E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

1286/2024: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන: විස්තර

1286/2024

ගරු කිංස් නෙල්සන් මහතා,—   අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ආයතනවල නම් කවරේද;

(iii)     වර්ෂ 2018 සිට මේ දක්වා එම එක් එක් පළාත් පාලන ආයතනයේ වාර්ෂික ආදායම හා වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතරින් මූල්‍යමය හා භෞතික සම්පත් හිඟ පළාත් පාලන ආයතන නගා සිටුවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පළාත් පාලන ආයතන සංඛ්‍යාව 08කි.

              (ii)      1. පොළොන්නරුව මහ නගර සභාව

                        2. පොළොන්නරුව ප්‍රාදේශීය සභාව

                        3. ඇලහැර ප්‍රාදේශීය සභාව

                        4. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව

                        5. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව

                        6. ලංකාපුර ප්‍රාදේශීය සභාව

                        7. දිඹුලාගල ප්‍රාදේශීය සභාව

8. වැලිකන්ද ප්‍රාදේශීය සභාව

(iii) ඇමුණුමෙහි දක්වා ඇත.

(iv) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නඟාසිටුවීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, ස්වයං උත්පාදන ආදායම් ප්‍රවර්ධනය සහ කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයට පහත සඳහන් පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතව ඇත.

I. ලෝක බැංකු ණය ආධාර සහ යුරෝපා ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය - LDSP - මඟින් 2024 වසරේ රුපියල් මිලියන 680ක පමණ ප්‍රතිපාදන යොදා ගනිමින් උප ව්‍යාපෘති යෝජනා 53ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

II. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතන ධාරිතා සංවර්ධන වැඩසටහන - CDLG - යටතේ පළාත් පාලන ආයතන 8හි නිලධාරින් හා සේවකයින්ගේ ධාරිතා සංවර්ධන කටයුතු සඳහා 2024 වසරට රුපියල් මිලියන 08ක මුදලක් වෙන් කර ඇත.

III. CDLG වැඩසටහන මඟින් ප්‍රාදේශීය සභාවල දියුණු ගම් ප්‍රදේශ -වරිපනම් ප්‍රදේශ- හඳුනාගෙන ඒවා ගැසට් නිවේදන මඟින් පළ කර පළාත් පාලන ආයතනවල ආදායම් වැඩි කර ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

IV. දේශීය අරමුදල් මඟින් මහා භාණ්ඩාගාරය සපයා ඇති මූල්‍ය ප්‍රතිපාදන මඟින් 2024 වසරේදී පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතරම අර්ධ වශයෙන් නිමකර ඇති එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 83.641ක් වෙන් කර ඇත.

• දියබෙදුම සතිපොළ සංවර්ධනය, බකමූණ ළමා උද්‍යානය අසල කඩ කාමර ඉදිකිරීම, අත්තනකඩවල පොළ භූමිය සංවර්ධනය කිරීම - රුපියල් මිලියන 34.64

• සුංගාවිල සතිපොළ සංවර්ධනය කිරීම - රුපියල් මිලියන 18.87

• හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පානීය ජල පෙරණ යන්ත්‍ර ලබා දීම - රුපියල් මිලියන 11.228

• පොළොන්නරුව මහ නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා - රුපියල් මිලියන 15.103

• වෙහෙරගල ජල ව්‍යාපෘති ගොඩනැඟිල්ල අලුත්වැඩියාව - රුපියල් මිලියන 3.8

V. 2024 වසරේ අය වැය යෝජනා අංක 81 යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා සංචාරක කර්මාන්තය ආශ්‍රයෙන් ආදායම් උත්පාදනය සඳහා රුපියල් මිලියන 31.5ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks