01

E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

1283/2024: කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්: මානව හා භෞතික සම්පත් හිඟය

1283/2024

ගරු අසංක නවරත්න මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල මේ වනවිට පවතින මානව සම්පත් හා භෞතික සම්පත් ඌනතාවයන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

             (ii)       එම ඌනතා සපුරාලීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, ඒ සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු අසංක නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ශික්ෂණ රෝහල් 02ක් ද, මූලික රෝහල් 4ක් ද, ප්‍රාදේශීය රෝහල් 40ක් ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 31ක් ද, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 54ක් ද, සෞඛ්‍ය සේවා සැපයීම සිදු කරනු ලබයි. මෙම රජයේ රෝහල්වල මේ වන විට පවතින මානව සම්පත් හා භෞතික සම්පත් ඌනතාවන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී, කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රෝහල්වල පවතින තනතුරු පුරප්පාඩු සම්බන්ධ සවිස්තර වාර්තාවක් ඇමුණුම 01 සහ 02 මඟින් දක්වා ඇත.

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

භෞතික සම්පත් ඌනතා වශයෙන් හඳුනාගෙන ඇති, නිකවැරටිය මූලික රෝහල මාතෘ සංකීර්ණයක අවශ්‍යතාවත්, දඹදෙණිය මූලික රෝහල නව වාට්ටු සංකීර්ණයක අවශ්‍යතාවත්, පොල්පිතිගම මූලික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහා නව ගොඩනැඟිල්ලක් සහ ‍වෛද්‍ය නිල නිවාසයේ වැඩ අවසන් කිරීමත්, ගල්ගමුව මූලික රෝහලේ වෛද්‍ය සහ හෙද නිල නිවාසයෙහි වැඩ අවසන් කර ගැනීමත් කළ යුතුව ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන තුළ පවතින වාහන බොහොමයක් වසර 20කට පෙර නිෂ්පාදිත වාහන වන බැවින් නිරන්තරයෙන් මෙම වාහන අලුත්වැඩියා කිරීමට සිදු වේ. එබැවින් නව වාහන ලබා ගැනීමේ අවශ්‍යතාව ද පවතී.

  (ii) ඔව්.

(iii) ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මානව සම්පතට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව 2023.11.01 වන විට සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍ය නිලධාරින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සේවයට යොදවනවා.

ඊට අමතරව භෞතික සම්පත් වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්යේ පිහිටි කුරුණෑගල ශික්ෂණ රෝහල සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිටත් ලැබී අතර, ඒ යටතේ වයඹ විශ්වවිද්‍යාල නව වෛද්‍ය පීඨය සඳහා නව මහාචාර්ය ඒකකයක්, නව හදිසි අනතුරු ඒකකයක්, නිල නිවාස සහ සේවා ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යෝජිතව පවතී‍.

ගරු මන්ත්‍රීතුමනි, ඊට අමතරව අපි හඳුනාගත් අඩු පාඩු පිළිබඳව -මුලින් සඳහන් කරපු ඒ අඩු පාඩු- සකස් කර ගැනීම සඳහා ඊළඟ අයවැයට යෝජනා මේ වනවිටත් සකස් කර තිබෙනවා. ඊට අමතරව ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ තව වසර පහකට ප්‍රාථමික සෞඛ්‍ය සේවය වර්ධනය සඳහා අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ තුළින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයට අවශ්‍ය වන අඩු පාඩු සකස් කර ගැනීමේ යෝජනා අමාත්‍යාංශයේ සංවර්ධන අංශය විසින් සකස් කර තිබෙනවා.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks