04

E   |     |  

 දිනය: 2013-04-23   පිළිතුර ලබා දී ඇත 

2459/2013: එම්. ජේ. මෙන්ඩිස් මහතාගේ අනවසර පදිංචිය: අධිකරණ තීන්දුව

2459/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් 1890 දී ආරම්භ කළ මහනුවර      ශ්‍රී රාහුල විද්‍යාලයට අනුබද්ධව පේෂකර්ම පාසලක් පවත්වාගෙන ගොස් ඇති බවත්;

            (ii)       වර්ෂ 1962 දී ඉහත පාසල රජයට පවරා ගැනීමෙන් පසුව එහි පේෂකර්ම පාසලේ සේවය කළ ඊ. කැකුළාවල නමැත්තියට පාසලෙහි දේපළවලින් ඉවත්වන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අංක මපා/රා.ප.ච./293 දරන 1965.07.26 දිනැති ලිපියෙන් දන්වා තිබූ බවත්;

(iii) කැකුළාවල නමැත්තිය ඒ අනුව කටයුතු නොකළ අතර ඇයගෙන් පසුව එම්. ජේ. මෙන්ඩිස් නමැත්තෙකු එහි අනවසරයෙන් පදිංචිව සිටින බවත්;

(iv) ඔහුට එරෙහිව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් පැවරූ අංක 75269 දරන නඩුවේ 1988.03.08 දිනැති තීන්දුව මගින් පාසල් භූමියෙන් ඉවත්වන ලෙස කර ඇති නියෝගය අනුව ඔහු මෙතෙක් කටයුතු කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පාසල් භූමිය තුළ අනවසර පදිංචිකරුවකු සිටීම පාසල් පරිපාලනයට විශාල බාධාවක් බව පිළිගන්නේද;

(ii) එසේ නම්, අධිකරණ තීන්දුව අනුව හෝ වෙනත් නීත්‍යානුකූල ක්‍රමවේදයන් මගින් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-04-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා (අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு மொஹான் லால் கிரேரு - கல்விப் பிரதி அமைச்சர்)

(The Hon. Mohan Lal Grero - Deputy Minister of Education)

ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)   (i), (ii), (iii), (iv) - ඔව්.

(ආ‍)         (i)       ඔව්.

              (ii)       මෙකී අනවසර පදිංචිකරු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 159/2013 දරන නඩුව ගොනු කර ඇත.

මෙම ප්‍රශ්නයට අදාළව මෙම අමාත්‍යාංශයෙහි ලිපිගොනුවලට අනුව තොරතුරු පහත පරිදි වේ. 1961 අංක 08 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (පරිපූරක විධිවිධාන) පනත යටතේ රජයට පවරා ගෙන ඇති කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයීය ඉඩමෙහි එම්.ජේ. මෙන්ඩිස් නැමැති අයෙකු අනවසරයෙන් පදිංචි වී සිටින බව එම විද්‍යාලයීය විදුහල්පති විසින් දන්වා එවා ඇත.

මෙම අනවසර පදිංචිකරු ඉවත් කර දෙන ලෙස දන්වා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති අතර, එහි අවසන් තීන්දුවෙන් අනවසරකරු ඉවත් කරන ලෙස පිස්කල් නියෝගයක් නිකුත් කර ඇත. එසේ වුවද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා හා නිලධාරින් නොපැමිණීම නිසා එම නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව විදුහල්පති විසින් දන්වා එවා ඇත.

අනවසරකරු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දන්වා මහනුවර ප්‍රාදේශීය ලේකම් වෙත අංක ED/05/69/03/04/36 හා 2012.07.13, 2012.06.06, 2012.02.24, 2012.03.03, 2008.09.23, 2007.11.19, 2007.09.24, 2007.06.02, 2004.09.03, 2004.08.01, 2004.05.15, 2004.02.09 දිනැති ලිපි යොමු කර ඇතත් මෙතෙක් අදාළ කාරණය ඉටු කර නොමැති අතර, උක්ත පනත යටතේ පවරා ගත් ඉඩමක් වන බැවින් මෙම අමාත්‍යාංශය මඟින් අනවසරකරු ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් අප වෙත දන්වා එවා ඇත. ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසන ලදුව මෙම අවස්ථාවේදී සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ ක්‍රියා කිරීමට වඩා සුදුසු වන්නේ ප්‍රාදේශීය ලේකම් බව ගරු නීතිපතිතුමා විසින් දන්වා එවා ඇත.

ඒ අනුව අනවසරකරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රාදේශීය ලේකම් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් වෙත 2013.02.27 ලිපිය මඟින් දන්වා යවා ඇත. එ‍මෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයට ද අවධානය යොමු කර නොපමාව අනවසරකරු ඉවත් කර වාර්තා කිරීමට මහනුවර ප්‍රාදේශීය ලේකම් වෙත උපදෙස් ලබා දෙන ලෙස 2013.03.27 දිනැති ලිපිය මඟින් ද නැවතත් මහනුවර දිස්ත්‍රික් ලේකම් වෙත දන්වා යවා ඇත. එසේ වුවත් අදාළ කටයුත්ත ඉටු නොවූ බැවින් මහනුවර දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් වෙත අනවසරකරු ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙහි ලේකම් වෙත දන්වා යවා ඇත. පසුව මහනුවර සහ ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම් විසින් එම්.ජේ. මෙන්ඩිස් යන අයට රජයේ ඉඩමෙහි සන්තකය ආපසු භාර දෙන ලෙස දන්වා අස්කිරීමේ නිවේදනය නිකුත් කර ඇත. එම්.ජේ. මෙන්ඩිස් යන අය විසින් මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙහි අංක 159/2013 දරන නඩුව ගොනු කර ඇති අතර, ගරු නීතිපතිතුමා විසින් අදාළ දිවුරුම් ප්‍රකාශ මා වෙත යොමු කර ඇත. එම දිවුරුම් ප්‍රකාශයෙහි කරුණු සම්බන්ධයෙන් නිරීක්ෂණ සකසා ගරු නීතිපතිතුමා වෙත යොමු කර ඇත.

 

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-10-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks