01

E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

1250/2024: තේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප: වැඩිවීම

1250/2024

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගිය ජීවන වියදමට සාපේක්ෂව තේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමේ ප්‍රගතිය කවරේද;

             (ii)       එවැනි ප්‍රගතියක් තිබේ නම්, එම වැටුප් වැඩිවීමේ ප්‍රමාණය කවරේද;

(iii) එම වැඩිවීම ගෙවනු ලබන දිනය කවරේද;

(iv) එවැනි ප්‍රගතියක් නොමැති නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මුහුණ දෙන බාධා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නො එසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත යටතේ කර්මාන්තයට අදාළව සේවා තත්ත්ව  හා කොන්දේසි තීරණය කරන ලද පඩිපාලක සභා තීරණ 02ක් ක්‍රියාත්මක වේ. එනම්,

                        - තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය

                        - තේ පිට රට යැවීමේ කර්මාන්තය

                        නමුත්, මින් තේ වතු සේවකයන් ආවරණය වන්නේ තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මඟින් වේ. 2021.03.05 දින සිට බලාත්මක වන පරිදි මෙම කර්මාන්තයෙන් ආවරණය වන සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,000.00ක් ලෙස නියම කර පඩිපාලක සභා තීරණයක් මඟින් ගැසට් කිරීමට කටයුතු කර ඇත.

මෙම රුපියල් 1,000.00ක වැටුපට, 2016 අංක 4 දරන සේවකයන්ගේ අය වැය සහන දීමනාව පනත යටතේ ගෙවිය යුතු දෛනික අය වැය සහන දීමනාව වන රුපියල් 100.00ක මුදල ද ඇතුළත් වේ. ඒ අනුව වර්තමානයේ තේ වතු සේවකයන්ට අදාළ දෛනික වැටුප වශයෙන් ක්‍රියාත්මක වන්නේ රුපියල් 1,000කි.

කම්කරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්ගේ සභාපතිත්වයෙන් තේ වතු සේවකයන්ට අදාළව දෛනික වැටුප් වැඩී කිරීම සඳහා තේ කර්මාන්තයේ යෙදී සිටින හාම්පුතුන්, හාම්පුතුන්ගේ සංගමය හා සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති ද ඇතුළත් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුව විසින් මේ වන විට සාකච්ඡා වට තුනක් පැවැත්වීමට කටයුතු කර ඇත. එසේම මෙම කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති හා සේව්‍ය සම්මේලනය ඇතුළු සේව්‍ය පාර්ශ්වයෙන් යෝජනා ලබා ගැනීමට ද කටයුතු කරමින් පවතී.

(ii) වැටුප් වැඩි වීමේ ප්‍රමාණය පිළිබඳ අවසාන තීරණයකට මෙතෙක් එළැඹී නොමැත.

(iii) ගෙවනු ලබන දිනය පිළිබඳව ද අවසාන තීරණයකට එළැඹී නොමැත.

(iv) හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර වැටුප් වැඩි කිරීම සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම‍.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks