පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3685/2023
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට ,—
(අ) (i) ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්යබල විදුලි ව්‍යපෘතිය මඟින් උත්පාදනය කිරීමට අපේක්ෂිත මෙගා වොට් 135ක විදුලිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති/වැඩසටහන් කවරේද;
(ii) රජයේ ආයතන, රජයේ පාසල් සහ ආගමික සිද්ධස්ථාන එම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා ඇතුළත් වන්නේද;
(iii) එසේ නම්, සූර්ය පැනල සවිකිරීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන එක් එක් දිස්ත්‍රික්කයෙන් තෝරා ගෙන ඇති ආගමික සිද්ධස්ථානයේ නම, ලිපිනය සහ ග්‍රාම නිලධාරි වසම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඒ අතරින් මේ වනවිට අදාළ ඇස්තමේන්තු අනුමත කර ඇති එක් එක් ආගමික සිද්ධස්ථානයේ නම, ලිපිනය සහ ග්‍රාම නිලධාරි වසම වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) එම ව්‍යාපෘති/වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-01
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සූර්ය බලය උපයෝගී කර ගනිමින් විදුලිය ජනනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය යටතේ පවතින ඉන්දීය අපනයන ආනයන බැංකුව (එක්සිම් බැංකුව) හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාර මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ ණය ගිවිසුම 2021.06.16 දින අත්සන් කර ඇත. එම වැඩසටහන යටතේ රජයේ ගොඩනැඟිලි, පාසල්, පිරිවෙන් හා ආගමික සිද්ධස්ථාන මෙන්ම අනෙකුත් ගොඩනැඟිලිවල පියැසි මත සූර්ය විදුලි ව්‍යාපෘති සහ පාවෙන සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර, ව්‍යාපෘති සංරචකයන් පිළිබඳ සාරාංශයක් සභාගත** කරනු කැමැත්තෙමි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අදාළ විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව - DPR - සැකසීම, ව්‍යාපෘති කළමනාකරණ උපදේශනය - PMC - සහ ඉංජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් - EPC - කොන්ත්‍රාත්තුව යන කාර්යයන් අදියර 03ක් යටතේ ඉටු කිරීමට නියමිත අතර, මේ වන විට විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව සැකසීමේ කටයුතු නිම කර ඇත.
(ii) ඔව්. එම වැඩසටහන යටතේ,
1. රජයේ ගොඩනැඟිලි සඳහා පියැසි මත සූර්ය විදුලි ව්‍යාපෘති
2. ආගමික සිද්ධස්ථාන සඳහා පියැසි මත සූර්ය විදුලි ව්‍යාපෘති
යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නමුත්, ඉන්දියානු රජයේ ණය ආධාර ලබාදීමේදී දැනට ඇති ප්‍රමාදය මත, ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස ආගමික සිද්ධස්ථානයන්හි පියැසි මත සූර්ය විදුලි කට්ටල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අරමුදල් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 200ක වියදමකින් හඳුනාගත් ආගමික ස්ථාන සඳහා සූර්ය විදුලි පැනල කට්ටල සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
(iii) ඉන්දියානු රජයේ ණය ආධාර මත ආගමික සිද්ධස්ථාන සඳහා පියැසි මත සූර්ය විදුලි කට්ටල සවිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආගමික සිද්ධස්ථාන හඳුනා ගැනීම සඳහා ස්ථානීය පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. මෙහිදී විවිධ සහනාධාර මත මේ වන විටත් පියැසි මත සවි කරනු ලැබූ සූර්ය පැනල ආධාරයෙන් විදුලිබල පහසුකම් ලබාදී ඇති ආගමික සිද්ධස්ථාන සඳහා මෙම පියැසි මත සවි කරන සූර්ය විදුලි කට්ටල තවදුරටත් ලබාදීමේ ඇති අවශ්‍යතාව සොයා බලා, අවශ්‍යතාවක් නොමැති බව අනාවරණය වුවහොත් එම ස්ථාන මෙම ව්‍යාපෘතියේ විෂය පථයෙන් ඉවත් කෙරේ. දිස්ත්‍රික්ක මට්ටමින් මේ වන විට ආගමික සිද්ධස්ථාන හඳුනා ගැනීමේ කටයුතු සිදු කරනු ලබන අතර, මේ වන විට ලැබී ඇති අයදුම්පත් පරීක්ෂා කර බලා ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී. එම ස්ථානීය පරීක්ෂණ කටයුතු නිම වූ පසු නිශ්චිත වශයෙන්ම හඳුනාගත් සිද්ධස්ථානයන්හි නම්, ලිපින සහ ග්‍රාම නිලධාරි වසම් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සඳහන් කරනු කැමැත්තෙමි.
(iv) මුලින් සඳහන් කළ පරිදි දැනට ලැබී ඇති අයදුම්පත් පරීක්ෂා කර ස්ථානීය පරීක්ෂණ කටයුතු නිම වූ වහාම තෝරා ගත් ආගමික සිද්ධස්ථාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වනු කැමැත්තෙමි.
(v) ව්‍යාපෘති ස්ථාන හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සඳහා බඳවා ගත් ඉන්දියානු සමාගමක් වන Darashaw & Company Pvt. Ltd. කොන්ත්‍රාත් සමාගම විසින් සිදු කරනු ලබන අතර, එම කටයුතු නිමවූ විගස ඉන්දියානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks