01

E   |     |  

 දිනය: 2024-07-09   පිළිතුර ලබා දී ඇත 

1995/2024: ගිනිකොනදිග තැනිතලාවේ ජල හිඟය: විසඳුම්

----

අසන ලද දිනය

2024-07-09

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, වාරිමාර්ග අමාත්‍යතුමිය වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

                        හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසය යට‍තේ පාලනය වන වලව දකුණු ඉවුර, වලව වම් ඉවුර හා මවුආර ව්‍යාපාරයන්හි 2023 යල කන්නයේ කිසිදු වගා හානියක් වාර්තා වී නොමැත.

                        උඩවලව කලාපයේ හෙක්ටෙයාර 2,596ක බිම් ප්‍රමාණයකට වගා හානි වීමක් සිදු වූ අතර, ඒ සඳහා පහත හේතූන් බලපාන ලදී.

  • 2023 යල කන්නය සඳහා ගන්නොරුවේ පැවැති ජල කළමනාකරණ කමිටු රැස්වීමේදී පවතින ජල ධාරිතාව සහ අපේක්ෂිත ජල ගලනය සලකා බලා ලබා දුන් නිර්දේශවලට වඩා වගා බිම් ප්‍රමාණයේ වැඩි වීමක් සිදු වී ඇත. ඒ අනුව සැලසුම් කළ වගා බිම් ප්‍රමාණය වී හෙක්ටෙයාර 10,944ක් ද, වෙනත් භෝග හෙක්ටෙයාර් 12,312ක් ද වූ නමුත්, වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 11,100ක් හා වෙනත් බෝග හෙක්ටෙයාර් 16,148ක් වශයෙන් සමස්තයක් ලෙස හෙක්ටෙයාර 3,992ක් ලෙස වැඩි වීමක් සිදු වී ඇත.
  • ජුනි, ජුලි, අගෝස්තු මාසවල අපේක්ෂිත වර්ෂාපතනයද, උඩවලව කලාපයට නොලැබුණු අතර, එබැවින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි වාරි ජල ප්‍රමාණයක් ජලාශයෙන් නිකුත් කිරීමට සිදුවිය. මේ හේතුවෙන් කන්නයේ අවසාන ජල මුර සඳහා ප්‍රමාණවත් පරිදි වාරි ජලය නිදහස් කිරීමට නොහැකි විය.
  • විදුලිබල පද්ධතියේ පැවැති සීමාකාරී තත්ත්වයන් නිසා සමනල වැව ජලාශයෙන්ද අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීමට අපහසු විය.

කිරම ඔය කලාපය තුළ 2023 යල කන්නයේ වගා කළ සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 1,686කි. වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන කිරම ඔය / කොංගල්ආර ව්‍යාපාරයේ 2023 යල කන්නයේ මුල් භාගයේ ඇති වූ නියං තත්ත්වය හේතුවෙන් ගොයම් පීදීමට කල් ගතවූ අතර, ඉන් පසුව ලැබුණු අධික වර්ෂාව නිසා ජල ගැලීම් හේතුවෙන් හෙක්ටෙයාර 356ක පමණ අස්වනු නෙළා ගැනීමට නොහැකි වීමෙන් හානි වී ඇත.

මලලආර කලාපයේ මලලආරෙන් පෝෂණය වන වැව් හා ගොවි බිම් රැසක් පවතී. මහගල්වැව, ගොන්නොරුව වැව, උදාන වැව, වීරසිංහ වැව, පන්වැව, වීරිය වැව, මහහැඩිල්ල වැව, අන්දරවැව ආදී වැව් හා මලලආරෙන් අන්දරව වැවට ජලය ගෙනෙන පෝෂිත ඇලෙන් පෝෂණය වන දිමුතුගම, රණවරණාව හා මව්සිරිගම ආදී ගොවිබිම්ද පවතී. මෙම මලලආර කලාපයේ ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 1,700ක් වන අතර, ඉන් 2023 යල කන්නයේ වගා කළ කුඹුරු අක්කර ප්‍රමාණය 1,550ක් පමණ වේ.

2023 යල කන්නයේදී නියඟය හේතුවෙන් දැඩිම බලපෑමකට ලක්වූයේ මලලආරෙන් පෝෂණය වන පන්වැව ආශ්‍රිත කුඹුරු බිම් වේ. අක්කර 60කට වඩා කුඹුරු බිම් නියඟය හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය. සිදු වූ වගා හානි සඳහා ගොවීන් 42කට වන්දි ලැබී ඇත.

(ii) ඔව්.

පැරණි වාරි සංරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර පහත පරිදි වේ.

  • කිරම ඔය අවහිරතා ඉවත් කර ජල බස්නාව ක්‍රමවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර, එය අවසාන අදියරේ පවතී.
  • කිරම ඔය දංකැටිය ආසන්නයේ කැඩී ගොස් ඇති ගං ඉවුර නවීකරණය කිරීමට ප්‍රතිපාදන ලැබී ඇත.
  • එමෙන්ම, කිරම ඔය කලාපය තුළ මෙහෙයුම් නඩත්තු කටයුතු අනවසරයෙන් සිදු කරනු ලබන අතර, හානි වී ඇති නිර්මිත දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මඟින් පිළිසකර කිරීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම, හම්බන්තොට ප්‍රදේශයට ජලය ලබා දීම සඳහා පහත ව්‍යාපෘති පසුගිය වකවානුව තුළ ඉදිකිරීම් සිදු කර, මේ වන විට ජලය ලබා ‍දෙමින් පවතී. තවද, ගිං-නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය හා කළු ගඟ වලව ගඟට හරවා යැවීමේ ව්‍යාපෘති යෝජනා සඳහා මේ වන විට වාර්තාවන් සකසා ඇති අතර, එම යෝජනාවන් පහත පරිදි වේ.

 

1. මව්ආර ජලාශය ඉදිකර මලලආරට ජලය ලබා දීම.

2. වෙහෙරගල ජලාශය ඉදිකර ලුනුගම්වෙහෙර ජලාශය හා බඳගිරිය ජලාශයට ජලය ලබා දීම.

3. උමා ඔය ද්‍රෝණියෙන් කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ලබා දීම.

කළු ගඟ වලවේ ගඟට හැරවීමේ ව්‍යාපෘතිය යටතේ කළු ග‍ඟෙන් ජලය උඩවලව ජලාශයට ලබා දීමට යෝජනා කර ඇත. මෙම යෝජනාව සඳහා මූලික ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් 2014 දී පිළියෙල කර ඇත. මේ යෝජනාව මඟින් කුකුලේගම ජලාශය (ධාරිතාව ඝන මීටර් මිලියන 55), දෙල්වල ජලාශය (ධාරිතාව ඝන මීටර් මිලියන 0.5) හා ගාබෙලා ජලාශය (ධාරිතාව ඝන මීටර් මිලියන 2.2) ඉදිකිරීමට යෝජිත අතර, ඒ මඟින් වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 300ක් කුඩා ඔයට හරවා යැවීමෙන් උඩවලව ජලාශයට ලබා දීමට යෝජනා කර ඇත. මේ සඳහා උමං මාර්ගයන් ඉදිකළ යුතු අතර, ඒවායේ දිග කුකුලේගම සිට දෙල්වල දක්වා කිලෝමීටර 13.71ක්ද, දෙල්වල සිට ගාබෙලා ජලාශය දක්වා කිලෝමීටර 5.1ක්ද, ගාබෙලා ජලාශයේ සිට කුඩා ඔය දක්වා කිලෝමීටර 16.50ක්ද වශයෙන් වේ.

(iii) ඔව්.

ගිං-නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ශක්‍යතා අධ්‍යයන මට්ටමේ පවතින අතර, කළු ගඟ හැරවීමේ ව්‍යාපෘතිය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයන අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතීන් ශක්‍යතා අධ්‍යයන සිදු කර ඉදිකිරීම් සඳහා රජයේ ප්‍රමුඛතා හා ප්‍රතිපත්තීන් මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

(iv) මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

ගිං-නිල්වලා හැරවුම් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය CAMCS ආයතනය විසින් ඉදිරිපත් කරන ලද අතර, පාරිසරික අධ්‍යයනයද අවසාන අදියරේ පවතී. ජාතික මෙහෙයුම් කමිටුව මඟින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, ඒ අනුව තව දුරටත් වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව සිංහරාජ ‍ලෝක උරුම තත්ත්වය යට‍තේ ව්‍යාපෘතිය අනුමත කර ගැනීමට UNESCO ආයතනය සමඟ සාකච්ඡා කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය කටයුතු සිදු කරමින් පවතී.

(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks