කරන ලද ආයතනය විසින් නිලධරයාට අදාළ විශ්‍රාම වැටුප් අයදුම්පත මාර්ගගතව (online) විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2015 හා එහි සංශෝධන අනුව ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ නම්, එම අයදුම්පත දින 03ක් ඇතුළත පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුව විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණයට විශ්‍රාමිකයා කැඳවීම සිදු කරනු ලබයි. සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ මාසයට පසු මාසයේ සිට විශ්‍රාමිකයාට විශ්‍රාම වැටුප ගෙවීමට හැකි වන පරිදි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය විධිමත්ව සැලසුම් කර ඇත. මෙම අයදුම්පත විශ්‍රාමිකයා විශ්‍රාම යෑමේ දිනට පෙර, දින 90 සිට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි මාර්ගගත (online) පද්ධතිය සකස් කර පහසුකම් සලසා ඇති බැවින්, අයදුම්පත අප්‍රමාදව ඉදිරිපත් කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමකි.

විශ්‍රාමික නිලධාරින්ට අදාළ විශ්‍රාම වැටුප් අයදුම්පත් එම නිලධරයන් අවසන් වරට සේවයේ යෙදී සිටි ආයතන විසින් නියමිත ලිපි ලේඛන සමඟ නිවැරදිව ඉදිරිපත් නොකරන අවස්ථාවලදී පමණක් අදාළ අඩු පාඩු සම්පූර්ණ කර ගැනීමෙන් පසුව විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අමතර කාල සීමාවක් ගතවීම සිදු වේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කඩිනමින් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රියා කිරීමට උපදෙස් නිකුත් කර ඇති බැවින්, එවැනි ප්‍රමාදවීම් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර ගැනීමට හැකියාවක් නොමැත.

(ආ) (i) 2022 වර්ෂයේදී රජයේ ප්‍රතිපත්ති තීරණ අනුව අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම සහ නැවත අවුරුදු 60 දක්වා පහළ දැමීම සිදු විය. ඒ හේතුවෙන් 2022.12.31 දිනට විශාල පිරිසක් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කරන ලදී. එකවර රාජ්‍ය සේවයෙන් විශාල පිරිසක් විශ්‍රාම ගැනීම හේතුවෙන් හා ඔවුන්ගේ අයදුම්පත් විශාල ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා යම් ප්‍රමාදයක් පසුගිය මාස කිහිපය තුළ සිදු වූ බව නිරීක්ෂණය වී ඇත.

ඊට අමතරව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැර වූ පහතින් සඳහන් කරන කරුණු විශ්‍රාම වැටුප් ගෙවීම ප්‍රමාද වීම සඳහා හේතු වන බව නිරීක්ෂණය වී ඇත.

  • නිලධරයා අවසන් වරට සේවය කළ ආයතනය මඟින් විශ්‍රාමිකයාගේ අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම ප්‍රමාද වීම.
  • විශ්‍රාමිකයන්ගේ පෞද්ගලික ලිපිගොනු යථාවත් නොකිරීමත්,  වැටුප්, උසස්වීම්, අන්තර්ග්‍රහණ ගැටලු නිරාකරණය කිරීම විශ්‍රාම යෑමෙන් පසුව සිදු කිරීම හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම.
  • විශ්‍රාමිකයාගේ විශ්‍රාම අයදුම්පත හා අදාළ ලියකියවිලි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමේදී විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2015 හා එහි සංශෝධන මඟින් දැනුම් දී ඇති විධිවිධානයන්ට පටහැණිව අඩු පාඩු සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් අයදුම්පත් වරින් වර ප්‍රතික්ෂේප කිරීමට සිදු වීම.

(ii) · විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා සිදු වන ප්‍රමාදයන් අවම කිරීම සඳහා විශ්‍රාම                   වැටුප් දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතනයන්හි විෂය භාර නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හා ආයතනගතව පැවැත්වීමට කටයුතු කර ඇත.

· විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත විමධ්‍යගත ක්‍රමවේදය ඔස්සේ ලැබෙන අයදුම්පත් කඩනමින් පරීක්ෂා කර අවසන් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ වෙනත් අංශවල නිලධරයන්ගේ සහභාගිත්වයෙන් අභ්‍යන්තර වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

· ප්‍රථම විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය මාලිගාවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, මාතර හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යන්හි පිහිටි සත්කාර පියස ප්‍රාදේශීය මධ්‍යස්ථාන මඟින්ද පැවැත්වීම මඟින් විශ්‍රාමිකයන්ගේ ප්‍රථම විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

(iii) ඉහත (ආ) (ii) යටතේ සඳහන් කර ඇති සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

(iv) මේ වන විටත් ක්‍රියාත්මක කර ප්‍රමාදවීම් අවම කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks