බලන්න

04

E   |     |  

 දිනය: 2024-05-10   පිළිතුර ලබා දී ඇත 

1877/2024: මොරගහකන්ද ව්‍යාපෘතිය ආශ්‍රිත ප්‍රදේශ: වනඅලි තර්ජනය

1877/2024

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ, එම ව්‍යාපෘතිය අවට පිහිටා ඇති ගම් රැසක ජනතාව වනඅලි තර්ජනයට මුහුණ දී සිටින බව දන්නේද;

(ii) එම ගම්මානවල නම් කවරේද;

(iii) එම ගම්මානවල ජීවත් වන මේ වනවිට වනඅලි තර්ජනයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව එක් එක් ගම්මානය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම වනඅලි තර්ජනය විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-05-10

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ඔව්.

                        මොරගහකන්ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වන අලි වාසස්ථාන ලෙස පැවති අතිවිශාල බිම් ප්‍රදේශයක් මොරගහකන්ද ජලාශයට යට වීමත්, නව සංවර්ධන කලාප සඳහා ස්වාභාවික පරිසර පද්ධති එළ‍ි පෙහෙළි කර භූමි පරිභෝජන රටාව වෙනස් කිරීමත් හේතු කොට ගෙන, මාත‍‍ලේ දිස්ත්‍රික්කයේ එම ප්‍රදේශවල වාසය කළ වනඅලින්ගේ වාසස්ථාන අහිමි වීමක් සිදු විය. ඊට අමතරව මොරගහකන්ද ජලාශය සහ නව සංවර්ධන කලාප නිසා, එම ප්‍රදේශ වාසස්ථාන කොට ගත් වන අලින් වෙනත් ප්‍රදේශ කරා සංචරණය කිරීමට යොදා ගත් ස්වාභාවික මංපෙත්වල පැවැත්මට බාධා ඇති වීම හේතුවෙන් එම වනඅලින්‍‍‍ගේ සාමාන්‍ය සංචරණ රටාව  බරපතළ වෙනස්කම්වලට ලක් විය. එම තත්ත්වය  පුරෝකථනය කර අදාළ පාරිසරික ඇගයීම් ක්‍රියාවලියේදී ගැටලු සඳහා ප්‍රතිකර්ම ලෙස නිර්දේශ කර තිබූ වනඅලිමංකඩවලින් ජනතාව ඉවත් කර ඒවා නිදහස් කිරීම වැනි ක්‍රියාකාරකම් ඉටු නොකිරීම මාතලේ දිස්ත්‍රික්කයේ වන අලි මිනිස් ගැටුම තීව්‍ර වීමට හේතුකාරක විය. මේ ප්‍රදේශයේ වනඅලින්ට වූ හානි මෙන්ම, මිනිස් ජීවිත හානි, දේපළ හානි සංඛ්‍යාව සඳහන්  වාර්තාව ඇමුණුම 01 හා ‍02 මඟින් ඉදිරිපත් කරමි.

(ii) ඇමුණුම 03 පරිදි වේ. වනඅලි මිනිස් ගැටලු පවත්නා ගම්මාන ලෙස වනජීවී නිලධාරින් එම ගම්මාන හඳුනාගෙන ඇත.

(iii) ඇමුණුම 04 පරිදි වේ.

(iv) ඔව්.

  • වනඅලි තර්ජන අවම කිරීම සඳහා රජ්ජම්මන, ඇළහැර, ලග්ගල යන ප්‍රදේශ ආවරණය වන පරිදි කිලෝමීටර 121.85ක් දිගින් යුත් විදුලි වැට ඉදි කර ඇති අතර එම විදුලි වැට සිවිල් ආරක්ෂක භටයින් හා බහුකාර්ය සංවර්ධන සහායකයින් යොදවා වන අලි ගම්වලට ඒම වැළැක්වීම සඳහා නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යාම.
  • වන අලි හා මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රජ්ජම්මන, ඇළහැර, ලග්ගල යන ප්‍රදේශවල වනජීවී කාර්යාල පිහිටුවා ගම් වදින වනඅලි පලවා හැරීමට කටයුතු කිරීම.
  • ජනතාවට අලි වෙඩි ලබා දීම. (ප්‍රමාණය ඇමුණුම 05 පරිදි වේ.)

    01 සිට 05 දක්වා ඇමුණුම් සභාගත* කරමි.

  • පීඩාකාරී වනඅලි අල්ලා ඉවත් කිරීම. (2018 සිට 2024 දක්වා කාලය තුළ වනඅලි 10ක් අල්ලා ඉවත් කර ඇත. එම කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල වනඅලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා සංවිධානාත්මක වනඅලි පලවා හැරීම් 09ක් ද, පැමිණිලි ලැබෙන ආකාරයට නිරන්තරවම ද වනඅලි පලවා හැරීම් ද සිදු කර ඇත. වනඅලි පලවා හැරීම් 06ක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ක්ෂේත්‍රයෙන් යෝජනා ලැබී ඇත.)
  • ජනතාව දැනුවත් කිරීම. (මාතලේ දිස්ත්‍රික්කය තුළ දැනුවත් කිරීමේ ප්‍රධාන වැඩසටහන් 5ක් සිදු කර ඇත. ඊට අමතරව, වනජීවී නිලධාරින් සහභාගි වන සාකච්ඡා, රැස්වීම් සහ සම්මන්ත්‍රණවලදී අදාළ පරිදි ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත.)
  • වන අලින්ගේ ආහාර සුලභ කිරීම සඳහා වාසස්ථාන සුපෝෂණ කටයුතු වස්ගමුව ජාතික උද්‍යානය හා අංගම්මැඩිල්ල ජාතික උද්‍යානවල සිදු කර ඇති අතර, ඉදිරියට ද සිදු කිරීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks