පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
636/2024
ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 වර්ෂයේදී රජයේ මැදිහත්වීම මත විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර ඇති රටවල් කවරේද;
(ii) එම එක් එක් රට වෙත යොමු කර ඇති සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2023 වර්ෂයේදී රජයේ මැදිහත්වීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රී ලාංකික සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම වර්ෂයේදී විදේශීය රැකියාවල නියුතු සේවකයන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති මුළු විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
(v) ඉදිරියේදී විදේශීය රැකියා සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යොමු කරවීමට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-20
අසන ලද්දේ
ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර ඇති රටවල් පහත පරිදි වේ.
දකුණු කොරියාව
ජපානය
ඊශ්‍රායලය
ඒ රටවල් සඳහා තමයි රජය විධියට අපි ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම මඟින් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර ඇති රටවල් පහත පරිදි වේ.
සවුදි අරාබිය
කුවේට්
ජෝර්දාන්
සිංගප්පූරුව
ජපානය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
රුසියාව
සයිප්‍රස්
මලයාසියාව
මාලදිවයින
දකුණු කොරියාව
රුමේනියාව
සර්බියාව
මොල්ඩෝවා
(ii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදේශගතව ඇති ප්‍රමාණය
රට ප්‍රමාණය
දකුණු කොරියාව 6,377
ජපානය 601
ඊශ්‍රායලය 828
මුළු ප්‍රමාණය 7,806
ඒ ආදී වශයෙන් 2023 වර්ෂයේදී පිටත්කර යවා තිබෙනවා, ගරු කථානායකතුමනි.
විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම මඟින් විදේශගතව ඇති ප්‍රමාණය
රට ප්‍රමාණය
සවුදි අරාබිය 08
කුවේටය 09
ජෝර්දාන් 46
සිංගප්පූරුව 11
ජපානය 12
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 02
රුසියාව 59
සයිප්‍රස් 253
මලයාසියාව 02
මාලදිවයින 03
දකුණු කොරියාව 221
රුමේනියාව 06
සර්බියාව 14
මොල්‍ඩෝවා 17
මුළු ප්‍රමාණය 663
(iii) 289,187ක් වේ.
(iv) 2023 වර්ෂයේදී විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5,970ක් ලැබී තිබෙනවා. ඒ කියන්නේ US Dollars 5.9 billion. එය රුපියල් බිලියන 1,951ක් වශයෙන් සඳහන් වෙනවා.
ඊට අමතරව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනෑ, පසුගිය අවුරුද්දේ මම මේ අමාත්‍යාංශය භාර ගත්ත දවසේ ඉඳලා මේ වෙනකල් -පසුගිය මාසය වෙනකොට- ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3ක මුදලක් විදේශගත ශ්‍රමිකයන් අපට එවා තිබෙන බව. මේ රට අමාරුවේ වැටුණු වෙලාවේ, ගොඩක් අය සල්ලි එවන්න එපා කියපු වෙලාවේ -සල්ලි එවන්න එපා කියලා campaign කරපු වෙලාවේ- මේ රටේ මිනිසුන්ගේ දුක බලලා, විදේශගත ශ්‍රමිකයන් නිවැරදි මාර්ගයෙන් එවා තිබෙනවා, ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3ක මුදලක්.
(v) ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රධාන වශයෙන් ගෘහස්ථ සහ ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශගත වේ.
ගෘහස්ථ නොවන රැකියා සඳහා කොරියාව, ජපානය, ඊශ්‍රායලය, සිංගප්පූරුව, මලයාසියාව, මාලදිවයින සහ මැද පෙරදිග කලාපයේ රටවලට ශ්‍රී ලාංකිකයන් පිටත්ව යන අතර, ප්‍රථම වතාවට එම රැකියා සඳහා යන අයහට පහත සඳහන් පුහුණු පාඨමාලා මඟින් පුහුණුවක් ලබා දේ.
01. කොරියානු රැකියා සඳහා භාෂා පුහුණුව අත්‍යවශ්‍ය වන අතර, කොරියානු විභාගවලින් සමත්ව රැකියා සඳහා යන අය සඳහා දින 10ක නේවාසික පුහුණුවක් ලබා දේ. කොරියාවේ ධීවර කටයුතු සඳහා යන අයහට ඊට අමතරව මුහුද ආශ්‍රිතව සහ මුහුදේදී දින 05ක පුහුණුවක් ලබා දීම තුළින් ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සිදු කරනු ලැබේ.
02. ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කර හරිනු ලැබේ.
කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා යන අයගේ කුසලතා වර්ධනය කිරීම සඳහා දින 07ක පුහුණුවක් ගොවි පොළවල් ආශ්‍රිතව ලබා දී ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ඊශ්‍රායල රජය විසින් පවත්වනු ලබන වෘත්තීය පරීක්ෂණයන් සමත් ශ්‍රමිකයින් එම රැකියා සඳහා තෝරා ගනු ලබන අතර, ඔවුන් සඳහා දින 02ක පෙර විගමනික නම්නීකරණ පුහුණුවක් - induction course - ලබා දෙනු ලැබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යන අයට පළපුරුද්ද මඟින් සහ හෙද පාඨමාලාවන් හැදෑරුවාට පසු NVQ Level 3 අදියරේ සහතිකයක් ලබා දී තිබිය යුතු අතර, ඒ අය සඳහා දින 45ක පුහුණුවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දේ.
03. ජපන් රැකියා සඳහා යොමුවන අයට භාෂා පුහුණුව ලබා දී, ඔවුන් ඒ අදාළ විභාගවලින් සමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි ආයතන 14ක් සඳහා කාර්යාංශයේ වියදමින් ජපන් භාෂා පුහුණු පාඨමාලා පවත්වාගෙන යන අතර, ජපන් භාෂා නිපුණතාව ඇති ශ්‍රමිකයින් 5,000ක් බිහි කිරීම මෙහි අරමුණු වේ.
මීට අමතරව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය -IOL-, ජාත්‍යන්තර ශ්‍රමිකයන් සඳහා වූ සංවිධානයත් සමඟ එකතු වෙලා මේ වතාවේදී ජිනීවා නුවරදී ඉල්ලීමක් කළා, සාත්තු සේවක ක්ෂේත්‍රය සඳහා දසදහසක් පුහුණු කිරීම සඳහා උදවු කිරීමට. ඔවුන් ඒ සඳහා උදවු කරනවා. මොකද, ගෘහ සේවයට යන කාන්තා ශ්‍රමිකයන් ප්‍රමාණය අවම කරලා; නතර කරලා ඔවුන්ව සාත්තු සේවයට යොමු කරලා, අපේ රටේ care economy එකක් වෙනුවෙන් මුදල් උත්පාදනය කරන ක්‍රමවේදයකට හැරවුම් ලක්ෂ්‍යයක් අපි ආරම්භ කරලා තිබෙනවා.
04. විවිධ ක්ෂේත්‍රවල (වෑද්දුම්, සත්කාරක සේවා වැනි) පුහුණුව ලබා දෙනු ලබන ආයතන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි කිරීම මඟින් එම එක් එක් ක්ෂේත්‍ර සඳහා පුහුණුවක් ලබා දීම පිළිබඳ කාර්යාංශය මඟින් අධීක්ෂණය කරනු ලබන අතර, එමඟින් වඩා නිපුණතාවකින් පිරි සේවක පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබේ.
ගරු මන්ත්‍රීතුමනි, මම මේ කාරණයත් පැහැදිලි කරන්න ඕනෑ. මෙච්චර කාලයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විතරයි පුහුණුවීම් කටයුතු කළේ. නමුත්, රජය මේ පුහුණුවීම් කටයුතු සිද්ධ කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය regulator විධියට කටයුතු කරනවා. ඒක අපේ ප්‍රමුඛ කාර්යයක් නොවෙයි. නමුත්, ඒකත් අපේ කාර්යයක්. ඒ නිසා අපි නියාමනය යටතේ පෞද්ගලික අංශයටත් මේක විවෘත කරලා තිබෙනවා. ඒ අනුව ආයතන රාශියක් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ වාගේම රජයේ ආයතනත්; NAITA එක, වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනත් අපිත් සමඟ අවබෝධතා ගිවිසුම් - MoUs - ඇති කරගෙන ඔවුන් හරහා අපට ඕනෑ කරන පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම අපි ආරම්භ කරලා තිබෙනවා. මෙතැනදී ලෝක අවශ්‍යතාව මොකක්ද කියලා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයත් ලබාගෙන නේල්සන් ආයතනය සමඟ එකතු වෙලා ලෝක ශ්‍රම වෙළෙඳ පොළ පිළිබඳව අපි අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විධියට ඉදිරිපත් වුණු අවශ්‍යතා අනුව තමයි අපි දැන් ඒ වෘත්තීය පුහුණු ආයතන හරහා ශ්‍රමිකයා පුහුණු කරන්නේ, නූතන ශ්‍රම වෙළෙඳ පොළට සහ අනාගත ශ්‍රම වෙළෙඳ පොළට අවශ්‍ය කරන ආකාරයට.
05. ගෘහස්ථ රැකියා සඳහා යන අයහට කාර්යාංශයට අමතරව පෞද්ගලික ආයතනවලටද පුහුණු කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර, දින 28ක නේවාසික පුහුණුවක් තුළින් NVQ Level 3 අදියරේ සහතිකයක් ලබාගෙන විදේශ රැකියා සඳහා යාමට ඔවුන්ගේ කුසලතා වර්ධනය කරනු ලැබේ.
එසේම එම පුහුණුලාභින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි වීඩියෝ පටයක් විදේශ නියෝජිතයාටත්, විදේශ හාම්පුතුන්ටත් නැරඹීමට අවස්ථාව සලසා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. Online interview එකකින් පස්සේ තමන්ට කැමැති ශ්‍රමිකයාව තෝරාගන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. පුහුණුවේ වීඩියෝවක් වාගේම online interview එකක් හරහා තමන්ට සුදුසුම කෙනා තෝරා ගැනීමේ අවකාශයත් දැන් අපි සකස් කර තිබෙනවා.
06. ඊට අමතරව, ඉංග්‍රීසි භාෂා හැකියාව විදේශ රැකියා සඳහා වර්තමානයේ ඉතාම අත්‍යවශ්‍ය වන කාරණයක් බැවින් ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබනවා.
07. එසේම, ප්‍රථම වරට විදේශගත වන ශ්‍රමිකයින් සඳහා පෙර විගමනික දින දෙකක නම්නීකරණ පුහුණුවක් ලබා දීම තුළින් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා.
08. ප්‍රථම වතාවට පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් සඳහා දින පහක පුහුණු පාඨමාලා පවත්වනු ලබනවා.
ඉහත සඳහන් පාඨමාලා සඳහා දැනටමත් ක්‍රියාත්මක වන අතර, එම පුහුණුව ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට කාර්යාංශය කටයුතු කරන බවත් මේ වෙලාවේ මම මතක් කරනවා.
ඒ වාගේම, මේ කාරණයත් මම විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීම, ඒ වාගේම වෘත්තීය පුහුණුව ලබා දීමට අමතරව මේ දවස්වල අපි "ජයගමු ශ්‍රී ලංකා" වැඩසටහන රට පුරා කරගෙන යනවා. අපේ ශ්‍රම වෙළෙඳ පොළේ සිටින ශ්‍රමිකයින් අතර වැඩ කරන්න පුළුවන්, නමුත් සහතික නැති, අවිධිමත් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ රටේ සිටින සහතික පත් නැති, අවිධිමත් ක්ෂේත්‍රයේ සියලු ශ්‍රමිකයින්ට දැන් RPL ක්‍රමයට NVQ සහතික ලබා දීමේ වැඩ පිළිවෙළක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ, විදේශගත වීමට බලාපොරොත්තු වන අයට අවශ්‍ය සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහනක්. ලංකාවේ සිටින සියලුම ශ්‍රමිකයින් යම් වෘත්තීය මට්ටමකට ගෙන ඒමේ වැඩ පිළිවෙළකුත් මේ හරහා ක්‍රියාත්මක කරනවා , ගරු මන්ත්‍රීතුමනි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks