E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0464/2024: වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කළුගල් කැඩීම: බලපත්‍ර ගාස්තුව අඩු කිරීම

464/2024

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— වනජීවි හා වන සංරක්ෂණ කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)      (i)       වර්ෂ 2015 සිට මේ දක්වා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල පවතින කළුගල් කඩා ඉවත් කිරීමට අවසර ලබා දීමේ ගාස්තු ලෙස, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) කළුගල් කඩා ඉවත් කිරීමේ ගාස්තුව 50%කින් අඩු කිරීමට තීරණය කරන ලද දිනය කවරේද;

(iii) ගාස්තු අඩු කිරීමට බලපාන ලද හේතු සාධක කවරේද;

(iv) ඒ හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අහිමි වූ මුදල ඉහත (ii)හි සඳහන් තීරණය ක්‍රියාත්මක කරන ලද දිනයේ සිට අද දක්වා එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත (ii)හි සඳහන් තීරණය සාධාරණිකරණය කිරීමට ඇති හේතු කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරනු ලබන භුමීන් තුළින් කළුගල් කැණීම සඳහා අය කරනු ලබන ගාස්තුව එක් එක් වර්ෂය අනුව පහත පරිදි වේ.

වර්ෂය

2015 වර්ෂයේ සිට උපයන ලද ආදායම  රු.

2015

36,477,982.50

2016

67,823,811.00

2017

86,441,443.25

2018

58,416,175.00

2019

65,633,614.50

2020

69,157,033.11

2021

107,693,211.99

2022

28,360,511.13

2023

20,165,293.76

මුළු එකතුව

540,169,080.24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii) පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ අංක 1600/18 හා 2009.05.06 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛන 10 (01) වගන්තියේ සඳහන් කළුගල් හෝ සක්ක ගල් ඉවත් කිරීම සඳහා කියුබ් 1 කට අයකරනු ලැබු ගාස්තුව සියයට 50 කින් අඩු කර අංක 2216/34 හා 2021.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, ඉහත ගැසට් පත්‍රය නිකුත් වූ 2021.02.25 දින සිට ගාස්තු සියයට 50 කින් අඩු කර ඇත. අදාළ ගාස්තු සංශෝධනය වූ ආකාරය පහතින් දක්වමි.

 

ලිත් වර්ෂයක් තුළ එකතු කරනු ලබන කළු ගල් හෝ සක්ක ගල්

අංක 1600/18 හා 2009.05.06 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව ගාස්තුව රු.

අංක 2216/34 හා 2021.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව සංශෝධිත ගාස්තුව රු.

කියුබ් 50 දක්වා

250.00

125.00

කියුබ් 51-250 දක්වා

500.00

250.00

කියුබ් 251-1000 දක්වා

750.00

375.00

කියුබ් 1001 ට වැඩි

1,000.00

500.00

(iii) කළුගල් සඳහා අය විය යුතු ගාස්තුව සියයට 50කින් සංශෝධනය කිරීමට හේතුව වන්නේ අමප/20/1852/317/012 හා 2020.12.22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය සහ එම තීරණය මත නිකුත් කරන ලද අංක 2216/34 දරන 2021.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය වේ. (අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය හා ගැසට් පත්‍රය  ඇමුණුමෙහි**  දක්වා ඇත.)

(iv) මේ හේතුවෙන් අහිමිවීමේ ගාස්තුවක් නිශ්චිතව ගණනය කළ නොහැක. කෙසේවුවද අංක 1600/18 හා 2009.05.06 දිනැති ගැසට් නිවේදනය අනුව අයවිය යුතු ගාස්තුව සහ අංක 2216/34 හා 2021.02.25 දිනැති නව ගැසට් නිවේදනය මඟින් අය කරන ලද ගාස්තුව අතර වෙනස (අඩුවීම) පහත පරිදි වේ.

වර්ෂය

අංක 1600/18 සහ 2216/34 ගැසට් නිවේදන මඟින් අයකරන ලද ගාස්තු අතර වෙනස (අඩුවීම) රු.

2021

107,693,211.99

2022

28,360,511.13

2023

20,165,297.76

මුළු එකතුව

156,219,020.88

 

(v) ඉඩම් කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන පද්ධතිය විසින් ඉඩම් පරිහරණය /කැණීම් සඳහා අවසර දීමේදී ඒ ඒ ආයතන විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව විවිධ ගාස්තු අයකරනු ලබන අතර ඊට වැඩිමනත්ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කැණීම් කරන ලද ගල් කියුබ් ප්‍රමාණය මත පදනම්ව රාජ්‍ය භාගය අය කරනු ලැබේ. මෙම තත්ත්වය නිසා අයකරනු ලබන ගාස්තුවල දැඩි විෂමතා නිරීක්ෂණය වූ අතර එමඟින් රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රායෝගික ගැටලු රාශියක්ද නිර්මාණය වී තිබුණි.

එසේම මම තත්ත්වය තුළ වෙළඳපොළේ කළුගල් නිෂ්පාදන මිල ගණන් අධික වීම, සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිකිරීම් කටයුතුවලට මෙන්ම නිවසක් ඉදි කිරීමේ දී                        සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් එල්ල වී තිබීම  යන කරුණු මත මෙම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට තීරණය විය.

ඒ අනුව, එවකට ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත රජයේ ඉඩම් තුළ සිදු කරන ලද කළුගල් කැණීම් කර්මාන්තයේ ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කරන ලද අතර අංක 1600/18 හා 2009.05.06 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව, අයවිය යුතු ගාස්තුව සියයට 50 කින් අඩු කිරීම සුදුසු බවට එම කමිටුව විසින් නිර්දේශ කරන ලදී. එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ අතර අමප/20/1852/317/012 හා 2020.12.22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ඒ සඳහා අනුමැතිය ලැබුණි.

ඒ අනුව, අංක 1600/18 හා 2009.05.06 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛන 10 (01) වගන්තියේ සඳහන් කළු ගල් හෝ සක්ක ගල් ඉවත් කිරීම සඳහා කියුබ් 01 කට අය කරනු ලැබූ ගාස්තුව සියයට 50 කින් අඩු කර අංක 2216/34 හා 2021.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks