පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-04-26
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් මහා භාණ්ඩාගාරය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන අතර, එම සමාගමට අයත් සෙවනගල කර්මාන්තශාලාවේ, සේවක මහත්ම මහත්මීන් 1,100කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර, උක් ගොවි පවුල් 3,500කට අධික සංඛ්‍යාවක් මෙමඟින් ජීවනෝපාය සලසා ගනී.
අප ආයතනයේ සේවයේ නියුතු නිලධාරි/සේවක මහත්ම මහත්මීන්ගේ පූර්ණ කැපවීම ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා බෙහෙවින් බලපාන අතර, උපරිම ඵලදායීතාවක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සුබසාධනය ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකා ආයතනය විසින් කටයුතු කරනු ලබයි.
ඒ අනුව, ආයතනයේ වර්තමාන නිලධාරි/සේවක මහත්ම මහත්මීන්හට සේවා අවශ්‍යතාව ප්‍රමුඛ සාධකයක් සේ සලකමින් ආයතනයේ සේවයේ යෙදී සිටින කාලය සඳහා පමණක් වලංගු වන පරිදි නේවාසික පහසුකම් ලබා දෙනු ලැබේ.
නමුත් මෑතක සිට වත්මන් සේවකයන් හට නිල නිවාස ලබා දීමේදී එම ආයතනයේ පාලනාධිකාරිය ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇත. මන්ද යත්, එම ආයතනයේ සේවයේ නියුතුව සිට විශ්‍රාම ගන්වන ලද හෝ සේවයෙන් ඉවත්ව ගිය පුද්ගලයන් විසින් අනවසරයෙන් සහ බලහත්කාරයෙන් එම නිල නිවාසවල රැඳී සිටීමයි.
ඒ තුළින් දැනට සේවයේ නියුතු සේවකයන් 675කට අධික පිරිසක් නිල නිවාස ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා දීමට එම ආයතනයේ පාලනාධිකාරියට නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකම අදාළ පුද්ගලයන් වෙත එම නිල නිවාස විධිමත්ව ආයතනය වෙත භාර දෙන ලෙස දන්වා සිටියද මේ වනතෙක් ඇතැම් නිල නිවාස ආයතනය වෙත භාර දී නොමැත.
මේ සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී නීති උපදෙස් ලබා ගනිමින් නීතිඥ මහතෙකුගේ උපදෙස් පරිදි ඔවුන් වෙත එන්තරවාසි යැවීමට කටයුතු කර ඇත. (ඇමුණුම 01**) නමුත් අදාළ පුද්ගලයින් ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
මේ සම්බන්ධව එම ආයතනය විසින් උපදෙස් ලබා ගත් නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ (ඇමුණුම 02**) රජයේ ගිණුම් පිරික්සීමකට යටත් රජයේ ආයතනයක් වශයෙන් තවදුරටත් මෙම අනවසර පදිංචිකරුවන්ට විදුලි සහ ජල බිල්පත් ගෙවීම ගැටලු මතු කරනු ලැබිය හැකි කරුණක් වන අතර, එසේ පහසුකම් සැපයීම මඟින් තවදුරටත් එම තැනැත්තන් එම දේපළවල -නිල නිවාසවල- රැඳී සිටීමට ව්‍යාංග අනුමැතියක්/පෙලඹවීමක් ලද සේ සැලකිය හැකි කරුණක් වන බවත්, ඒ තුළින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේදී ආයතනයට අවාසි සහගත තත්ත්වයක් උදාවන බවත් ය.
මෙම අනවසර නිල නිවාස අයත් නිවාස සංකීර්ණ අතුරින් කම්හල් නිවාස සංකීර්ණයට අයත් නිල නිවාස සඳහා විදුලිය හා ජලය ආයතනය විසින් ලබා දෙනු ලැබේ. ඩංඩුම, ගිණිගල්පැලැස්ස නිවාස සංකීර්ණයට අයත් නිල නිවාස සඳහා ජලය ආයතනයෙන් ලබා දෙනු ලබන අතර, විදුලිය ලබා දෙනු ලබන්නේ විදුලිබල මණ්ඩලය විසින් වේ. තවද මෙම නිල නිවාස සංකීර්ණ අතුරින් මකුලුවගම නිවාස සංකීර්ණය, චන්දිමාරාම නිවාස සංකීර්ණය, කටුපිලගම නිවාස සංකීර්ණවලට අයත් නිල නිවාස සඳහා විදුලිබල මණ්ඩලය මඟින් විදුලිය ලබා දෙනු ලබන අතර ජලය ලබා දෙනු ලබන්නේ ප්‍රජා ජල ව්‍යාපෘති මඟින් වේ.
වසර ගණනාවක් පුරා මෙම අනවසර නිල නිවාස සම්බන්ධ ගැටලුකාරි තත්ත්වය නිරාකරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර, මෙම අනවසර පුද්ගලයන් විසින් විදුලි බිල්පත් ද තම භාරයට ගැනීමට කටයුතු කර ඇත. ඒ සම්බන්ධව නිරන්තරයෙන් විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දීම් සිදු කළද, එය නොවිසඳුණු කරුණක් වී ඇත. (ඇමුණුම 03**)
වසර කිහිපයක් පුරා මේ සම්බන්ධයෙන් යම් සහනදායී පිළිතුරක් අදාළ නේවාසිකයන්ගෙන් බලාපොරොත්තු වුවද, එය නොලැබීම හේතුවෙන් ආයතනයේ ඵලදායීතාවට මෙන්ම සේවකයන්ගේ අප්‍රසාදයට ද පාලනාධිකාරිය පත්ව ඇත. මෙම නිවැරදි කිරීම් සිදු නොකිරීම තුළ ආයතනයේ සේවක ප්‍රජාවගේ සහ ආයතනීය වෘත්තීය සමිතිවල විවේචනයට ලක්වීමට පාලනාධිකාරියට සිදුවී ඇත.
තවද, නිරන්තරයෙන් මෙම අනවසර නිල නිවාසවල විදුලි බිල්පත්, ජල බිල්පත් මෙන්ම නිවාස කුලිය අය කර නොගැනීම හේතුවෙන් අභ්‍යන්තර විගණනයට මෙන්ම රජයේ විගණනයන්ටද පිළිතුරු සැපයීමට සිදුව ඇත. (ඇමුණුම 04 i, ii, iii**)
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වත්මන් පාලනාධිකාරිය විසින් විධිමත්ව නිල නිවාස කමිටුව යාවත්කාලීන කර, මෙම ගැටලුව විසඳා ගත යුතු බව තීරණය කර ඇත. එහි එක් පියවරක් ලෙස අනවසරයෙන් සහ බලහත්කාරයෙන් රැඳී සිටින නිල නිවාස පරීක්ෂා කර වාර්තාවක් ලබාගෙන ඇත. (ඇමුණුම 05**)
එම නිල නිවාසවල පදිංචි පුද්ගලයන්හට සහනදායී කාල සීමාවක් ලබා දෙමින්, විධිමත්ව නිල නිවාස ආයතනය වෙත භාර දෙන ලෙස දන්වමින් ලිපි යොමු කර ඇත. (ඇමුණුම 06**) එම කාල සීමාව අවසන් වුවද කිසිවෙක් මෙම නිල නිවාස ආයතනය වෙත භාර නොදෙන පසුබිමක නැවතත් නිල නිවාස කමිටුව රැස්ව මෙහි මීළඟ පියවර ලෙස මෙම සියලු අනවසර නිල නිවාසවල විදුලිය සහ ජල පහසුකම් ඉවත් කිරීමට තීරණය කරන ලද අතර, එම කාල සීමාව සඳහා එනම් මෙම පුද්ගලයන් ආයතනීය සේවා කාලය අවසන් වූ දින සිට 2023 මැයි මස වන තෙක් අදාළ නිල නිවාස කුලිය, ජල බිල්පත් සහ විදුලි බිල්පත්වල වටිනාකම සඳහන් කර ලිඛිතව ඔවුන් වෙත ලිපියක් ලබා දී ජලය සහ විදුලිය සැපයීම විසන්ධි කර ඇත. (ඇමුණුම 07**)
මෙහිදී මෙම නිල නිවාස අතුරින් කම්හල් නිල නිවාස සංකීර්ණයට අයත් සියලු අනවසර නිල නිවාසවල විදුලිය සහ ජලය යන පහසුකම් දෙවර්ගයම විසන්ධි කර ඇති අතර, ඩංඩුම සහ ගිණිගල්පැලැස්ස නිවාස සංකීර්ණයට අයත් නිල නිවාසවල ජල සැපයුම ද විසන්ධි කර ඇත. මෙම නිල නිවාස අතුරින් කම්හල් නිල නිවාස සංකීර්ණය හැර අනෙකුත් සියලු නිල නිවාස සඳහා විදුලිය ලබා දීම සිදු කරනු ලබන්නේ විදුලිබල මණ්ඩලය විසින් වන බැවින් අනවසර නිල නිවාස පිළිබඳව විස්තර ඇතුළත්ව විදුලිබල මණ්ඩලය විසින් ලබා දෙනු ලබන විදුලිය විසන්ධි කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් සිදු කර ඇත. (ඇමුණුම 08**) එම ආයතනය විසින් කරන ලද ඉල්ලීමට අනුව අදාළ නේවාසිකයන් හට එම නිල නිවාසවල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වුවහොත් දින 14ක් ඇතුළත විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය විසින් දන්වා යවා ඇත. (ඇමුණුම 09**)
තවද, විදුලිබල මණ්ඩලය විසින් මෙම නිවාසවල විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් පරීක්ෂා කර අදාළ බිල්පත් නේවාසිකයන් වෙත ලබා දීම සිදු කරන බැවින්, එම ක්‍රමවේදය සිදු නොකර ආයතනයේ සාමාන්‍යාධිකාරි වෙත සියලු විදුලි බිල්පත් ලබා දෙන ලෙසද විදුලිබල මණ්ඩලය වෙත දන්වා ඇත. (ඇමුණුම 10**)
එසේම, මෙම ඇතැම් නිල නිවාස සඳහා ජල පහසුකම් ලබා ගනු ලබන්නේ ජල සමිති මඟින් වන බැවින්, එම අනවසර නිල නිවාසවල ජල පහසුකම් විසන්ධි කරන ලෙස දන්වමින් ලිපි යොමු කර ඇත. (ඇමුණුම 11 i, ii, iii**)
තවද, මෙම නිවාසවල විදුලි පරිභෝජනය හා ජල පරිභෝජනය සම්බන්ධයෙන් එම ආයතනය වෙත ලද බිල්පත්වල සාරාංශය (ඇමුණුම 12**)
මෙම සියලු කරුණු පදනම් කර ගනිමින් නිරවුල් නොවූ නිල නිවාස 39ක ප්‍රමාණය සඳහා නීතිමය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.
(ii), (iii) 1983 ජනවාරි මස, 1957 අංක 12 දරන සංස්ථා පනත අනුව ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය යටතේ ආයතනය පිහිටුවා ඇති අතර, 1991 රාජ්‍ය සමාගමක් ලෙස "සෙවනගල සීනි කර්මාන්තායතනය" නමින් ආයතනයේ පරිපාලන ව්‍යුහය සැකසී ඇත.
1992 වර්ෂයේ "සෙවනගල ෂුගර් ඉන්ඩස්ට්‍රිස් ලිමිටඩ්" නමින් ආයතනය සීමිත සමාගමක් ලෙස ක්‍රියාත්මක කර ඇති අතර, 2002 ජූනි මස ආයතනය පූර්ණ වශයෙන් පෞද්ගලීකරණය කර ඇත. ඒ, දයා සමූහ ව්‍යාපාරය යටතේ. එම පෞද්ගලීකරණය කිරීමෙන් පසු සීනි සංයුක්ත මණ්ඩලය පැවති සමයේ තිබූ සියලු ගිවිසුම් අහෝසි කරමින් හා සංශෝධනය කරමින් ඉඩම් හා නිල නිවාස නීති ද වෙනස් කර පුද්ගලික පාලනයට ලක් කර ඇත.
2011.11.11වෙනි දින පාර්ලිමේන්තුවේ සම්මත වූ 2011 අංක 43 දරන ඌන උපයෝජිත වත්කම් හා ව්‍යවසායයන් පුනරුදය කිරීමේ පනත මඟින් ආයතනයේ කටයුතු පූර්ණ ලෙස රජයට පවරා ගෙන ඇති අතර, එය සෙවනගල සීනි කර්මාන්තායතනය නමින් ඵලදායීතා හා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර, 2012.08.24වෙනි දින සෙවනගල හා පැල්වත්ත සීනි කර්මාන්තායතනය ඒකාබද්ධ කර සමාගම් පනත යටතේ සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම ලෙස නම් කර එය ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත් කර ඇත.
එබැවින්, 2011.11.11වෙනි දිනෙන් පසුව සේවයේ නියුතු සේවකයින් සම්බන්ධයෙන් සහ ආයතනය සම්බන්ධයෙන් අදාළ තොරතුරු පමණක් එම ආයතනය සතුව පවතින අතර, ඊට පෙර කිසිදු තොරතුරක් එම ආයතනය සතුව නොමැත. ඒ අනුව සියලු ගිවිසුම් හා නීති-රීති ක්‍රියාත්මක වූයේ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ බව දන්වා සිටිමි.
පෞද්ගලික පාලනයෙන් මිදී රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමේදී පෞද්ගලික ව්‍යවසායකයන් විසින් ආයතනයේ පැරණි තොරතුරු නව පාලනාධිකාරිය වෙත ලබා දී නොමැති බවද කාරුණිකව දන්වා සිටිමි.
(ආ) (i) ආයතනය සතු කිසිදු ඉඩම් කොටසක් නීත්‍යනුකූල ලෙස කිසිදු අයෙකු වෙත පැවරුම් කටයුතු කර නොමැත.
(ii) අනවසරයෙන් සහ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත ආයතනය වෙත පවරා ගැනීම සඳහා නීතිමය කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) අනවසරයෙන් සහ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත ආයතනය වෙත පවරා ගැනීම සඳහා නීතිමය කටයුතු සිදු කරමින් පවතී.
පිළිතුරු දුන් දිනය
2024-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks