01

E   |     |  

 දිනය: 2023-09-06   පිළිතුර ලබා දී ඇත 

3483/2023: ජනවසමට අයත් වතු ඉඩම්වල කිරි ගොවිපොළ පිහිටුවීම: විස්තර

3483/2023

ගරු වේලු කුමාර් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු ඉඩම්, කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා ලබා දීමට 2021.09.06 දින අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)       එසේ නම්, ඒ සඳහා “ගලබොඩ” සහ “මවුන්ට් ජීන්” යන එක් එක් වත්තෙන් ලබා ගනු ලබන ඉඩම් අක්කර ප්‍රමාණය;

  (ii) එම ඉඩම් ලබා ගනු ලබන එක් එක් සමාගම, එම එක් එක් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම් සහ ජාතිකත්වය (ස්වදේශීකද / විදේශිකද);

(iii) ඉහත එක් එක් සමාගම විසින් ගෙවනු ලබන අත්තිකාරම් මුදල සහ ඉඩම් අක්කරයක වාර්ෂික බදු මුදල;

(iv) ඉහත වතුවල කිරි ගොවිපොළ සඳහා වෙන් කරනු ලබන භූමියේ ඇති පේලි නිවාස ‍හා සිද්ධස්ථාන සංඛ්‍යාව;

 වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත වතු පිහිටා ඇති දිස්ත්‍රික්කවල ඇති රජයේ කිරි ගොවිපොළ සතුව ප්‍රමාණවත් ඉඩම් තිබෙන බව දන්නේද;

(ii) එසේ නම්, තේ වගා කළ හැකි ඉඩම්, කිරි ගොවිපොළ සඳහා ලබාදීමේ පදනම කවරේද;

(iii) මෙම කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-06

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)       ඔව්.

           අමප/21/1571/323/051 හා 2021.09.06 දිනැති තීරණය මඟින් අනුමැතිය ලැබී ඇත.

(ආ)         (i)      ගලබොඩ වත්ත - අක්කර 704 රූඩ් 1 පර්චස් 11.33 (හෙක්ටෙයාර 285.0285)

                        මවුන්ට් ජින් වත්ත - අක්කර 106 රූඩ් 2 පර්චස් 28.67 (හෙක්ටෙයාර 43.1720)

              (ii)      i.       සමාගමේ නම - හෙයාර් පාර්ක් ඩෙයරීස් පුද්ගලික සමාගම

ii. අධ්‍යක්ෂවරුන්ගේ නම් - මොහමඩ් ඉම්ටියාස්, මොහමඩ් ෂාෆීක් සමාඩ් ජාතිකත්වය - ශ්‍රී ලාංකික

(මෙය තහවුරු කර ගත්තේ ජා.හැ. අංක 195423603215 සහ 630242487v දරන හැඳුනුම් පත් පරීක්ෂා කිරීම මඟිනි.)

  (iii) ඉඩමක කොටසක් පමණක් සලකා බදු මුදල් තක්සේරු නොකරන අතර මුළු ඉඩම් ප්‍රමාණය සලකා වර්ෂයකට අදාළව බදු මුදල් තක්සේරු කරයි. ඒ අනුව පහත පරිදි ඉඩම් තක්සේරුව සිදු කර ඇත.

(තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙතින් තොරතුරු විමසා ඇත.)

ඉඩම් කොටස

ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

වාර්ෂික බදු මුදල

අත්තිකාරම් මුදල

ගලබොඩ වත්ත

285.0285

  රු. 3,200,000.00

රු. 19,200,000.00

මවුන්ට් ජීන් වත්ත

43.1720

  රු. 5,75,000.00

  රු. 3,450,000.00

එය අක්කර ප්‍රමාණයෙන් බෙදලා බැලුවොත්, ගලබොඩ වත්ත, වර්ෂයකට අක්කරයකට රුපියල් 4,545.45යි; මවුන්ට් ජීන් වත්ත, වර්ෂයකට අක්කරයකට රුපියල් 5,399යි.

(iv) උක්ත ව්‍යාපෘතියට ලබා දුන් ගලබොඩ වත්ත හෝ මවුන්ට් ජීන් වත්ත භූමි ප්‍රදේශයෙහි පේළි නිවාස හා සිද්ධස්ථාන කිසිවක් පිහිටා නොමැත.

(ඇ) (i) රටේ පවතින වර්තමාන කිරි නිෂ්පාදනයත් ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදන අවශ්‍යතාවත් මේ සඳහා සලකා බැලිය යුතුය. ජාතික පශු සම්පත් මණ්ඩලය මඟින් පාලනය කරනු ලබන හා පෞද්ගලික ආයෝජකයන් සඳහා ලබා දී ඇති කිරි ගොවි පොළවල් තිබුණ ද, එමඟින් රටේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් නොලැබෙන බව නිරීක්ෂණය කරමි.

     (ii) මෙම ප්‍රශ්නයෙන් විමසා ඇති කිරි ගොවිපොළ සඳහා ලබා දී ඇති ගලබොඩ වත්තේ හා මවුන්ට් ජීන් වත්තේ ඉඩම් කොටස් තේ වගාව සඳහා සුදුසු බිම් ලෙස සැලකිය නොහැක. ප්‍රධාන තක්සේරුකරුගේ වාර්තාවට අනුව ගලබොඩ වත්තෙන් ලබා දී ඇති ඉඩම් ප්‍රමාණයෙන් සියයට 60ක ප්‍රමාණයක් ගල් සහිත වන අතර තේ වගා කර ඇති ප්‍රදේශය හිස්තැන් බොහෝ ප්‍රමාණයක් සහිත සියයට 30ක් පමණ වේ.

මවුන්ට් ජීන් වත්තෙන් ලබා දී ඇති ඉඩමේ ගල් සහිත ප්‍රදේශය සියයට 63.44ක් වන අතර, ඉතිරි සියයට 36.56ක ප්‍රදේශය බෑවුම් සහිත පතන ඉඩම වේ. ඉඩම සම්බන්ධ විස්තර මම කියන්නම්. තක්සේරුකරුගේ වාර්තාව ගෙනැවිත් තිබෙනවා, ගරු කථානායකතුමනි.

කිරි ගොවිපොළ සඳහා මුදා හැරි ගලබොඩ වත්තේ හා මවුන්ට් ජීන් වත්තේ තේ වගාව පැවැති දලු නෙළන අක්කර 4ක් පමණ වූ ඉඩම් කොටසින් ලැබී ඇති තේ නිෂ්පාදනය වසරකට කිලෝග්‍රෑම් 650ක් පමණ වී ඇත. එම වසරේ උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල වන රුපියල් 150 සැලකුව ද, වතු දෙකෙහි තේ නිෂ්පාදනයෙන් ලබා ගත හැකි ආදායම රුපියල් 97,500ක් පමණකි. නමුත් කිරි නිෂ්පාදනය සඳහා මෙම වතු ලබා දීමෙන් දිනකට ලීටර් 90,000ක කිරි අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි බව පෙන්වා දී ඇත. ඒ අනුව ලබාගත හැකි ආදායම දිනකට රුපියල් මිලියන 16ක් පමණ වේ. (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කිරි ලීටරයක සාමාන්‍ය මිල, රුපියල් 182ක් වේ.)

(iii) ඔව්.

මීට අමතරව, විස්තරාත්මක ව්‍යාපෘති යෝජනා වාර්තාවක් හා පරිසර වාර්තාවක් සකස් කර ඇත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-01-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks