01

E   |     |  

 දිනය: 2024-05-10   පිළිතුර ලබා දී ඇත 

1728/2024: පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස: ගුරු පුරප්පාඩු

1728/2024

ගරු ජගත් ප්‍රියංකර මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවායේ නම් කවරේද;

            (iii)       එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ ඇති ජාතික පාසල් හා පළාත් සභා පාසල් සංඛ්‍යාව සහ ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂයය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) එම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙ‍ම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-05-10

අසන ලද්දේ

ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස සංඛ්‍යාව 9කි.

              (ii)      1.    ආණමඩුව

                         2.    ආරච්චිකට්ටුව

                        3.    හලාවත

                        4.    කල්පිටිය

                        5.    නාත්තන්ඩිය

                        6.    පල්ලම

                        7.    පුත්තලම උතුර

                        8.    පුත්තලම දකුණ

                        9.    වෙන්නප්පුව

            (iii)      එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ ඇති පළාත් පාසල් හා ජාතික පාසල් සංඛ්‍යාව පහතින් දක්වා ඇති අතර ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් පිළිවෙළින් ඇමුණුම 01 හා ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.

අනු අංකය

කොට්ඨාසය

ජාතික පාසල්

පළාත් සභා පාසල්

එකතුව

1

ආණමඩුව

-

41

41

2

ආරච්චිකට්ටුව

-

21

21

3

හලාවත

2

45

47

4

කල්පිටිය

1

43

44

5

නාත්තණ්ඩිය

1

47

48

6

පල්ලම

-

30

30

7

පුත්තලම උතුර

2

53

55

8

පුත්තලම දකුණ

-

43

43

9

වෙන්නප්පුව

1

42

43

මුළු එකතුව

7

365

372

(iv) එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු එක් එක් විෂය අනුව ඇමුණුම 03 මඟින් ද, ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු එක් එක් විෂය අනුව ඇමුණුම 04 මඟින් ද ඉදිරිපත් කර ඇත.

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

(v) I. අංක අමප/23/1139/607/096 හා 2023.07.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ජාතික හා පළාත් පාසල්වල අ.පො.ස.  උසස් පෙළ ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය, විදේශ භාෂා, විශේෂ අධ්‍යාපනය හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වූ අත්‍යවශ්‍ය විෂයයන් 46ක පවතින පුරප්පාඩු 5,450ක් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අනුමැතිය ලැබිණ.

• ඒ අනුව ඊට අදාළව ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට 2024.03.02 දින පවත්වන ලද ලිඛිත තරග විභාගයේ ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය 2024.04.30 දින සිට 2024.05.09 දින දක්වා අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර, ඊට අදාළ බඳවා ගැනීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත ය. එම බඳවා ගැනීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජාතික පාසල්වල පවතින පුරප්පාඩු සඳහා ද ගුරුවරුන් ස්ථානගත කිරීමට නියමිතය.

• උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය යටතේ පළාත් පාසල්හි පුරප්පාඩු 2,969ක් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට සියලු පළාත් සභා විසින් අයදුම්පත් කැඳවා ඇත. මේ වන විට පළාත් සභා කිහිපයක බඳවා ගැනීම් සිදු කර ඇති අතර, අනෙකුත් පළාත් සභා විසින් ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතය. ඒ යටතේ වයඹ පළාතේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු 393ක් සඳහා බඳවා ගැනීමේ නිවේදනය 2023.09.01 දින නිකුත් කර ඇත. ඊට අදාළ බඳවා ගැනීමේ තරග විභාගය ද 2023.11.11 දින පවත්වා ඇත.

II. අංක අමප/23/1573/607/124 හා 2023.09.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විශ්‍රාම යෑම, ඉල්ලා අස්වීම, සේවය අතහැර යෑම යන හේතුන් මත දිවයිනේ පළාත් පාසල්වල ඇති වූ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ලද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව සියලු පළාත් සභා විසින් ඊට අදාළ බඳවා ගැනීම් නිවේදන නිකුත් කර ඇති අතර, එම බඳවා ගැනීම් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. ඒ යටතේ  වයඹ පළාතේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු 665ක් සඳහා බඳවා ගැනීමේ නිවේදනය 2023.10.20 දින නිකුත් කර ඇත.

III. 2018/2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් අතුරින් ඌන සාමාර්ථලාභින් 303 දෙනෙකු ජාතික පාසල්හි ප්‍රාථමික සහ 6-11 ශ්‍රේණිවල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළව 2024.03.27 දිනැතිව ගුරු පත්වීම් ලබා දීමට කටයුතු සිදු කළ අතර, ඒ අතුරින් ද පුත්තලම දිස්ත්‍රික්කයේ පුරප්පාඩු පැවැති පාසල් සඳහා ගුරුවරුන් අනුයුක්ත කරන ලදී.

IV. අංක අමප/23/1568/607/121 හා 2023.10.09 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව ජාතික හා පළාත් පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමට අදාළව සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය 2024 මැයි මස 10, 11, 12 සහ 20 දිනවලදී අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර, ඊට අදාළ බඳවා ගැනීම් කටයුතු ද කඩිනමින් අවසන් කිරීමට නියමිතය. එම බඳවා ගැනීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජාතික හා පළාත් පාසල්වල පවතින පුරප්පාඩු සඳහා ද ගුරුවරුන් ස්ථානගත කිරීමට නියමිතය.

V. 2023.11.16 දිනැතිව ශ්‍රී ලංකා ගුරු සේවයේ සිටින ගුරු භවතුන් අතුරින් 4,672 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමට කටයුතු සිදු කර ඇති අතර, ඒ හේතුවෙන් පාසල් පද්ධතිය තුළ ඇති වූ ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනමින් ගුරුවරුන් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා අනුමැතිය ලද පසු එම පුරප්පාඩු සඳහා ද ඉදිරියේදී ගුරු පත්වීම් ලබා දීමට නියමිතය.

VI. තවද, අංක අමප/22/1357/607/026 හා 2022.10.31 දිනැති සහ අමප/22/2021/ 607/026-II හා 2022.12.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023.03.25 දිනැතිව පැවැත්වීමට  සංවිධානය කර තිබූ නමුත්, පාසල්වලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරින් විසින් ගොනු කරන ලද අංක 77/2023, 78/2023, 88/2023 හා 95/2023 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. එම නඩුව මේ වන විටත් අවසන් වී නොමැත. ඒ අනුව මෙම නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මෙම බඳවා ගැනීම් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

 

මෙම ප්‍රශ්නයට අදාළව ඉතාම  කෙටියෙන් පිළිතුරක් දුන්නොත්, පසුගිය කාල සීමාව තුළ නඩු සියල්ල විසඳාගෙන මේ වන කොට වයඹ පළාතේත්, සෙසු පළාත්වලත් පළාත් මට්ටමින් පවත්වපු උපාධිධාරි ගුරු විභාගය අනුව පත්වීම් ලබා දෙමින් පවතිනවා. මැයි 31වන දා දක්වා ඇති වී තිබෙන පුරප්පාඩු සඳහාත් පත්වීම් ලබා දීමට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අපි ඊළඟ සති කිහිපය තුළ එම පුරප්පාඩු ටිකත් සම්පූර්ණ කරනවා.

 

විශේෂයෙන්ම වයඹ පළාතේ සංවර්ධන නිලධාරින් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් කොටසයි මේ විභාගය පාස් වෙලා ගිහින් තිබෙන්නේ. සමහරු දැන් උපවාස කරමින් ඉන්නවා. මේ වාගේ පිරිස් පිළිබඳ සියලු තොරතුරු අද දවස තුළ අපට ලැබෙනවා. ඒ අනුව විභාගය පැවැත්වීම සහ වයස් සීමාව පිළිබඳ විකල්ප විසඳුමකුත් එක්ක මම අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරනවා. ඒ අනුව ඊළඟ සති දෙක තුළ ඔබතුමන්ලාගේ ප්‍රදේශයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවත් සම්පූර්ණ කර ගන්න පුළුවන් වෙයි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks