01

E   |     |  

 දිනය: 2024-07-23   පිළිතුර ලබා දී ඇත 

1918/2024: 2019 වර්ෂයේ සිට විදේශගත කාන්තා ශ්‍රමිකයන්: විස්තර

----

අසන ලද දිනය

2024-07-23

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      වර්ෂ 2019 සිට 2024 ජූනි දක්වා විදේශගත වී ඇති ශ්‍රී ලාංකික කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව 464,142ක් වේ.

              (ii)      ගෘහ සේවය   -     301,198යි.

                        වෙනත් රැකියා    -     162,944යි.

             (iii)      පුහුණු ශ්‍රමිකයන්    -     362,943යි.

                        නුපුහුණු ශ්‍රමිකයන් - 101,199යි.

(iv) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගත වන කාන්තා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පහත සඳහන් ක්‍රම සුරක්ෂිත කර ඇත.

1. මැද පෙරදිග කලාපයේ ගෘහස්ථ අංශයේ රැකියාවක් සඳහා විදේශගත වන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා විදේශ රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම හා සෙසු කාන්තා ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා දේශීය රක්ෂණාවරණය මඟින් රැකවරණය සැලසීම.

2. විදේශ රැකියාවෙහි නිරතව සිටියදී කාන්තා ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට විදේශ දූත මණ්ඩල කාර්යාලවල කම්කරු හා සුබසාධන අංශවල සේවයෙහි නියුතු නිලධාරින් මැදිහත් වීම.

 3. විදේශ රැකියාවෙහි නිරතව සිටියදී ගැටලුවලට මුහුණ දෙන කාන්තා ශ්‍රමිකයන්හට රැකවරණය සැලසීම සඳහා දූත මණ්ඩල කාර්යාලවල සුරක්ෂා නිවාස පවත්වාගෙන යෑම. Safe houses කියන්නේ ඒවාට.

 4. ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට විදේශගත වීමට පෙර පුහුණුවක් ලබා දීම.

 5. විදෙස්ගත වීමට පෙර දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරින් හරහා පවුල් පසුබිම් වාර්තා ලබා ගැනීම.

පවුල් පසුබිම් වාර්තා ලබා ගන්නවා විතරක් නොවෙයි, ඒ හදන සැලසුම - plan එක - අනුව ඔවුන් නිරන්තරයෙන් රැක බලා ගැනීම සහ ඔවුන්ගේ තොරතුරු වාර්තා කිරීමත් අපේ සංවර්ධන නිලධාරින් හරහා සිදුවනවා.

 6. අවුරුදු 02ට අඩු දරුවන් ඇති කාන්තාවන් විදෙස්ගත නොකිරීම.

 7. විදෙස්ගතවීමට කාර්යාංශයේ ලියාපදිංචි වන අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර ලබා ගැනීම සඳහා රු. 10,000ක සතොස වවුචර්පත් ලබා දීම.

ඒ කියන්නේ පළමුවරට විදේශගත වෙලා පළමු පඩිය ලැබෙනකම් ඇයගේ ගෙදර අයට රුපියල් 10,000ක වවුචරයක් පවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙනවා.

 8. විදෙස්ගත වන දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, පාසල් උපකරණ ලබා දීම.

 9. විදෙස්ගතව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා නිවාස ඉදිකර දීම.

10. විදේශගත කාන්තාවන්ගේ දූ දරුවන්ගේ විශේෂ දක්ෂතා ඇගැයීමට මූල්‍යමය දායකත්වය ලබා දීම.

11. කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින විට හෝ ලංකාවට පැමිණි පසු විදේශ රක්ෂණාවරණය මඟින් රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම.

12. විදේශගතව සිටියදී කාන්තාවන්ට සිදුවන හිරිහැර, අතවර සම්බන්ධව අදාළ ‍ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ රැකීරක්ෂා හා සුබසාධන අංශයේ නිලධාරින්ගේ නිරන්තර සොයා බැලීම් සිදුකර ගැටලු නිරාකරණය කිරීම.

13. රක්ෂණාවරණ මඟින් කාලය ඉකුත් වී ඇති බැවින් ප්‍රතිලාභ ලබා දිය නොහැකි අවස්ථාවල කාර්යාංශයේ සේවක සුබසාධන අරමුදල මඟින් ප්‍රතිලාභ ලබා දීම.

14. විදේශගත කාන්තාවන් ලංකාවට පැමිණ හෝ සිටියදී පවුලේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සමථයකට පත් කිරීම සඳහා කාර්යාංශයේ සමථ අංශය මඟින් කටයුතු කිරීම.

15. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටලු විසඳා ගැනීම සඳහා විගමනික සංගම් පිහිටුවා ගැනීම.

අපි ග්‍රාමීය වශයෙන් රට වටේම විගමනික සංගම් 6,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පිහිටුවා තිබෙනවා.

16. "මනුසවි" බහුවිධ ණය යෝජනා ක්‍රමය අපි මේ කාන්තාවන්ට හඳුන්වා දීලා තිබෙනවා‍. අවශ්‍ය ඕනෑම කර්තව්‍යයක් සඳහා අඩු පොලියට රුපියල් ලක්ෂ 25ක් දක්වා ණය ලබා දෙන්න  කටයුතු කරලා තිබෙනවා.

17. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගතව සිටින ශ්‍රමිකයන්හට රුපියල් මිලියන 2ක ණය මුදලක් කාර්යාංශයේ නිර්දේශය මත සියයට 8ක පොලියට ලබා දීම.

18. විදේශ රැකියාවක නිරතව සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩිම වාර ගණනක් ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයන්ට සතොස වවුචර්පත් ලබා දීම.

ලියාපදිංචි වාර ගණන

වවුචර්පතෙහි වටිනාකම (රුපියල්)

06

7,500.00

07

12,500.00

8 හෝ 9

20,000.00

10 හෝ 10ට වැඩි

25,000.00

 

 

 

 

19. නිවාස ණය ලබා දීම.

කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින ශ්‍රමිකයන් හට නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා රුපියල් මිලියන 10ක් දක්වා නිවාස ණය ලබා ගැනීමේ හැකියාව පවතින අතර, අදාළ පොලී මුදලින් කොටසක් කාර්යාංශය මඟින් ප්‍රතිපූරණය කිරීම. 

20. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නියුතු ශ්‍රමිකයන්ගේ කලත්‍රයා හට දිවිමඟ සාර්ථක කර ගැනීමේ අරමුණින් ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා රුපියල් 100,000ක් දක්වා ආධාර ලබා දීම.

  ඒ කියන්නේ ශ්‍රමිකයා පිටරට ඉන්නවා නම් ඒ කාන්තාව හැම දාම රට යන එක වළක්වන්න කලත්‍රයාට ලං‍කාවේ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න රුපියල් 100,000ක මුදලක් අපි  ලබා දෙනවා.

21. ඒ වාගේම විදේශ රැකියාවේ යෙදී සිට මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා කාර්යාංශයෙන් මූල්‍ය දායකත්වය ලබා දෙනවා.

එතැනදී පළමුවෙන් රුපියල් 50,000ක් ලබා දෙනවා. පසුව ඒක රුපියල් 100,000ක් වනවා. ඊට පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් තෝරා ගන්නා කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂ 10ක් දක්වා ලබා දෙනවා. ණය නොවෙයි, ආධාර වශයෙන් ඔවුන් ශක්තිමත් කරන්න තමයි රුපියල් ලක්ෂ 10ක් දක්වා ලබා දෙන්නේ. ඒ, ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කරන්න. විගමනික ශ්‍රමිකයන් හරහා ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම තමයි මෙහි අරමුණ වන්නේ.

22. විදේශ රැකියාවෙහි නිරතව සිටින ශ්‍රමිකයන්ගේ විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නත් දැන් කටයුතු කර තිබෙනවා. දැන් ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මකයි. මෙය දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් විධියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැනට ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කර තිබෙනවා.  

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks