පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-09-03
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) 2017 මැයි මස 19 වන දින සිට ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ GSP Plus වෙළඳ පහසුකම (EU GSP Plus trade facility) ලැබුණි. මෙහි කොටසක් වශයෙන් ශ්‍රී ලංකාව සම්මුතීන් 27කට අදාළ ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන අතර ඉන් සම්මුතීන් 08ක් කම්කරු අංශයට සම්බන්ධ වේ. මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, ඒවා කෙටියෙන් පහතින් සඳහන් කර ඇත.
01. ළමා ශ්‍රමය තුරන් කිරීම:
සම්මුති අංක 138: සේවයෙහි යෙදවීමේ අවම වයස පිළිබඳ සම්මුතිය
සම්මුති අංක 182: ළමා ශ්‍රමයේ අනර්ථකාරී ස්වරූපයන් පිළිබඳ සම්මුතිය
2021 ජනවාරි මස 22 වන දින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාව විසින් රැකියා සඳහා ඇතුළත් වීමේ වයස අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කර ඇති අතර, ඒ සඳහා පහත පනත් 06 සංශෝධනය කරන ලදී.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත
1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත
1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත
1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත
1927 අංක 27 දරන අවම වේතන (ඉන්දියානු කම්කරු) පනත
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත
182 සම්මුතියට අදාළව ශ්‍රී ලංකාව 2021 නොවැම්බර් 18 වැනි දින අන්තරායකර ලැයිස්තුව යාවත්කාලීන කරන ලදී.
ඒ අනුව, දැනට වයස අවුරුදු 16 සහ 18 අතර ළමුන් සඳහා ගෘහ සේවය ඇතුළු අන්තරායකර රැකියා 71ක් හඳුනාගෙන ඇත.
මීට අමතරව, කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා අංශය මඟින් ප්‍රතිපත්තිමය පියවර සහ පරිපාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. මෙම පියවරයන් මෙහෙයවනු ලබන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නායකත්වය යටතේ ළමා ශ්‍රමය පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව මඟිනි.
02. බලහත්කාර සහ අනිවාර්ය කම්කරු සම්මුතීන්
සම්මුති අංක 29 : බලහත්කාරයෙන් සේවයේ යෙදවීම පිළිබඳ සම්මුතිය සහ
සම්මුති අංක 105: බලහත්කාරයෙන් සේවයේ යෙදවීම තුරන් කිරීම පිළිබඳ සම්මුතිය
2017 වසරේ දී යුරෝපා සංගමයේ GSP+ පහසුකම (EU GSP Plus trade facility) ලැබීමෙන් පසුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව P29 බලහත්කාරයෙන් සේවයේ යෙදවීම සම්බන්ධ ප්‍රොටෝකෝලය අපරානුමත කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේය. ත්‍රෛපාර්ශ්වික පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව, ශ්‍රී ලංකාව 2019 වසරේ දී P29 අපරානුමත කර මෙම සම්මුතිය යටතේ ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා බලහත්කාරයෙන් සේවයේ යෙදවීම පිළිබඳ කම්කරු කාර්ය සාධක බලකාය පිහිටුවීය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි CEACR කමිටුව විසින් බලහත්කාරයෙන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශ කිහිපයක් ඇති අතර, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය සක්‍රියව සාකච්ඡා කරමින් සිටී.
03. සංගමයේ නිදහස සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය
සම්මුති අංක 87 : සංගමයේ නිදහස හා සංවිධානය වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම
සම්මුති අංක 98 : සංවිධානය වීමට ඇති අයිතිය සහ සාමූහික කේවල් කිරීම පිළිබඳ සම්මුතිය
මෙම සම්මුතීන් යටතේ යුරෝපා සංගමය විසින් CEACR (සම්මුතීන් සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ කමිටුව) නිර්දේශ සලකා බලන ලෙස ඉල්ලා සිටි අතර ඒවා සම්බන්ධයෙන් ගෙන ඇති වැදගත් නිර්දේශ සහ ක්‍රියාමාර්ග කිහිපයක් පහත සඳහන් වේ.
- වෘත්තීය සමිති වශයෙන් පිළිගැනීම පිණිස අනිවාර්ය වන සියයට 40 සීමාව පහත හෙළීම:
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් 2017 ඔක්තෝබර් මස 20 වැනි දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ත්‍රෛපාර්ශ්වික රැස්වීමක් කැඳවන ලදී. කෙසේ වෙතත්, බොහෝ නියෝජිත වෘත්තීය සමිති විසින් සියයට 40 සීමාව අඩු කිරීමට විරුද්ධ වූයේ, එය වෘත්තීය සමිති ගුණනය කිරීමට හේතු වන අතර සාමූහික කේවල් කිරීම තවදුරටත් සංකීර්ණ කරන බව පවසමිනි. එකඟතාවකට නොපැමිණි බැවින්, උපදේශන රැස්වීම්වලදී මෙය යුරෝපා සංගම් නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.
- අනිවාර්ය බේරුම්කරණයට කම්කරු ආරාවුල් යොමු කිරීම ඉවත් කිරීම:
ත්‍රෛපාර්ශ්වික රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදී, බොහෝ වෘත්තීය සමිති ප්‍රකාශ කළේ වෘත්තීය ක්‍රියා මාර්ග අතරවාරයේදී අවහිරයක් ඇති වූ විට අවසන් විසඳුම මෙය බවයි. එබැවින්, මෙම විකල්පය ඉවත් නොකරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙම රැස්වීම් අතරතුර මේ පිළිබඳ යුරෝපා සංගම් නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.
- යුක්ති සහගත නොවන කම්කරු පිළිවෙත් පිළිබඳ පැමිණිලි ලබා ගැනීම පිණිස වෘත්තීය සමිතිවලට අධිකරණ සඳහා ඍජු ප්‍රවේශය ලබා දීම:
ත්‍රෛපාර්ශ්වික රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. කෙසේ වෙතත්, ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ, වෘත්තීය සමිතිවලට සෑම විටම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන බැවින් එහි වගකීම කම්කරු දෙපාර්තමේන්තුවට පැවරිය යුතු බවයි. පවතින ක්‍රමයේ අඩුපාඩු ඇත්නම් පරිපාලනමය පියවර මඟින් ඒවා විසඳා ගත හැකියි. ඉන් අනතුරුව, යුක්ති සහගත නොවන කම්කරු පිළිවෙත් සම්බන්ධ නඩු කඩිනම් කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව පියවර කිහිපයක් හඳුන්වා දෙන ලදී.
04.රැකියා සහ ජීවන වෘත්තීය වෙනස්කොට සැලකීම පිළිබඳ සම්මුතිය
සම්මුති අංක 100: සමාන පාරිශ්‍රමික පිළිබඳ සම්මුතිය
සම්මුති අංක 111: වෙනස්කොට සැලකීම පිළිබඳ (රැකියා සහ ජීවන වෘත්තීය) සම්මුතිය
මේ සම්බන්ධයෙන්, සේවා ස්ථානයේ වෙනස්කොට සැලකීම ඉවත් කිරීම සඳහා රජය විසින් බොහෝ පියවර ගෙන ඇත. සාප්පු හා කාර්යාල සේවක පනත සංශෝධනය කිරීම මඟින් කාන්තාවන් සඳහා රාත්‍රී වැඩ සීමා ලිහිල් කරන ලදී.
මීට අමතරව, ඉහත සම්මුතීන්ට අනුකූලව, රජය විසින් යෝජිත සේවා නියුක්ති පනතට ප්‍රතිපාදන ඇතුළත් කර ඇත. ඉන් වැදගත් විධිවිධාන කිහිපයක් පහත දැක්වේ.
වෙනස්කොට සැලකීමට එරෙහි විධිවිධාන
සේවා ස්ථානයේ හිංසනයට හා හිරිහැරයට එරෙහි විධිවිධාන
රැකියාවේ සමාන වටිනාකමක් සඳහා සමාන වැටුප් සහතික කිරීමේ විධිවිධාන
කාන්තා කම්කරුවන් සඳහා රාත්‍රී වැඩ ලිහිල් කිරීම
වෘත්තීය සමිති විධායක කමිටුවල කාන්තා නියෝජනය
අවසාන වශයෙන්, යුරෝපා සංගමය විසින් නිර්දේශ කර ඇති පරිදි සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය වැදගත් ක්ෂේත්‍ර ආමන්ත්‍රණය කර ඇත. එකඟතාවකට නොපැමිණෙන කාරණාවලදී, පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර එවැනි නිර්දේශ ආමන්ත්‍රණය කිරීමට අමාත්‍යාංශය අතිරේක පියවර ගනු ඇත.
(iii) ගෙන ඇති පියවර පිළිබඳ ඉහත (ii) හි සඳහන් පිළිතුරෙහි දක්වා ඇත.
(ආ) (i) ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ හා කර්මාන්තශාලා ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කාර්මික ව්‍යාපාරයක හෝ කර්මාන්තශාලාවක රාත්‍රී කාලයේ දී වැඩ කරන සෑම කම්කරු ස්ත්‍රියකටම සේවායෝජක විසින් කෑම සපයනු ලැබිය යුතු බවට ව්‍යවස්ථාපිතව සඳහන් වේ. නමුත්, කාර්මික ව්‍යාපාර හෝ කර්මාන්තශාලා යන අර්ථ නිරූපණයට නොවැටෙන වෙනත් ඕනෑම සේවා ස්ථානයක සේවය කරන සේවකයින්ට ආහාරපාන සැපයීම සේවායෝජකගේ අභිමතය පරිදි සිදු කරනු ලබන අතර, ඒ සඳහා සේවායෝජක වෙත ව්‍යවස්ථාපිත බැඳීමක් නොමැත. විශේෂයෙන්ම කාර්මික ව්‍යාපාරයක රාත්‍රී සේවයේ නියුක්ත කරන කාන්තා සේවිකාවන් සඳහා ආහාර පාන නොදෙන බවට නිශ්චිත සේවායෝජකයකුට එරෙහිව පැමිණිල්ලක් කම්කරු දෙපාර්තමේන්තුවට යොමු කරන අවස්ථාවක ඒ පිළිබඳව නෛතිකව කටයුතු කළ හැකි බව සඳහන් කරමි.
(ii) මෙම ප්‍රශ්නය තුළින් මතු කරන කාරණය අපැහැදිලි ය.
දැනට පවතින කම්කරු නීතියේ වැඩපළ තුළ සිදු වන ලිංගික හිංසනය වැළැක්වීම සඳහා ඍජු නෛතික ප්‍රතිපාදන නොමැති නිසා කම්කරු දෙපාර්තමේන්තුවට මෙවැනි ආකාරයේ පැමිණිලි හෝ තොරතුරු ලැබුණු විට අපරාධ නීතිය යටතේ පියවර ගැනීම සඳහා එයට අදාළ බලය ඇති බලධාරීන්ට වාර්තා කරන ලෙස පාර්ශ්වයන් දැනුවත් කිරීම කරනු ලබයි.
වැඩපළ තුළ ලිංගික හිංසනය වැළැක්වීමට අදාළ නෛතික ප්‍රතිපාදන ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල දී ඇතුළත් කිරීමට කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) (i) ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු සේවකයින්ගේ සේවා තත්ත්වයන් හා සේවා කොන්දේසි නියම කිරීම සඳහා ඇඳුම් සෑදීමේ කර්මාන්තය නමින් පඩිපාලක සභාවක් පඩිපාලක සභා ආඥා පනත ප්‍රකාරව පිහිටුවා ක්‍රියාත්මක කරනු ලබයි. මෙමඟින් මෙම ක්ෂේත්‍රයට අදාළ නීති ප්‍රතිපාදන මඟින් සේවකයින් රැක ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
තවද, 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනතේ 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනතේ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අදාළ කොන්දේසි මඟින් ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු කාන්තා සේවකයින්ගේ සුබසාධනය, ආරක්ෂාව යනාදියට අදාළ ප්‍රතිපාදන තහවුරු කර ඇත.
(ii) කම්කරු දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කරන යන්ත්‍රණය වන දිවයිනේ පිහිටි සියලුම දිස්ත්‍රික් කම්කරු කාර්යාල, උප කම්කරු කාර්යාල සහ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලවල සේවයේ නියුතු කම්කරු නිලධාරින්, කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවන් මාර්ගයෙන් ආයතන කම්කරු නීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ නිරන්තරයෙන් කාලීන පරීක්ෂණයන් සිදු කිරීම.
කම්කරු නීති උල්ලංඝනය කරන්නන් හඳුනාගෙන නඩු පවරා අදාළ නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.
සේවායෝජකයින් කම්කරු නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks