01

E   |     |  

 දිනය: 2023-12-11   පිළිතුර ලබා දී ඇත 

3720/2023: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ගුරු හිඟය: විස්තර

3720/2023

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට ,— 

(අ)         (i)       වර්ෂ 2019 සිට 2022 දක්වා අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයදුම් කරන ලද අයදුම්කරුවන් සංඛ්‍යාව සහ එම  විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) අයදුම්කරුවන් අතරින් විශාල පිරිසක් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී නොසිටින බව  පිළිගන්නේද;

(iii) එසේ  නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන වර්ෂය කවරේද;

(ii) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස් පෙළ) විභාග සම්බන්ධයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිසංස්කරණ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල පවතින ගුරු හිඟය කොපමණද;

(ii) එම ගුරු හිඟය මගහැරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-11

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)     

විභාගය පැවති වර්ෂය

අයදුම්කරුවන් සංඛ්‍යාව

පෙනී සිටි සිසුන් සංඛ්‍යාව

පෙනී  නොසිටි  සිසුන්  සංඛ්‍යාව

පෙනී නොසිටි  සංඛ්‍යාව  අයදුම්කළ  සංඛ්‍යාවෙහි  ප්‍රතිශතයක් ලෙස

2019

337,704

209,328

47,376

14.0%

2020

362,824

311,157

51,667

14.2%

2021

345,242

283,617

61,625

17.8%

2022

331,709

274,305

57,404

17.3%

 

(ii) ඔව්.

(iii) 2020 වසර ආරම්භයේ සිට කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළද ශීඝ්‍රයෙන් පැතිරී යාම මඟින් රටෙහි සියලු අංශ කෙරෙහි දැඩි ලෙස බලපෑමක් සිදු කරනු ලැබිණ. මෙමඟින් රටෙහි සියලු ක්ෂේත්‍රවල ඇති වූ පසුබෑම අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහිද බලපෑ අතර 2021 හා 2022 වසරවල අපොස (උසස් පෙළ) විභාගයට පෙනී නොසිටි සිසුන්ගේ ප්‍රතිශතයෙහි සුළු වැඩිවීම කෙරෙහි ඉහත කරුණුද බලපා ඇති බව පෙනී යයි.

(ආ)   (i) ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සංශෝධිත කෙටුම්පත, 2023.10.26 වන දිනැතිව අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරමින් අදාළ අනුමැතිය ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව, එය පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාලෝචනයට හා පාර්ලිමේන්තුවේ අනුමැතිය පිණිස ඉදිරිපත් කරනු ලැබේ. අදාළ අනුමැතියෙන් වසරක් ඇතුළත ඒ සඳහා කළ යුතු නීති සම්පාදනය හෝ පවතින අණ පනත් සංශෝධනය, රෙගුලාසි සහ අදාළ ක්‍රියාපටිපාටි සංශෝධනය කරමින් නව උපාය මාර්ගික ප්‍රවේශ හඳුන්වා දීම හා ඇගයීම සඳහාද කාලරාමු සහිතව ක්‍රියා කළ යුතු වේ.

ඒ අනුව ආ (i) යන ප්‍රශ්නයෙන් විමසන ලද කරුණුවලට අදාළව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන වර්ෂය නිශ්චිතවම පැවසීමේ හැකියාවක් නොමැති අතර, 2024 වර්ෂයේ මැද භාගය අවසානය වනවිට යම් සාධනීය ක්‍රියාත්මකවීමක් සිදුවෙතැයි අපේක්ෂිතය.

      (ii) සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළ විෂය මාලා හා අනෙකුත් අංශයන්හි සිදු කළ යුතු සංශෝධන/නව ප්‍රතිසංස්කරණ කවරේද යන්න මේ වනවිට සාකච්ඡාවට ලක් කෙරෙමින් පවතී. ඒ අනුව අපොස (සාමාන්‍ය පෙළ) සහ අපොස (උසස් පෙළ) විභාගයන්හි සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිසංස්කරණ කවරේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත වශයෙන් අවසන් තීරණයකට එළඹ නැත.

(ඇ)  (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල පවතින ගුරු හිඟය 41,103කි.

      (ii) · දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු හිඟතාව මඟ හරවා ගැනීමට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සඳහා අංක අමප/22/1357/607/026, 2022.10.31 හා අංක අමප/22/2021/607/026 - II හා 022.12.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ ලබා දෙන ලද අතර එම තීරණ ප්‍රකාරව අංක 2317 හා 2023.01.27 දිනැති ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැඳවන ලදී.

  • මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව විභාග දෙපාර්තමේන්තුව විසින් 2023.03.25 දිනැතිව බඳවා ගැනීමේ ලිඛිත තරග විභාගය පැවැත්වීමට සංවිධානය කර තිබූ නමුත් අංක 77/2023, 78/2023, 88/2023 හා 95/2023 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා ඇත.
  • මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ ඉහත තරග විභාගය පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල අපොස (උසස් පෙළ) ගුරු හිඟය මඟහරවා ගැනීම දුෂ්කර වී ඇත.
  • මේ පිළිබඳව සලකා පාසල් පද්ධතිය තුළ අපොස (උසස් පෙළ) ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය, විදේශ භාෂා, විශේෂ අධ්‍යාපනය හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වූ අත්‍යවශ්‍ය විෂයයන් 46ක පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට ඉදිරිපත් කරන ලද අංක ED/EST/23/64 හා 2023.06.14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා අංක අමප/23/1139/607/096 හා 2023.07.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ විෂයයන්හි පවතින පුරප්පාඩු 5,450ක් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබිණ.
  • මෙම බඳවා ගැනීම් අනුමැතිය මත පළාත් පාසල්හි පුරප්පාඩු 2,969ක් සඳහා ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/02/29/21/AL/02-vi වෙළුම හා 2023.07.24 දිනැති ලිපිය මඟින් සියලු පළාත් සභා දැනුවත් කර ඇති අතර, ඒ අනුව සියලුම පළාත් සභා අයදුම්පත් කැඳවා ඇති අතර ජාතික පාසල් පුරප්පාඩු 2,053ක් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය 2023.11.17 දින ප්‍රකාශයට පත් කරන ලදී.
  • තවද අංක 02/2022 හා 2022.01.06 දිනැති රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම්ගේ චක්‍රලේඛය ප්‍රකාරව රාජ්‍ය සේවයේ අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන ලද නමුත් 2022 වසරෙහිදී අය වැය යෝජනා අනුව එම විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමට යෝජනාවීමත් සමඟ 2022.12.31 දිනට අවුරුදු 60 සම්පූර්ණ වූ ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු භවතුන් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්වන ලදී. මේ හේතුවෙන් පාසල් පද්ධතියේ එක්වරම ගුරු පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් ඇතිව තිබේ.
  • ඒ අනුව විශ්‍රාම යාම, ඉල්ලා අස්වීම, සේවය අත්හැර යාම හා වැටුප් රහිත නිවාඩු මත විදේශගතවීම යන හේතූන් මත පාසල් පද්ධතියේ සැලකිය යුතු ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති වූ අතර එහිදී වැඩි වශයෙන් ගුරු පුරප්පාඩු පවතිනු ලබනුයේ පළාත් පාසල්වල බව නිරීක්ෂණය වූ බැවින් පළාත් පාසල්වල ඇති වී තිබෙන ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට යෝජනා වූ අතර ඊට අදාළව ඉදිරිපත් කරන ලද අංක ED/EST/23/90 හා 2023.08.15 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය සඳහා අංක අමප/23/1573/607/124 හා 2023.09.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් විශ්‍රාම යාම, ඉල්ලා අස්වීම, සේවය අත්හැර යාම යන හේතූන් මත දිවයිනේ පළාත් පාසල්වල ඇති වී තිබෙන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අදාළ පළාත් සභා විසින් උපාධිධාරින් බඳවා ගැනීම පිණිස අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය මත අදාළ පුරප්පාඩු සඳහා උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා මෙන් අධ්‍යාපන ලේකම්ගේ අංක ED/02/29/21/AL/02-vi වෙළුම හා 2023.09.08 දිනැති ලිපිය මඟින් සියලු පළාත් බලධාරින් දැනුවත් කරන ලද අතර බොහෝ පළාත් සභා විසින් මෙම බඳවා ගැනීමට අදාළව අයදුම්පත් කැඳවා ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks