E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

0043/2024: සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතයට අවට රක්ෂිත වනාන්තර එකතු කිරීම: ගැසට් නිවේදනය

43/2024

ගරු බුද්ධික පතිරණ මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතය වටා පිහිටි රක්ෂිත වනාන්තර 13ක් සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතයට ඇතුළත් කර එම වන රක්ෂිතයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 30,000ක් දක්වා ඉහල නැංවීමට අදාළ ගැසට් නිවේදනයකට හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වර්ෂයේදී අත්සන් තබා ඇති බවත්;

(ii) එහෙත්, එම ගැසට් නිවේදනය මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) ඉහත ගැසට් නිවේදනය අනුව සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතයට ඇතුළත් කිරීමට යෝජිතව තිබූ එක් එක් රක්ෂිත වනාන්තරය සහ ඒවායේ භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් අක්කරවලින් කොපමණද;

(ii) එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීමට බලපාන ලද හේතු කවරේද;

(iii) ඉහත සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2150/31 හා 2019 නොවැම්බර් 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් හෙක්ටෙයාර 36,474.93ක විශාලත්වයෙන් යුතු සිංහරාජ වනාන්තරය 2019 නොවැම්බර් 11 වන දින සිට සිංහරාජ රක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

(ii) අංක 2150/31 හා 2019 නොවැම්බර් 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

 (ආ) (i) සිංහරාජ වනාන්තර සංකීර්ණයට ඇතුළත් වනාන්තරවල භූමි ප්‍රමාණය පහත පරිදි වේ.

 

වනාන්තරයේ නම

භූමි ප්‍රමාණය (අක්කර)

භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර)

වලන්කන්ද

   2319.18

    938.94

මාදම්පේ

     613.86

    248.53

නාහිටිමූකලාන

     459.66

    186.10

පන්නිල

     333.45

     135.00

සිංහරාජ ජාතික උරුම වන භූමිය

28227.38

11428.09

මොරපිටිය රූන කන්ද

15281.59

6186.88

දෙල්ගොඩ

   2503.32

1013.49

දෙල්ලව

   5513.95

2232.37

වරතල්ගොඩ

   3039.06

1230.39

වේවැල් කදුර

   1001.33

   405.40

රම්මල කන්ද

      937.51

    379.56

මාදම්පේ

      78.74

      31.88

එකතුව

60309.03

24416.63

 

(ii) ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී නොමැත.

(iii) ප්‍රකාශයට පත් කර ඇත.

(iv) ඉහත (iii) හි සඳහන් පරිදි දැනටමත් කටයුතු කර ඇත.

 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks